Print this Article


බොදු පුනරුදයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ පානදුරාවාදයේ ඉතිහාස කතාව

බොදු පුනරුදයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ පානදුරාවාදයේ ඉතිහාස කතාව

දෙපිරිසෙහි ම දායකවරු එකතු වී වාදය සඳහා වර්ෂ 1873 අගෝස්තු 26 සහ 28 වශයෙන් දින නියම කළා. වාදය කට වචනයෙන් සිදු කිරීමට, පවසන කරුණු මූලාශ්‍ර සහිත ව පෙන්වා දීමට , පිරිස සාමකාමී ව හැසිරවීමට කොන්දේසි සම්මත කරවා ගෙන තිබෙනවා. වාදය සඳහා මුදල් වියදම් කෙළේ ජෙරමියෙස් දියෙස් මැතිතුමා.

සියවස් හතරකට ආසන්න කාලයක් ම පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කියන යුරෝපා ජාතීන්ගේ තාඩන පීඩනවලට මුහුණ දෙන්නට ශ්‍රී ලාංකිකයන්ට සිදුව තිබුණා. යුරෝපීයයන්ගේ අරමුණ වුණේ පෙරදිග රටවල වෙළඳාම් කටයුතු සිදු කරමින් අධික ලාභ ඉපයීම පමණක් ම නම් නොවෙයි. තමන් අදහන ආගම් එම රටවල ප්‍රචාරය කිරීම ද ඔවුන්ගේ ප්‍රධාන අරමුණක් වුණා.


පානදුර රන්කොත් විහාරය

මුලින් ම ලක්දිව මුහුදුබඩ ප්‍රදේශ ද, වර්ෂ 1815න් පසු මුළු ලංකාව ම ද පාලනය කිරීමේ බලය සියතට ගත් මොවුහු තම පාලන ප්‍රදේශවල බුදුදහම ඇතුළු ස්වදේශිකයන්ගේ ආගම් ඇදහීම තහනම් කළා. වෙහෙර විහාරස්ථාන කඩා බිඳ දැමුවා. පල්ලි ඉදි කළා. පූජකවරුන් ලංකාවට කැඳවා ඔවුන්ට අනුග්‍රහ දැක්වූවා. පාසල් ආරම්භ කළේ ඒ පල්ලි ආශ්‍රිතවයි. ඒ සමඟ ම එතෙක් පන්සල් හා පිරුවන් සමඟ බැඳී පැවතුණු අධ්‍යාපන ක්‍රමය විනාශ කර දැමුවා. යුරෝපීයයන් ඇරඹූ පාසල් හැඳීන්වූයේ මිෂනාරි පාසල් ලෙසයි. එම පාසල්වල අධ්‍යාපනය ලැබූ දරුවන්ට රජයේ ඉහළ තනතුරු සහ වරප්‍රසද අනිවාර්යයෙන් ම හිමි කර දෙන්නට ද ඔවුන් පසුබට වූයේ නෑ.

ඒ වගේ ම යුරෝපීයයන්ගේ ආගම් වැළඳගත් අය සඳහා රජයේ තනතුරු සහ වරප්‍රසාද පිරිනැමීම නිසා ලාභ සත්කාර අපේක්ෂාවෙන් බොහෝ ස්වදේශිකයෝ බුදුදහම අත් හැර යුරෝපීයයන් ඇදහූ ආගම් වැළඳගන්නට වුවා. යුරෝපීය නම්, ඇඳුම් පැළඳුම්, සිරිත් විරිත් අනුකරණය කළා.

මිෂනාරි පාසල්වල අධ්‍යාපන රටාව සකස් වී තිබුණේ දරුවන්ට නිබඳව ම තම රට පිළිබඳ පිළිකුළක් ඇති වන ආකාරයට යි. සිංහල සිරිත් විරිත් ගර්හාවට ලක්වන ලෙසට යි. බුදුදහම පිළිබඳ අපහාසාත්මක ප්‍රකාශ සිදු කොට යුරෝපීය ආගම් සහ සිරිත් විරිත් පිළිබඳ හැඟීමක් ඇති වන ආකාරයට යි. මෙම පාසල්වලට දරුවන් නොයවන මව්පියන්ට දඩ ගැසීමේ පිළිවෙතක් ද වුණා. ඒ අතර පූජකවරුන්ට නොමඳ රාජානුග්‍රහය ද ලැබුණා. ඔවුන් ප්‍රසිද්ධ දේශනා පවත්වමින්, බුදු දහම පිළිබඳ බොරු මතවාද සමාජගත කළා.

