Print this Article


කඨින චීවර පූජාවේ ගැඹුර

කඨින චීවර පූජාවේ ගැඹුර

" වස්තුන් මාසය අවසන් වන විට එළඹෙන්නේ දායක පක්ෂයට ඉදිරි චීවර මාසය තුළ තමන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ කාල සටහනක් සකස් කර ගැනීම යි."

කඨින යන වචනය උච්චාරණය වන්නේ ම ගැඹුරු හඬකින්. කඨින යන වචනයේ තේරුමත් එ පමණට ම ගැඹුරු වූවක්. ඉතින් මොකක් ද මේ ගැඹුර, එහෙම නැති නම් බරපතළකම කියන එක යි අද මෙහි දී අප විසින් විමසුමට ලක් කරන්නට කල්පනා කළේ. අපේ රටේ පමණක් නො ව ලෝකයේ මහත් ජනතාවට කඨින පින්කම කියන ක්‍රියාව ඉතා වැදගත් වන්නේ එහි ඇති ආනිසංසය බලවත් නිසා ම බව එක්වර ම පැහැදිලි වන කරුණක්.

එසේ ද වූවත් එය බරපතළ කර ගැනීමේ කාර්යය නම් සුළු කොට තකන්නට බැහැ. මෙය ඉතා ම පැහැදිලි කරුණක්. ඉතින් එවැනි කඨින පින්කමක් අංගසම්පූර්ණ වශයෙන් කර ගැනීමට ලැබෙන්නේ ත් කරුණු කිහිපයක් සම්පූර්ණ කර ගත්තොත් පමණ යි. එහි දී දායක පක්ෂය වගේ ම කඨින චීවර ප්‍රතිග්‍රාහක පක්ෂයේත් අවශ්‍ය කාරණා සම්පූර්ණ විය යුතු යි. මෙහි ගැඹුර බලවත් වීමට එක හේතුවක් නම්, පින්කම් අතර පිළිගත් මතයයක් වී තිබෙනවා කඨින පින්කම අටමහා කුසල් අතර පළමු වැනි පින්කම බවට. ඒ වගේ ම කඨින පින්කමේ ආනිසංස ගැන කතා කරන විට කිසියම් අයෙක් පංචානන්තරිය පාප කර්මයක් කර ගෙන නොමැති නම්, ඒ අය ඊළඟට ලබන භවය තුළ අනිවාර්යයෙන් ම විපාක ලැබීමට තරම් බලවත් වූ පින්කම ද මේ කඨින පින්කම බවට ද මතයක් තිබෙනවා. අපි හැමවිට ම පින්කම් කරන්නේ සිත පිරිසුදු කර ගැනීමට යි. අකුසල සිතිවිලි යටපත් කර, කුසල සිතිවිලි දියුණු කර, සසර ගමන කෙටි කර ගැනීමට යි. ඉතින් පින්කමක් කරලා අකුසල් සිත් වැඩි දියුණු වෙනවා නම් ඒ පින්කම නො කරන එක තමා වැඩිය හොඳ වන්නේ. මොක ද ඒ ආකාරයේ පින්කම් පින්කමක ස්වරූපයෙන් පෙනුණත්, එයින් ඒ පින්කම සිදු කරන දායක පක්ෂයේ ප්‍රභූත්වය කියා පෑමට හෝ වෙනත් ගරු නම්බු අපේක්ෂාවෙන් එවැන්නක් කරන විට සිදු වන්නේ ආශාව තෘෂ්ණාව වැනි අකුසල සිතිවිලි බලවත් වී සසර ගමනට බාධා ඇති වීම පමණයි. මෙය අප ඉතා අරපරිස්සමෙන් තේරුම් ගත යුතු කරුණක් . ඉතින් ඒ විදිහට බලන කොට අද සිදුවන කඨින පින්කම් සැබෑ අරුතෙන් ම කඨින පින්කමේ ආනිසංස ඒ ආකාරයෙන් ම අත් කර ගත හැකි ඒවා ද යන්න කල්පනා කර බැලිය යුතු යි.

