Print this Article


දකුණු සිරිලක එළියකරන මාතර පාලටුවේ ඛෙත්තාරාම මහ වෙහෙර

දකුණු සිරිලක එළියකරන මාතර පාලටුවේ ඛෙත්තාරාම මහ වෙහෙර

ක්‍රි. ව. 1753 ඇසළ පුර පසළොස්වක පොහෝ දින වැලිවිට අසරණ සරණ සරණංකර නාහිමියන්ගේ අප්‍රතිහත ධෛර්යයත්, කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ රාජ්‍ය අනුග්‍රහයත් නිසා දීර්ඝ කාලයක් අභාවයට පත් ව තිබූ උපසම්පදාව සියම් දේශයෙන් වැඩම වූ උපාලි මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන්නට හැකිවිය. මේ හේතුවෙන් දිවයිනේ බොහෝ පළාත්වලින් දිසාවලින් පැමිණි සිල්වත් පිරිස ඓතිහාසික සෙංකඩගල පුරයේ දී උතුම් උපසම්පදාව ලබා ගත් හ. ඒ අතර ප්‍රමුඛත්වයක් ගන්නා ලද වේහැල්ලේ ධම්මදින්න මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ දැක්විය හැකි ය.

ක්‍රි. ව. 1728 දී මහනුවරට වැඩමවා ශාසනික හා ශාස්ත්‍රීය කටයුතුවල යෙදුණ ධම්මදින්න හිමියෝ 1751 දී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් කුට්ටාපිටිය හා පැල්මඩුල්ල විහාර හා ශ්‍රීපාද විහාර නායක පදවිය ද තඹ සන්නසකින් පුද කළ අතර, මාතර පළාතේ හා සපරගමු පළාතේ ශාසනික ධර්ම ශාස්ත්‍රීය සත්ක්‍රියාවන්හි නිරත වූහ.

සඟරාජ මාහිමියන් වෙතින් මහණ උපසම්පදාව ලබා ගත් දෙහිගස්පේ අත්ථදස්සී හිමියන් උන්වහන්සේගේ ශිෂ්‍යයන් අතර සයවැන්නා විය. මාතර පාලටුව ආදි විහාරස්ථාන රැසෙක සමාරම්භකයාණන් වූයේ උන්වහන්සේ ය. මෙම පාලටුව සඟ පරපුරෙහි හත්වැනියා වූයේ පාලටුවේ සෝණුත්තර හිමිපාණන් ය. උන්වහන්සේගේ ශිෂ්‍යයන් වහන්සේ වූයේ ඇටම්පල රතනපාල හිමියන් ය.


විහාරාධිපති
පාලටුවේ ජිනරතන නාහිමි

පාලටුවේ සෝණුත්තර හිමියන් තම ශිෂ්‍ය නම කොළඹ හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානයෙහි නතර කොට මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙණේ අධ්‍යාපනය ලැබීමට පහසුකම් සැලැස්වූහ. හික්කඩුවේ ශ්‍රී සුමංගල, මහගොඩ ඤාණේශ්වර මාහිමියන් වහන්සේලා ඇසුරෙහි දැන උගත්කම් ඇතිකරගත් උන්වහන්සේ පාලටුවේ බෞද්ධෝදය පිරිවෙණ ඇරඹීය.

එම ඇටම්පල රතනපාල හිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් වහන්සේ වූයේ මාලිම්බඩ ගුණරත්න නාහිමියන් වහන්සේ ය. උන්වහන්සේ සුවිශාල ධර්ම ශාස්ත්‍රීය සේවාවක් පාලටුව, උනැල්ල, අත්තුඩාව හා මාලිම්බඩ යන ප්‍රදේශවල ඇති කළහ. ප්‍රදේශයේ දූ දරුවන්ගේ නැණ නුවණ පෑදීමට එය හේතු විය. මාලිම්බඩ චන්ද්‍රරතන හිමියන්ගේ ශිෂ්‍ය නමක් වූ පාලටුවේ ජිනරතන ස්වාමීන් වහන්සේ අද මෙම පාලටුව ඛෙත්තාරාම විහාරස්ථානයේ ආධිපත්‍යයට පත්ව සිටිති.

පාලටුවේ ඛෙත්තාරාම විහාරස්ථානයේ ස්වර්ණමය යුගය වන්නේ ගරු පාලටුවේ ජිනරතන හිමියන්ගේ කාලවකවානුවයි. පිරිහී විනාශ වී තිබූ විහාරස්ථානයට නව පණක් එක්කරමින් විහාරාංග ඉදිකරමින් අද දැකුම්කළු දර්ශනීය විහාරස්ථානයක් බවට පත් කොට ඇත.

1962 මාර්තු 15 වන දින පැවිදි බිමට පත් වූ පාලටුවේ ජිනරතන හිමියන් 1963.11.08 වන දින කොළඹ ගංගාරාමස්ථ ශ්‍රී ඥානේශ්වර විද්‍යායතන පිරිවෙනට ඇතුළත්ව සිංහල පාලි සංස්කෘත ආදී පෙරදිග භාෂා මෙන් ම ඉංග්‍රීසි භාෂාව ද හදාරා 1982 වසරේ දී අමෙරිකාවේ නිව්යෝර්ක් හි කොළඹ ගංගාරාම මහා විහාරාධිපති ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමියන් ආරම්භ කළ බෞද්ධ විහාරස්ථානයට වැඩමවා එහි වැඩ වසමින් ආගමික සාමාජික කටයුතුවල වසර 15 ක් පමණ නියුතු වෙමින් තම උසස් අධ්‍යාපන කටයුතු ද සපුරා ගත්හ.