ලංකාවට ට මුද්‍රණ ශිල්පය හඳුන්වා දුන්නේ මේ අතරයි. ඒ සමඟ ම බුදු දහම විකෘති වන අන්දමේ අර්ථකථන සපයා පොත් මුද්‍රණය කිරීම සහ අත් පත්‍රිකා බෙදා හැරීම සුලභ සිද්ධියක් බවට පත් වුණා. පූජකවරු සිංහල හා පාලි භාෂා ඉගෙන ගනිමින් තම මතවාද ව්‍යාප්ත කිරීමට උත්සුක වුණා.

දුරාතීතයේ පටන් සතර පෝයට පෙහෙවස් සමාදන් වීමට පුරුදු වූ ලාංකිකයන් එයින් දුරස් කරීම සඳහා පොහොය නිවාඩුව පවා අහෝසි කළා. සති අන්ත නිවාඩු හඳුන්වා දුන්නේ ඒ වෙනුවටයි.

වර්ෂ 1815 උඩරට ගිවිසුමට අනුව බ්‍රිතාන්‍යයන් බුද්ධාගම සුරක්ෂිත කිරීමට බැඳීසිටිය යුතු වුණා. එහෙත් ඔවුන් එම වගකීම ඉටු කළේ නෑ. 1818 සහ 1848 නිදහස් සටන් ඇති වන්නේ මෙවැනි කරුණු පදනම් කරගෙනයි. එසේ වුව ද එම නිදහස් සටන් කෲර ලෙස මර්දනය කිරීමට ඉංග්‍රීසිහු සමත් වූණා. ස්වදේශිකයන් තමන්ට වන අසාධාරණකම් පිළිබඳ විටින් විට ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා දැනුම්වත් කළේ පෙත්සම් යොමු කරමිනුයි. එහෙත් සුබවාදී ප්‍රතිචාර ලැබුණේ නෑ.

වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ අප්‍රතිහත ධෛර්යය නිසා මෙරට ධර්ම ශාස්ත්‍රාලෝකයක් ඇති වුණා. එහි ප්‍රතිඵල වශයෙන් රට පුරා වියත්, විශාරද මහා සඟ රුවනක් බිහිවුණා. මේ නිසා පාලකයන්ට තම අභිමතාර්ථයන් සාර්ථක කර ගතහැකි වූයේ නෑ.

වර්ෂ 1826 ගාල්ලේ මේධංකර නාහිමියන් විසින් පැල්මඩුල්ල රාජමහා විහාර පිරුවන ආරම්භ කිරීම, එම පිරුවනේ ශිෂ්‍යවරයකු වූ වලානේ සිද්ධාර්ථ හිමියන්, රත්මලානේ පරමධම්මචේතිය පිරුවන ආරම්භ කිරීම සේ ම වලානේ මාහිමියන්ගේ ශිෂ්‍යවරුන් වූ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් සහ රත්මලානේ ධර්මාලෝක මාහිමියන් අග්‍රගණ්‍ය ප්‍රාචීන භාෂා සහ බෞද්ධ අධ්‍යයන ආයතන වූ විද්‍යොදය හා විද්‍යාලංකාර පිරුවන් දෙක පිහිටුවීම මෙරට දෙස, බස, දැය, සමය නැංවීමට මහෝපකාරී වූ සිදුවීම් බවට පත් වුණා.


මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි


ජෙරමියෙස් දියෙස් මැතිතුමා

එසේ ම වැලිතර, දොඩංදූව ප්‍රදේශ ආශ්‍රිත ව සිදු වූ ධර්ම ශාස්ත්‍රීය ප්‍රබෝධය ද අමතක කළ නොහැකියි. පැල්මඩුල්ල සුදර්ශන ධර්ම ශාලාවේ පැවති විනය සංගායනාව ද මෙම යුගයේ බොදු පුනරුදයට ඉමහත් දායකත්වයක් සැපයූවා. එම යුගයේ ජාත්‍යන්තර සම්බන්ධතා අතින් පොහොසත් ව සිටි බුලත්ගම සිරි ධම්මාලංකාර සුමනතිස්ස මාහිමිපාණන් වහන්සේ ලංකෝපකාර මුද්‍රණාලය පිහිටුවා ප්‍රථම බෞද්ධ පුවත්පත වූ ලංකාලෝකය පුවත්පත ආරම්භ කළා. දොඩංදූවේ පියරතන තිස්ස නාහිමිපාණන් වහන්සේ විසින් ජිනලබ්ධි විශෝධනී නමින් ලක්දිව ප්‍රථම බෞද්ධ පාඨශාලාව ආරම්භ කරනු ලැබුවේ ද ගිහි බෞද්ධ දරුවන්ට අධ්‍යාපනය ලබා දීමටයි.

ක්‍රිස්තියානි ආගමිකයන් ප්‍රසිද්ධ දේශන පවත්වා බුදු දහමට සිදු කළ නිගාවන්ට පිළිතුරු සැපයීමට බෞද්ධ භික්ෂූන් වහන්සේලා සංවිධානාත්මක අන්දමින් ඉදිරියට පැමිණීම 1860 දශකය වන විට දකින්නට ලැබුණා. මෙහි දි බෞද්ධයන්ගේ අසහාය කථිකයා ලෙස ඉදිරියට පැමිණියේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද මාහිමිපාණන් වහන්සේ යි. මිගෙට්ටුවත්ත ග්‍රාමය මොහොට්ටිවත්ත ලෙස ද හඳුන්වා ඇති නිසා මොහොට්ටිවත්තේ ගුණානන්ද නමින් ද උන්වහන්සේ හැඳීන්වෙනවා. බුදු සමය මෙන් ම ක්‍රිස්තියානි ධර්මය පිළිබඳ මනා අධ්‍යාපනයක් ලබා සිටි ගුණානන්ද මාහිමිපාණන් වහන්සේට භාෂා රැසක නිපුණත්වයක් වූවා. එසේ ම සුවිශේෂ කථන හැකියාවෙන් ද පරිපූර්ණ වුණා. අන්‍යාගමිකයන් සිදු කළ වැරැදි සහගත දෙසුම් සඳහා පිළිතුරු වශයෙන් ගුණානන්ද හිමියන් දේශනා හාර දහසක් පවත්වා ඇති බව කියැවෙනවා. එසේ ම පොත් පත් රාශියක් රචනා කොට, පුවත්පත් රාශියක් ද ආරම්භ කරවා තිබෙනවා.

ගුණානන්ද මාහිමියන් වඩාත් ප්‍රසිද්ධ වන්නේ උන්වහන්සේගේ නායකත්වයෙන් සිදු වූ පංචමහා වාදය හේතුවෙනුයි. වර්ෂ 1865 වරාගොඩ වාදය සහ බද්දේගම වාදය, 1866 උදම්මිට වාදය, 1871 ගම්පොළ වාදය යන වාදයන්ට පසුව 1873 දී වඩාත් ප්‍රසිද්ධ පානදුරා වාදය පවත්වන්නට යෙදුණා.

වර්ෂ 1873 ජූනි මස 12 වැනි දින පානදුරේ වැස්ලියන් දේවස්ථානයේ දාවිත් ද සිල්වා දේවගැතිතුමා සිදු කළ දේශනාවට පිළිතුරු වශයෙන් පානදුරේ විසූ ජෙරමියෙස් දියෙස් මැතිතුමා සහ කොරනේලිස් ප්‍රේරා කරුණාරත්න මැතිතුමා මුල් වි ගුණානන්ද හිමියන් පානදුරේ ගල්කන්දේ විහාරයට (නූතන රන්කොත් විහාරය ) වැඩමවා ජූනි 19 වන දින පිළිතුරු දේශනයක් පැවැත්වූවා. මින් පසු කිතුණුවන් දෙසුමෙහි දායකත්වය දැරූ දායකයන් දෙදෙනාට ලිපියක් යවමින් වාදයක් සඳහා ආරාධනා කළා. බොදු පිළ එම ඇරයුම පිළි ගත්තා.