දායකයන් මෙන් ම කඨින චීවර ප්‍රතිග්‍රාහක පක්ෂය ද මේ තත්වය මනාව තේරුම් ගෙන ක්‍රියා කරනවා නම් අපට හැබෑ කඨින පින්කමක කොටස්කරුවන් බවට පත් වෙන්නට හැකියාව තිබෙනවා. ඉතින් දායක පක්ෂය වස් කාලය ආරම්භ වීමට පෙරාතුව සිට ම ඒ ගැන පුණ්‍ය සහගත ප්‍රසාද ජනක සිතිවිලි ඇති කර ගෙන, නියමිත දවසේ උපසම්පන්න භික්ෂූන් වහන්සේ වෙත ගොස් ඉදිරි වස් තුන් මාසය තුළ වස්විසීම පිණිස ආරාධනා කළ යුතු යි. මෙම වස් කාලය ආරම්භ වන සම්මත දිනය වන්නේ වර්ෂයේ ඇසළ පුර පසළොස්වක දිනය යි. එතැන් සිට වප්පුර පසළොස්වක දක්වා බලවත් වන වස් කාලය තුන් මාසයකට සීමා වෙනවා. ඉතින් මේ කාලය තුළ පෙර වස් විසූ භික්ෂූන් වහන්සේ එම තුන් මාසය අවසන් වූ පසුව පොහොය සීමාවට රැස් වී වස් පවාරණය සිදු කරනවා. ඉතින් වස් විසූ භික්ෂූන් වහන්සේ එම කාලය තුළ මහත් වෙහෙසක් දරමින් තම දිගු සසර ගමනට බාධා වන කිසිවක නිරත නො වී, මනා ලෙස සිහිය පිහිටුවාගෙන ක්‍රියා කිරීම බරපතළ අවශ්‍යතාවක්. ඉතින් ඒ කාලය තුළ භික්ෂුන් වහන්සේ උදේ, දවල්, හා රාත්‍රී යන තුන් අවස්ථාවේ දී ශ්‍රද්ධාව දියුණු වන ආකාරයෙන් බුද්ධ වන්දනාව, විවේකයක් ලද අවස්ථාවේ දී ම මෛත්‍රී කර්මස්ථානය වැඩීම, විදර්ශනා භාවනාවෙහි යෙදෙමින් පංච උපාදානස්කන්ධයෙහි නොතිර බව මෙනෙහි කිරීම, නියමිත අවස්ථාවේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට වත්පිළිවෙත්, ඇප උපස්ථාන සිදු කිරීම, ආචාර්ය, උපාධ්‍යායයන් වහන්සේලා අත් නොහැර ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදීම, නියමිත කාලසටහනක් පිළියෙළ කර ගෙන සිවුපසයෙන් තමන් වහන්සේලාට උපස්ථාන කරන දායක පක්ෂයට අවශ්‍ය ධර්මානුශාසනා, ධර්ම සාකච්ඡා පැවැත්වීම, දායක පක්ෂයට මේ කාලය තුළ සතිය පිහිටුවා විශේෂ වශයෙන් දවස ගත කිරීමේ අගය වටිනාකම අවබෝධ වන ආකාරයෙන් ම එම ධර්ම සාකච්ඡා ආදිය පවත්වා ඒ හැම දෙනා ම බුද්ධ මාර්ගයෙහි ගමන් කරවීමට කටයුතු කිරීම, අඩමසක් පාසා නො වරදවා ම පොහොය සීමාවට රැස් ව ඇවැත් දෙසාගෙන විනය කර්ම සිදු කොට ආයති සංවරයෙහි පිහිටමින් කල් ගත කිරීම මේ කටයුතු අතර මූලික වෙනවා.

