Print this Article


බුදුරජාණන් වහන්සේ මිසදිටුවන්ගේ සැක දුරු කළ සේක

බුදුරජාණන් වහන්සේ මිසදිටුවන්ගේ සැක දුරු කළ සේක

තථාගතයන් වහන්සේ යමෙක් හට වැන්දොත්, නැඟිට පෙර ගමන් කළොත්, අසුන් පවරා දුන්නොත් ඒ පුද්ගලයාගේ හිස නටුවෙන් ගිලිහුණු තල් ගෙඩියක් මෙන් බෙල්ලෙන් ගැලවී බිම වැටෙන්නේ ය.

අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පත් වීමෙන් 12 වැනි වසර උදාවිය. උන්වහන්සේ පන්සියයක් මහ සඟන පිරිවරා ජනපදයෙන් ජනපදයට චාරිකාවෙහි හැසිරෙමින් අනුපිළිවෙලින් වේරඤ්ජා නුවරට වැඩම කළ සේක.

එසේ වේරඤ්ජා නුවරට වැඩම කළ බුදුරජාණන් වහන්සේ “නළේරු“ නමැති දුටුවන් පහදවන සිත්කලු සුවිසල් කොසඹ ගසක් මුල වැඩ හුන් සේක.

එම නුවරෙහි වේදය ආදී බමුණු දහමෙහි පරතෙරට පත් උදය නම් වූ ධන ධාන්‍යයෙන් වත්පොහොසත් බ්‍රාහ්මණයෙක් විසීය. අප බුදුරජාණන් වහන්සේ තමන් වසන නගරයට වැඩම කළ පුවත ඇසූ වේරඤ්ජා හෙවත් උදය බමුණා උන්වහන්සේ වෙත පැමිණියේ ය.

බුදුරජාණන් වහන්සේ ඔහු අමතා බ්‍රාහ්මණය. ඔබ සුව සේ වසන්නේ ද යනාදී වශයෙන් පිළිසඳර කතාව කළහ. එයින් සතුටට පත් වූ නමුත් උදය බ්‍රාහ්මණ ආගන්තුකයකු වූ ද, වැඩිහිටියකු වූ ද , තමන්ට වයසින් අඩු බුදුරජාණන් වහන්සේ විසින් හැරිහැටි ගරුසරු කිරීමක් නොකළේ යැයි ද අදහසක් උපදවා ගෙන මෙබඳු ප්‍රශ්නයකින් සංවාදයක් ආරම්භ කළේ ය.

උදය බමුණා - භවත් ගෞතමයෙනි ඔබ වහන්සේ වැඩිමහලු බමුණන්ට වඳීන්නේ නැත. ඔවුන් එන විට අසුනින් නැගිට පෙර ගමන් කිරීම ද, අසුනක් පැනවීම ද කරන්නේ නැත. ස්වාමීනි මෙය සුදුසු නෑ නේද?

බුදුරජාණන් වහන්සේ -මම ලොව්තුරා බුදු බවට පැමිණියේ වෙමි. එම නිසා ම විසින් වැඳීය යුතු අයෙක් මිනිසුන් අතර හෝ දෙවියන් අතර හෝ මාරයන් අතර හෝ බ්‍රහ්මයන් අතර හෝ නොමැත. එම නිසා ඔබ මගෙන් වැඳ පිළිගැනීම් ආදිය බලාපොරොත්තු නොවන්න.

මක්නිසාද, තථාගතයන් වහන්සේ යමෙක් හට වැන්දොත්, නැඟිට පෙර ගමන් කළොත්, අසුන් පවරා දුන්නොත් ඒ පුද්ගලයාගේ හිස නටුවෙන් ගිලිහුණු තල් ගෙඩියක් මෙන් බෙල්ලෙන් ගැලවී බිම වැටෙන්නේ ය.

බුදුරජාණන් වහන්සේ විසින් කළ පැහැදිලි කිරීමෙන් සෑහීමට පත් නොවූ උදය බමුණා බුදුරජාණන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ භාවය තේරුම් ගත නොහැකි ව තවත් ප්‍රශ්න මාලාවක් මෙසේ ඉදිරිපත් කළේ ය.

උදය බමුණා - භවත් ගෞතමයෝ රස විරෝධී නොවේ ද?

ලෝකයෙහි වැඳීම් ආදි සාමග්‍රි රසය නැති බැවින් සාමග්‍රි රස විරෝධී නොවේ ද?

මේ ප්‍රශ්නය ඇසූ පසු බමුණාගේ සිත මොලොක් කරනු පිණිස මෙසේ පිළිතුරු දුන්හ.

බුදුරජාණන් වහන්සේ - බමුණ, මා සාමග්‍රී රස විරෝධි යැයි කීම සත්‍යයකි. මක්නිසාද පෘතග්ජනයන් බැඳෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ඵොට්ඨබ්බ යන රසයන් ආස්වාදය කිරීම ප්‍රහීණ කළ හෙයිනි. මුදුන සිද දැමූ තල් රුකක් නැවත පහළ නොවන්නාක් මෙන් එකී රසාස්වාදය සහ මුලින් ම විනාශ කළෙමි. එහෙයින් මම රස විරෝධී වෙමි. අභිවාදන ආදී සාමග්‍රී රස කරනයට නුසුදුසු ම වෙමි.