දෙපිරිසෙහි ම දායකවරු එකතු වී වාදය සඳහා වර්ෂ 1873 අගෝස්තු 26 සහ 28 වශයෙන් දින නියම කළා. වාදය කට වචනයෙන් සිදු කිරීමට, පවසන කරුණු මූලාශ්‍ර සහිත ව පෙන්වා දීමට , පිරිස සාමකාමී ව හැසිරවීමට කොන්දේසි සම්මත කරවා ගෙන තිබෙනවා. වාදය සඳහා මුදල් වියදම් කෙළේ ජෙරමියෙස් දියෙස් මැතිතුමා. ඔහුට අයත් පානදුර පට්ටියේ දොඹගහවත්ත නම් ඉඩමෙහි සරසන ලද මඩුවක් තනා එහි උතුරු පස බෞද්ධයන් සඳහා ද, දකුණු පස කිතුණුවන් සඳහා ද වෙන් කරවූවා. යම් ලෙසකින් සාමය කඩවීමක් වුවහොත් පාලනය කිරීමට පොලිස් භට කණ්ඩායම් ද කැඳවා තිබුණා.

අගෝස්තු 26 වැනි දින පෙරවරුවේ 14 දෙනකුගෙන් යුත් බලඇණියක් සමඟ පොලිස් අණ දෙන නිලධාරියා පැමිණ කලකෝලාහලවලින් තොර ව සන්සුන් ව වාදය සිදු කරන ලෙස දෙපිරිසට ම දැන්වුවා. ක්‍රිස්තියානි පක්ෂය වෙනුවෙන් ජයසිංහ පාදිලිතුමා සහ බෞද්ධ පක්ෂය වෙනුවෙන් බුලත්ගම ධම්මාලංකාර සුමනතිස්ස මාහිමිපාණන් වහන්සේ නැඟී සිට සාමය ආරක්ෂා කරමින් දෙසුම පවත්වන ලෙස පිරිසට දැන්වූවා.

බෞද්ධයන් වෙනුවෙන් කථිකයා ලෙස ඉදිරිපත් වූයේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්. කරුණු සම්පාදනය ආදී සහය පළ කිරීමට හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, වැලිගම සුමංගල නාහිමි, වස්කඩුවේ සුභූති නාහිමි, රත්මලානේ ධර්මාලෝක නාහිමි, පොතුවිල ඉන්දජෝති මාහිමි, රන්දොඹේ ධම්මාලංකාර මාහිමි, තලාහේනේ අමරමෝලි මාහිමි, මුල්ලේරියාවේ ගුණරතන මාහිමි, බටුවන්තුඩාවේ පඬිතුමා ඇතුළු සම්භාවනීය පිරිසක් පැමිණ සිටියා. කිතුණු පිළ වෙනුවෙන් දාවිත් ද සිල්වා පාදිලිතුමා සහ සිරිමාන්න කතිසේරුතුමා කථිකයන් වූ අතර ගුණවර්ධන, චාර්ල්ස් ද සිල්වා වැනි පාදිලිවරුන් සහයට පැමිණ සිටියා. වාදය පැවැත්වෙද්දී තුණ්ඩු මගින් අවශ්‍ය කරුණු කථිකයන්ට දැනුම් දුන්නා විනා සහයට පැමිණි පඬිවරු කථාවට ඉදිරිපත් නොවූ බවයි සඳහන් වන්නේ.