වස්තුන් මාසය අවසන් වන විට එළඹෙන්නේ දායක පක්ෂයට ඉදිරි චීවර මාසය තුළ තමන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ කාල සටහනක් සකස් කර ගැනීම යි. ඒ වගේ ම ඊට පෙර ගත කරන වස් තුන් මාසය තුළ දායක පක්ෂය ද අතිශය හික්මීමෙන්, නිති පන්සිල් ආරක්ෂා කරමින් පඤ්ච දුෂ්චරිතයෙන් වැළකී පොහොය දිනවල අෂ්ඨාංග ශීලාදිය ද සමාදන් විය යුතුයි. වස් කාලය තුළ තම ආරාධනාවෙන් වස් වැඩ වසන භික්ෂූන් වහන්සේගේ සුවදුක් සොයා බලමින්, විවේක අවස්ථාවේ කිසියම් දින චරියාවක් සකසා ගෙන විහාරස්ථානයට යමින් එමින් ආගමික වත්සිරිත් හා තෙරුවන් වන්දනා ආදී කටයුතුවල ද නිරත වෙමින් හැම ඉරියව්වක් ම පැවැත්වීමේ දී සිහිය පිහිටුවා ගෙන කල් ගතකළ යුතුයි. ධර්ම දේශනා ශ්‍රවණය කරමින්, ධර්ම සාකච්ඡා පවත්වමින් වස් තුන් මාසය හා චීවර මාසය අවසන් වී ආපසු හැරී ගත වූ හාර මාසය දෙස විමසා බැලීමේ දී හැබෑවට ම තමන් සැබෑ වස් කාලයක් ගත කර, සසර ගමන කෙටි කර ගැනීමට අවශ්‍ය ආකාරයෙන් ගත කළා කියා හිතේ සතුට, ප්‍රීතිය ඇති වන ආකාරයෙන් ක්‍රියා කළා කියා හැඟීමක් ඇති කර ගත යුතු තත්වයට පත්වෙනවා.

චීවර මාසය ආරම්භයත් සමඟ එළඹෙන්නේ කඨින පින්කම අරුත්බර ව සිදු කර ගැනීමේ අවස්ථාව යි.

කඨින සිවුරක් කර ගැනීමට අවශ්‍ය වස්ත්‍රය හෙවත් කඨින දුස්සය සිවුරක් බවට පත් කර ගැනීම පිණිස භික්ෂූන් වහන්සේට භාර දෙන්නේ දායක පක්ෂය විසින්. ඉතින් එම වස්ත්‍රය තෝරා ගැනීම නම් අද සිදු වන්නාක් මෙන් පහසු කරුණක් නොවෙයි. ඊට අදාළ වන චාරිත්‍ර රැසක් දායක පක්ෂය විසින් ඉටු කරන්නට අවශ්‍ය වෙනවා. ඒ වගේ ම විහාරස්ථානයක වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේට මෙම වස්ත්‍රය ගෙනවුත් භාර දෙන්නේ ඒ වෙනුවෙන් තෙමසකට වැඩි වන කාලයක් තුළ දැහැමි ලෙස ජිවත් වෙමින් පිළිවෙත් පිරූ, වස්කාලය තුළ සිත දියුණු කර ගනිමින් සතියෙන් යුක්තව කල් ගෙවූ දායක පක්ෂය යි. මේ දායක පක්ෂය කඨින පින්කම ඔවුනොවුන් සම්මුඛ වී කතා බස් කර ගෙන තීන්දුවකට පැමිණ විහාරස්ථානයේ තම ආරාධනාව පිට වස්වසා වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේට භාර දෙන අවස්ථාව හරි ම අසිරිමත් සිදුවීමක් බවට පත්වෙනවා. මොක ද වස් විසූ භික්ෂූන් වහන්සේට ඒ පිළිබඳ කල්තබා දැනුවත් වීමකුත් තිබෙන්නට හැකියාවක් නැහැ. එය සඳහන් වන්නේ හදිසියේ අහසින් කඩා පාත්වුණු සිදුවීමක් ලෙසයි උන්වහන්සේ දැනුවත් වන්නේ. ඉතින් එහෙම නිසා භික්ෂුන් වහන්සේ මේ හිමිදිරි පාන්දර ශබ්ද පූජා ආදිය සහිත ව හෝ සෙනඟ එක්රැස් වෙලා විහාරස්ථානයට පැමිණියේ පින්කමක් පිණිස දැයි අර එන දායක පක්ෂයෙන් අසා දැන ගත යුතු වෙනවා. ඉතින් එහෙම දැන ගෙන අර දුස්සය හෙවත් වටිනා වස්ත්‍රය භාර ගෙන එදින ම සිවුරක් බවට පත් කර දෙන්නට භික්ෂූන් වහන්සේ බාර ගන්නවා. එම වස්ත්‍රය සිවුරක් බවට පත් කරනවා කියන කරුණත් සුළුපටු නොවෙයි. අද මෙන් නොව එය භික්ෂූන් වහන්සේලා කීපනමක් එකතු වී විනායානුකූල ව කඩකපා සකස් කර ගන්නට ඕන නිසාත්, වෙහෙසකර ව මසා ගන්නට ඕන නිසාත් භික්ෂූන් වහන්සේලා කීපනමක් එකතු වී එම වස්ත්‍රය සිවුරක් බවට පත් කරනවා.