අරසරූපවාදය මෙසේ ප්‍රතික්ෂේප වූ නිසා වයසින් වැඩී ගිය අයට අභිවාදනය කිරීම නමැති සාමග්‍රී පරිභෝජනය නොමැති නිසා දෙවැනිව ද ප්‍රශ්නයක් විමසයි.

උදය බමුණා - භවත් ගෞතමයෝ පරිභෝග රහිතයෝ වෙද්ද?

බුදුරජාණන් වහන්සේ - බමුණ රූප ශබ්ද, ගන්ධ, රස, ඵොට්ඨබ්බ යන මේවා කෙරෙහි ඇති ඡන්දරාගය පරිභෝගයන් ම විසින් ප්‍රහාණය කළ හෙයින් පරිභෝග රහිත වෙමි.

උදය බමුණා - ලෝකවාසීහු වැඩිමහල්ලන්ට වන්දනා මානනාදි කුල සමුදාචාර ක්‍රියා කරති. ඔබ වහන්සේ එසේ නොවෙති.

භවත් ගෞතමයෝ අකිරියවාදී වෙද්ද?

බුදුරජාණන් වහන්සේ - එසේ ය. ඔබ කියන්නේ සත්‍යයකි. මම අකිරියවාදී වෙමි. ඒ ඔබ යෝජනා කරන අරුතින් නොවේ. මම, ප්‍රාණඝාතාදී කාය දුශ්චරිත නොකරන්න, මුසාවාදා දී වාග් දුශ්චරිත නො කරන්න, අභිධ්‍යාදී මනෝ දුශ්චරිත නොකරන්න, යනුවෙන් අකිරියාවාදයක් දේශනා කරමි. එසේ ම සෙසු ලාමක අකුසල ධර්ම නොකිරීමට ද කියමි. ඒ නිසා මම අකිරියවාදී වෙමි.

උදය බමුණා - අකිරියවාදය මෙසේ ප්‍රතික්ෂේප වීම නිසා වෙනත් වාදයක් එනම් වැඩිහිටියන් නැමදීම ආදිය කිරීමෙන් ලෝ සිරිත් සිඳී බිඳී යන බව පෙන්වා දෙමින් 4 වන ප්‍රශ්නය විමසයි.

උදය බමුණා - භවත් ගෞතමයෝ උච්ඡේදවාදී වෙද්ද? ඔබ වහන්සේ උච්ඡේදවාදී යයි කියමි. එය එසේ ද?

බුදුරජාණන් වහන්සේ- මම උච්ඡේදවාදී වෙමි. ඒ ඔබ සිතන අයුරින් නොවේ.

එසේ ය ඔබ කියන්නේ සත්‍යයකි. මම රාගය නැසීම පිණිස, ද්වේශයන් නැසීම පිණිස හා මෝහය නැසීම පිණිස දේශනා කරමි. සක්කාය දිට්ඨි ආදී ලාමක අකුසල ධර්ම සෝවාන් ආදී සිවු මගින් සිඳීයාම දේශනා කරමි. ඒ නිසා මම උච්ඡේදවාදී වෙමි.

දැන් උච්ඡේදවාදී චෝදනාව ද නිශ්ප්‍රභ විය. එහෙත් උදය බමුණා වයසින් වැඩිහිටියන්ට නැමදීම් ආදී කුල සිරිත් පිළිකුල් කරන බව හඟමින් මෙසේ අසයි.

උදය බමුණා - ඔබ වහන්සේ අභිවාදනාදී කුල සිරිත් පිළිකුල් කරන සේක් ද?

බුදුරජාණන් වහන්සේ - එසේ ය. බ්‍රාහ්මණය මම ජේගුච්ඡි වෙමි. ඒ ඔබ සිතන අයුරින් නොව මම කාය දුශ්චරිත තුන, වාග් දුශ්චරිත සතර සහ මනෝ දුශ්චරිත තුන යන පාපකර්ම දහය ගූථයක් මෙන් පිළිකුල් කරන්නෙමි. ඒ නිසා මම ජේගුච්ඡි වෙමි.

උදය බමුණා නැවතත් චෝදනාවක් මෙසේ ගෙන එයි. මොලාව ජ්‍යෙෂ්ඨයන්ට පිළිපැදිය යුතු ධර්ම ලෝක චාරිත්‍ර විනාශ කරන්නේ ය. ගෞතමයන් හික්ම විය යුතු ය. නිග්‍රහ කළ යුතුය යැයි අදහස් කරමින් වැනි වූ ප්‍රශ්නයක් ද විමසයි.

උදය බමුණා - භවත් ගෞතමයෝ විනාස කරන්නෙක් නොහොත් හික්මෙන්නෙක් වේ ද?