පානදුරා වාදය දැක්වෙන කොටහේන දීපදුත්තමාරාමයේ සිතුවමක්

පෙරවරු අටට දාවිත් ද සිල්වා පාදිලිතුමා වාදය ආරම්භ කරමින් පැයක දෙසුමක් සිදු කළා . ඉන් පසු ගුණානන්ද මාහිමිපාණන් වහන්සේ පිළිතුරු දෙසුම සිදු කළා. දිවා විවේකයෙන් පසු සවස තුනට නැවත දාවිත් ද සිල්වා පාදිලිතුමන් දෙවැනි දෙසුම සිදු කළ පසු ගුණානන්ද මාහිමියන්ගේ දෙවැනි පිළිතුරු දෙසුම පැවැත්වුණා. මෙදින වාදය අවසන් නොවූ නිසා 28 වැනි දිනට වාදය කල් දමන්නට සිදු වුණා.

අගෝස්තු 28 වැනි දින පෙරවරු 8 ට සිරිමාන්න කතිසේරුතුමා දෙසුම පැවැත් වූ පසු ගුණානන්ද මාහිමිපාණන් වහන්සේ පිළිතුරු දෙසුම පැවැත්වූවා. නැවත අපරභාගයේ දාවිත් ද සිල්වා පාදිලිතුමන් සිව්වන දේශනය පැවැත් වූ පසු ගුණානන්ද මාහිමිපාණන් වහන්සේ පිළිතුරු දෙසුම සිදු කළා. බොදුණුවන් වාදයෙන් ජය ගත් බව ප්‍රත්‍යක්ෂ වූයේ මෙම දෙසුම අවසන් වන විටයි. ඒ සමඟ ම පැමිණ සිටි බොදුනුවන් සාධුකාර පැවැත්වූවා. සාධුකාරයෙන් පානදුරය ගිගුම් දුන් බවයි සඳහන් වන්නේ. එ බැවින් හික්කඩුවේ සුමංගල නාහිමියන්ගේ දැන්වීම පරිදි මිගෙට්ටුවත්තේ හිමියන් නැඟී සිට පිරිසට අත් ඔසවා සංඥා කළ හෙයින් සියල්ලෝ ම නිහඬ වූවා. සමකාලීන වාර්තා මඟින් පැහැදිලි වන්නේ මෙම වාදය නැරඹීමට දහස් ගණන් පිරිසක් පැමිණ සිටිබවයි.

සෑම දේශකයකු විසින් ම ම පැයක කාලයක් දේශන සිදු කරනු ලැබුවා. වාදය වාර්තා කිරීමට ද බොහෝ පිරිසක් ඉදිරිපත් ව සිටියා.

කෝට්ටේ එඩ්වඩ් පෙරේරා මහතා ලවා වාද කථා ඉංග්‍රීසියට පරිවර්තනය කරවා තම පුවත්පතේ පළ කිරීමටත් සම්පූර්ණ වාදය පොතක් වශයෙන් පළ කරවා දෙස් විදෙස්හි බෙදා හැරීමටත් කටයුතු කළේ සිලෝන් ටයිම්ස්පුවත්පතේ කර්තෘ ජෝන් කැපර් මහතා විසිනු යි. මෙම පොත එකල ගාල්ලේ සිටි ජේ. ඇම්. පීබල්ස් මහතාවිසින් අමෙරිකාවට රැගෙන ගොස් බෞද්ධ පක්ෂය ජය ලැබූ බව දක්වා මුද්‍රණය කොට බෙදා හරිනු ලැබුවා.

එම පොත කියවීමෙන් සහ ලොන්ඩන් පියතුමා විසින් ලංකා මිත්‍රයා සඟරාවේ පළ කළ වාර්තාවල පරිවර්තන කියවීමෙන් සත්‍යයට වඩා උසස් ආගමක් නැත යනුවෙන් විශ්වාස කළ පරමවිඥානාර්ථවාදීන් ලෙසින් හඳුන්වන ලද අමෙරිකානු ජාතික සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා සහ එතුමාගේ මිතුරියක වූ හෙලේනා පැට්ට්‍රොවීනා බ්ලැවැට්ස්කි මැතිණිය පානදුරා වාදයේ පුරෝගාමීන් හමු වීම සඳහා වර්ෂ 1880 දී ලංකාවට පැමිණියා. ඔවුන් ගාල්ලේ වැලිවත්තේ විජයානන්ද පිරුවනේ දී අක්මීමන ධම්මාරාම හිමියන් වෙතින් පන්සිල් සමාදන් ව බොදුනුවන් බවට පත් වූ බව කියැවෙනවා.