2002 වසරේ දී ශ්‍රී ලංකාවට නැවත පැමිණි පාලටුවේ ජිනරතන නාහිමියෝ පරම්පරාවෙන් තමා වෙත උරුම වූ පාලටුවේ ඛෙත්තරාම පුරාණ විහාරස්ථානයේ පාලනය බාර ගෙන පරිහාණියට පත්ව තිබූ මෙම විහාරස්ථානය සංවර්ධනය කිරීමට පුරෝගාමී වූ හ. කොළඹ ගංගාරාම මහා විහාරාධිපති ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ ඉල්ලීම මත ගංගාරාම විහාරස්ථානයේ ආගමික කටයුතුවල නිරත වන අතර 2012 ජනවාරි 31 වන දින අබලන් ව පැවැති ධර්මශාලා ගොඩනැගිල්ල ඉදිකරවා විවෘත කළහ. සිවු දෙසින් වඩිනා මහා සංඝරත්නයේ සුව විහරණය තකා නේවාසික භික්ෂූන්ට පහසුකම් ඇති නව සංඝාවාස ගොඩනැගිල්ල ඉදිකරවා විවෘත කරන ලදී.

විහාරස්ථානයක පැවතිය යුතු විහාරාංග වන චෛත්‍යය හා බෝධිය පිළිසකර කරවා සැදැහැවතුන්ට වන්දනාමාන කිරීමට පහසුකම් ද ඇති කළහ.

විහාර මන්දිරය ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටින අයුරින් නිර්මාණය කෙරෙන ස්ථානයයි. බුදුරජාණන් වහන්සේ ද සැදැහැවත් කුලපුත්‍රයකු විසින් දැක පහන් සංවේගය උපදවා ගත යුතු ස්ථාන හතරක් දක්වා ඇත. ඒ අනුව බුද්ධ පරිනිර්වාණයෙන් ඉතිරි වූ ධාතු නිධන් කළ චෛත්‍ය ද බුද්ධත්වයට පත්වීමට උපකාරී වූ ජයශ්‍රී මහා බෝධිය ද අප විහාරස්ථානවල චෛත්‍ය බෝධිය දෙකින් නිර්මාණය කළහ. බුදු උපත සිදු වූ බරණැස ඉසිපතනාරාමය ද විශේෂිත ස්ථාන දෙකකි. ඒ ස්ථාන දෙක නිර්මාණය විහාර මන්දිරය තුළ සකසනු ඇත.

දඹදිව වන්දනාවට යා නොහැකි වූවත් තම ගමේ පන්සලේ දී මෙම ස්ථාන වන්දනාමාන කිරීමට ශ්‍රද්ධාව පුබුදුවා ලීමට ශ්‍රී ලංකාවේ මේ නිර්මාණයන් ශාරීරික උද්දේශික පාරිභෝගික යැයි ත්‍රිවිධ චෛත්‍ය නිර්මාණය වේ.

ජී. කේ. ජිනදාස මැතිතුමා සහ චන්ද්‍රා පියසිලි මැතිණියගේ දායකත්වයෙන් පරලොව සැපත් දයාබර ලනිල් ගල්බොඩ තරුණ පුතුට පින් අනුමෝදන් කිරීමේ දසවස් සපුරන අනුස්මරණයට සමගාමීව පෞරාණික විහාරය සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කොට බුදු සිරිතේ වැදගත් අවස්ථා හා ජාතක කතා චිත්‍රයට නංවා අලංකාරවත් ව සැදැහැ සිත් පුබුදුවාලන විහාර මන්දිරයේ වැඩකටයුතු විහාරාධිපති පාලටුවේ ජිනරතන නාහිමියන් විසින් කැපවීමෙන් හා අනුශාසකත්වයෙන් ඉදිකොට අවසන් වී ඇත. ඒ වෙනුවෙන් මෙම ඔක්තෝබර් 28 දින තිස් පෑ තුනේ මහා පිරිත් දේශනයක් පවත්වාලීමට ද කටයුතු යොදා ඇත.

මහින්ද රාජපක්ෂ අගමැති තුමන් ප්‍රධාන මැති ඇමතිවරු ප්‍රධාන සම්භාවනීය ගිහි පිරිසකගේ සහභාගිත්වයෙන් ඔක්තෝබර් මස 30 වැනි දින සවස 3.00ට විවෘත කරනු ලැබේ. වාර්ෂික කඨින චීවර මහා පූජාව ද ඊට සමගාමීව සිදුවේ.

දකුණු සිරිලක මාතර පාලටුව ඛෙත්තාරාම මහ වෙහෙර දැකුම්කළු අංග සම්පූර්ණ විහාරයක් බවට පත් කරලීමට පුරෝගාමී වූ විහාරාධිපති ගෞරවාර්හ පාලටුවේ ජිනරතන ස්වාමීන් වහන්සේගේ මෙම ආගමික සාමාජික සංස්කෘතික හා සමජ සේවා උදාර මෙහෙවර අගයා ස්‍යාමොපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයෙන් දකුණු පළාතේ සම්භාවනීය නායක පදවියකින් ද සම්මානිත කොට ඇත.