බුදුරජාණන් වහන්සේ - බ්‍රාහ්මණය එසේ ය. මම වේනයික (වේනයිකෝ) වෙමි. ඒ ඔබ අදහස් කරන අරුතින් නම් නොවේ. මම රාග ද්වේශ මෝහයන්ගේ විනාය පිණිස, සන්සිඳීම පිණිස, විනය පිණිස ධර්ම දේශනා කරමි. එම නිසා වේනයික නම් වෙමි.

උදය බමුණා - තපස්සී භවං ගෝතමෝ? භවත් ගේතමයෝ අනුන් සන්තාපයට පත් කරන්නේ වේ ද?

බුදුරජාණන් වහන්සේ - එසේ ය. බ්‍රාහ්මණය, මම කාය දුශ්චරිතය, වාග් දුශ්චරිතය, මනෝ දුශ්චරිතය තැවිය යුතු යැයි දේශනා කරමි. මම තැවිය යුතු ලාමක අකුසල ධර්ම ප්‍රහීණ කළ තැනැත්තාට තපස්සී යැයි කියමි. මම ද තැවිය යුතු අකුසල ධර්ම සහමුලින් වැනසූ හෙයින් අනුන් සන්තාපයට පත් කරන්නෙක් වෙමි.

උදය බමුණා සත්වැනි ප්‍රශ්නය නොහොත් චෝදනාව ව්‍යර්ථ වූ හෙයින් අවසාන වශයෙන් අටවැනි ප්‍රශ්නයක් ද නඟයි. එනම් වැඩිහිටියන් පිදීම දෙව්ලොව උපත ලබා දෙන බවත්, ගෞතමයන් විසින් එසේ නොකිරීමෙන් මතු දෙව්ලොව ඉපදීමට සුදුසු නැත. භාග්‍යවතුන් වහන්සේ මවු කුසක පිළිසිඳ ගන්නට නොවටී යන චෝදනාව ක්‍රෝධයෙන් නඟමින් අවසාන ප්‍රශ්නය අසා සිටී.

උදය බමුණා - භවත් ගෝතමයෝ අපගර්භයෝ වෙද්ද?

බුදුරජාණන් වහන්සේ - එසේ ය බ්‍රාහ්මණය. මම “අපගර්භ“ වෙමි. ඒ ඔබගේ හැඟීම අනුව නොවේ. යමෙකු මතු මවුකුසක පිළිසිඳ ගන්නා බව එනම්, නැවත භවයෙහි ඉපදීම පහ කළේ ද ඔහුට අපගබ්භ යැයි කියමි. සම්මා සම්බුද්ධත්වයට පැමිණීමෙන් තථාගතයන් වහන්සේ ද මතු මවුකුසක සයනය කිරීම, නැවත භවයෙහි ඉපදීම, පුනර්භවය ප්‍රහාණය කළ සේක. එම නිසා මම අපගර්භ නම් වෙමි. (අයමන්තිමා ජාති නත්ථිදානි පුනබ්භවෝ) මෙසේ බුදුන් කරා එළඹුණු වේරඤ්ජා වැසි බ්‍රාහ්මණයාගේ ඉහත දැක් වූ අටවැදෑරුම් ආක්‍රෝශ වස්තූන් වෙනත් ආකාරයකින් දක්වා නිෂ්ප්‍රභ කළ සේක.

නැවත මහා කාරුණික බුදුරජාණන් වහන්සේ තාදී ගුණය ප්‍රකට කරමින් ඔහුගේ සසර ගමන නිම කිරීමට ආධාර වන පරිදි ධර්ම දේශනා කළහ. බුදුරදුන් විසින් දේශනා ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කර විසඳමින් විවරණය කරමින් පුබ්බේනිවාසානුස්සති ඤාණය, දිබ්බ චක්ඛු ඤාණය හා ආසවක්ඛය ඤාණය උපදවා සම්මා සම්බුද්ධත්වයට පැමිණි ආකාරය පැහැදිලි කර දුන් සේක. සියලු සර්වඥ ගුණයන් ප්‍රකාශ කොට තමන් වහන්සේගේ ආර්ය ජාතියෙහි ජ්‍යෙෂ්ඨ භාවය හා ශ්‍රේෂ්ඨ භාවය ද වටහා දුන් සේක.

එම ධර්ම දේශනාව ඇසීමෙන් අතිශය ප්‍රීතියට පැමිණි බ්‍රාහ්මණයා බුදුන් වහන්සේට ස්තූති කළේ ය. තෙරුවන් කෙරෙහි පැහැදුණු , දිවි හිමි කොට තෙරුවන් සරණ ගිය උපාසකයෙක් විය. භවත් ගෞතමයන් වහන්ස මේ වේරඤ්ජා නුවර වස් විසීම ඉවසන සේක්වා. තෙමසක් වේරඤ්ජාව ඇසුරු කොට මට අනුග්‍රහ පිණිස වස් විසීම ඉවසන සේක්වායි කළ ආරාධනය බ්‍රාහ්මණයාට අනුග්‍රහ පිණිස තුෂ්නිම්භාවයෙන් ඉවසා වදාළ සේක.