පරම විඥානාර්ථ බෞද්ධ සමාගම පිහිටුවීම, සරසවිසඳරැස පුවත්පත ආරම්භ කිරීම, බෞද්ධ පාසල් ආරම්භ කිරීම, වෙසක් පොහොය නිවාඩු දිනයක් බවට පත් කිරීම, බෞද්ධ කොඩිය ප්‍රමිතිගත කිරීම වැනි මෙහෙවර සමූහයක් ඕල්කට්තුමාගේ දායකත්වයෙන් සිදු වුණා. දොඩන්දූවේ බෞද්ධ පාසල වැනි බෞද්ධ පාසල් මේ වන විටත් ලංකාවේ පැවතුණ ද යුරෝපීයයන්ගේ පාසල් සමග උරෙනුර ගැටීමට හැකි මට්ටමේ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දිය හැකි ආනන්ද, නාලන්දා, මහින්ද, ධර්මරාජ, විශඛා, මියුසියස්, මහාමායා වැනි පාසල් බිහි කිරීමේ ගෞරවය ඕල්කට්තුමා වෙත හිමි වෙනවා. ඕල්කට්තුමා ගමින් ගම යමින් දෙසුම් පවත්වද්දී ඒවා සිංහලට පරිවර්තනය කරන ලද්දේ එවක තරුණයකු වූ අනගාරික ධර්මපාලතුමායි. සුදු ජාතිකයකු නිසා ඕල්කට්තුමා හරහා බොදුනුවන් වෙනුවෙන් කළ ඉල්ලීම් වෙනුවෙන් මෙරට ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා මෙන්ම බ්‍රිතාන්‍යයේ යටත් විජිත භාර ලේකම්වරයා ද යහපත් ප්‍රතිචාර දැක්වූ බවයි පැවසෙන්නේ. වර්ෂ 1892 ගාල්ලේ වැලිවත්තේ විජයානන්ද විහාරයේ ලක්දිව ප්‍රථම ඉරුදින දහම් පාසල ආරම්භ කොට දහම් පාසල් සේවය ආරම්භ කිරීම ද ඕල්කට් තුමාගේ මෙහෙවරට අයත් වෙනවා. පසුකාලීන වාර්තා අනුව හික්කඩුවේ නාහිමි, මිගෙට්ටුවත්තේ නාහිමි, ධර්මපාලතුමා වැනි ස්වදේශික වීරවරයන් ගමන් ගත් මඟින් ඈත්ව ඕල්කට්තුමන් කටයුතු කළ ද මුල් වකවානුවේ එතුමාගේ මෙහෙවර සුවිශේෂී වෙනවා.

මිගෙට්ටුවත්තේ මාහිමියන් අපවත් වීමෙන් පසු උන්වහන්සේගේ ශිෂ්‍ය වූ මිගෙට්ටුවත්තේ ජනානන්ද මාහිමියන්ගේ මූලිකත්වයෙන් ඔරුගොඩවත්තේ දී වාදයක් පවත්වා තිබෙනවා.

බෞද්ධ පුනර්ජීවන ව්‍යපාරය සම්පූර්ණයෙන් ශක්තිමත් වීම පානදුරාවාදයේ ප්‍රතිඵලය වශයෙන් සඳහන් කළ හැකියි. මිත්‍යා මත පරාජය කිරීම සේ ම, ප්‍රාචීන අධ්‍යාපනය පුළුල් වීමට ද මෙම වාදයන් හේතු වුණා. බෞද්ධ දානපතීන්ගේ උපකාර ලබමින් බෞද්ධ පොත්, දහම් පත්‍රිකා මුද්‍රණය වෙමින් බුදුදහම සන්නිවේදනය කිරීම වැඩි දියුණු වුණා. දෙස, බස, දැය, සමය පිළිබඳ අභිමානවත් පුරවැසියන් බිහිවීමට පානදුරාවාදය ලබා දුන් දායකත්වය බොහෝ සුවිශේෂී වනවා.