පළමුවෙන් ම මෙහි වැදගත්ම කරුණ වන්නේ කඨින පින්කමක් කර ගැනීමට අවශ්‍ය කරන පෙරවස් විසූ භික්ෂූන් වහන්සේ කොතන ද? වැඩ වාසය කරන්නේ එය අප මනා සිහියකින් තේරුම් ගත යුතු වෙනවා.

පෙරවස් විසූ භික්ෂූව එම වස් කාලයෙහි සිහියෙන් ගත කොට සසර කෙළවර කර ගැනීමේ උත්සාහයක යෙදීම ඉතා වැදගත් කරුණක්. මෙහි දී උන්වහන්සේ තමන් වහන්සේ වස් විසූ සෙනසුනෙහි වාසය කරමින් තමන් වහන්සේ මෙලොව පරලොව සුගතිය පිණිස හේතුවන කල්ක්‍රියාවෙන් යුතුව ගත කරමින් ඒ කාලය තුළ දායක පක්ෂය විසින් උන්වහන්සේගේ එම උදාර අරමුණ සඵල කර ගැනීමට ක්‍රියා කරනවා වගේ ම දායක පක්ෂයේ දී මොලොව පරලොව යහපත පිණිස අවවාද අනුශාසනා දෙමින් ක්‍රියා කළ යුතු වෙනවා. අද වෙහෙර විහාරස්ථානවල වස් කාලය තුළ බහුල වශයෙන් සිදු කෙරෙන්නේ බෝධි පූජාවන්ට මුල් තැන දෙමින් ඒ මගින් දායක පක්ෂයේ නම් ගම් කියමින් ඔවුන් ඉස්මතු කොට තබමින් සිදු කරන ක්‍රියාවලියක්. එමෙන් ම ඒ අතර විවිධ පැතුම් ඉටු කර ගැනුමට නම් ගම් කියමින් සිදු කෙරෙන ආශිර්වාද වාක්‍යය ද අපට අසන්නට ලැබෙනවා. සැබවින් ම මේ මඟින් සිදු වන්නේ කෙලෙස් සිතිවිලි බහුල කරවීම යි. ඒ තුළින් දායක පක්ෂය විසින් වස් කාලය තුළ ගත කළ යුතු සසර කෙටි කර ගැනීමේ මාර්ගයෙන් බැහැර වීමක් සිදු වෙනවා. ඉතින් මෙහි දී පැහැදිලිව පෙන්වා දිය යුතු වන්නේ කඨින චීවර දායක පිරිසත්, කඨින චීවර ප්‍රතිග්‍රාහක උපසම්පන්න වස් විසූ භික්ෂූන් වහන්සේ ත් යන දෙපක්ෂය ම ඉතා පරිස්සමෙන්, සිහියෙන් යුතුව සිදු කර ගත යුතු තත්වයක පවතින කඨින පින්කමේ ගැඹුර හරි හැටි අවබෝධ කර ගෙන මේ පින්කම සිදු කර ගතහොත් අපගේ සසර දිවිපැවැත්ම සැපවත් කර ගැනුමටත්, කෙලෙස් නසා නිවන් අවබෝධ කර සසර ගමන අවසන් කර ගැනුමටත් හේතු වන බව අවසාන වශයෙන් තේරුම් ගෙන ක්‍රියා කළ යුතු වන බවයි.