Print this Article


එකිනෙකාට පරිත්‍යාගශීලී වනවා නම් ඕනෑම දුකක් කරදරයක් ජය ගන්න පුළුවන්

එකිනෙකාට පරිත්‍යාගශීලී වනවා නම් ඕනෑම දුකක් කරදරයක් ජය ගන්න පුළුවන්

තාක්ෂණයෙන් පිරිපුන් ලොවක් නිර්මාණය කළ මිනිසා කොරෝනා අභියෝගය හමුවේ අද අසරණව සිටී. පණ නල රැක දෙන හුස්ම පොද ම මිනිසාට මරණීය තර්ජනාංගුලිය ඔසවාගෙන සිටී. මෙය කෙතරම් ඛේදජනක ඉරණමක් ද? මෙම ව්‍යසනකාරී අවස්ථාව පසුකිරීම ඇත්තෙන් ම අභියෝගාත්මක ගැටලුවකි. එසේ වුවත්, බුදුදහමින් අපට මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා ප්‍රවේශයක් විවර කර ගැනීමේ හැකියාව තිබේ. ඒ පිළිබඳ විමසා බැලීම මෙම ලිපියෙහි අරමුණ වේ.

බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් හි පදනම වන්නේ ආචාරශීලී පැවැත්ම යි. එක් පුද්ගලයකුගේ ක්‍රියා කාරකම් තවත් පුද්ගලයකුගේ යහසාධනය කෙරෙහි බාධාකාරි නොවිය යුතු ය. සරල වචනයෙන් විස්තර කළ හොත් යම් පුද්ගලයෙක් තමන්ගේ හැසිරීම හේතුවෙන් තවත් අයකුට අවැඩක්, අනර්ථයක්, අයහපතක් නොකළ යුතු බවයි. බුද්ධ දේශනාවෙහි මෙම උපදේශය පනවා ඇත්තේ රාහුල සාමණේරයන් වෙනුවෙනි. පෘථග්ජන සිතිවිලිවලින් බැහැරවීම සඳහා රාහුල සාමණේරයන් හට ලබා දුන් උපදෙස් පෘතග්ජන අප හට ද එලෙසින් ම වලංගුවන අවස්ථා දැන් අප හමුවේ ඇත. එබැවින් බුදුදහම තවදුරටත් පිරික්සමින් පරාර්ථය මෙන් ම ස්වාර්ථය පිණිස ද දයා‐ කරුණා ගුණාංග ඉස්මතුවන අයුරින් දෛනික ක්‍රියාකාරකම්වල අප නිරත විය යුත්තේ කෙසේද යන්න විමසා බලමු.

අංගුත්තර නිකායේ සත්තක වග්ගයෙහි සඳහන් ‘සප්ත ආර්ය ධන’ වර්තමාන සංදර්භය හා බෙහෙවින් ගැලපෙන ඉගැන්වීමක් බව පෙනී යයි. ගිහි සමාජයේ ස්ත්‍රියක හා පුරුෂයකු විසින් සද්ධා, සීල, හිරි, ඔත්තප්ප, සුත, චාග, ප්‍රඥා ලෙස සඳහන් වන ආර්ය ධන එදිනෙදා ජීවිතයෙහි ප්‍රගුණ කරන්නේ නම් ඕනෑම කෙනෙක් දිළිඳු බවට පත් නොවන බවයි, එමගින් අවධාරණය කරනුයේ. මෙම ධන සම්පත් අතරින් විචක්ෂණසීලී දැනුම (සුත) සහ දයා කරුණා පෙරදැරි පරිත්‍යාගය (චාග) කොරෝනා සමය තුළ භාවිත කළයුතු ආකාරය නිදසුන් කිහිපයක් ඔස්සේ විමසා බලමු.

‘චාග’ හෙවත් පරිත්‍යාගය විවිධාකාරයෙන් සමාජය තුළ ක්‍රියාවට නැංවේ. එය ආගමික පදනම මත භක්ති පූර්වක ව සිදු කෙරෙන ‘දානය’ යි. මජ්ඣිම නිකායේ දක්ඛිණාවිභංග සූත්‍රයෙහි දානයෙහි අනුසස් බොහෝ ආකාරයෙන් විස්තර කෙරේ. භික්‍ෂූන් වහන්සේ සඳහා වූ සිවුපසය සහිත සියලු පරිත්‍යාග දානය ට ඇතුළත් වේ.

කිතුණු, හින්දු, ඉස්ලාම් වැනි ආගම්වල ද පරිත්‍යාගය ඉමහත් භක්තියෙන් ඉටු කරන ආගමික ක්‍රියාවක් බව පැහැදිලි ය. බුදුදහම ගරු කරන මහායාන බෞද්ධ ප්‍රජාව, මරණින් මතු දිව්‍ය සම්පත් ලබා ගැනීමේ අරමුණින් ‘පරිත්‍යාගය’ කෙරෙහි සුවිශේෂි ඇල්මක් දක්වනු පෙනේ. සුඛාවතී දෙව්ලොව ඉපිද දිව්‍ය සැප විඳීමෙන් අනතුරුව මෛත්‍රී බුදුන් හමුවෙහි සසර ගමන නිම කිරීමේ අරමුණ කැපී පෙනෙන සංසිද්ධියකි. එම අරමුණ පෙරදැරි ව බුදුසසුනේ දියුණුව සඳහා සිදු කෙරෙන විශාල ධන පරිත්‍යාග ඉතා ආකර්ශණීය දාන කර්තව්‍යය ලෙසෙ පිළිගැනේ.

ථෙරවාදි බෞද්ධ සම්ප්‍රදාය තුළ ‘දානය’ සුවිශේෂි ආගමික ක්‍රියාවක් ලෙස පිළිගන්නා අතර සලාක දානයේ පටන් විවධ වූ සිවුරු පිරිකර සහිත දානය මෙන් ම ඇස්, ලේ, හා ශාරීරාංග දානය දක්වා එය පුලුල් වෙමින් පවතී. තවත් පුද්ගලයකුගේ නිරෝගී පැවැත්ම උදෙසා දෙන දානය ද ‘පරිත්‍යාගයක්’ වශයෙන් පිළිගැනීමට ලක් වී තිබේ. සමාජ යහපත උදෙසා පරිත්‍යාගශීලී වීමේ වැදගත්කම කොරෝනා වසංගත සමය අපට සිහිගන්වන ඉගැන්වීමක් බැවින්, ‘චාග ධනය හෙවත් පරිත්‍යාගශීලීබව පිළිබඳ ත්‍රිපිටක ඉගැන්වීම් ඔස්සේ නිදසුන් කිහිපයක් සලකා බලමු.

දීඝ නිකායේ සෝණදණ්ඩ සූත්‍රයෙහි සෝණදණ්ඩ බමුණු ගුරුතුමා බුදුන්වහන්සේ පිළිබඳ ව සිය ගෝල පිරිසට හඳුන්වා දුන් ආකාරය ඉතා රමණීය ය. එම සූත්‍රයට අනුව බුදුන්වහන්සේගේ චරිතය හඳුනාගන්නේ එකල බ්‍රාහ්මණ සමාජයේ පිළිගැනීමට ලක් වූ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ වෙනුවට සෝණදණ්ඩ පඬිවරයා අගය කරන්නේ බුදුන් වහන්සේගේ මෘදූ මොලොක් ගුණයයි.

ශ්‍රවණයට ප්‍රිය වූ වචන කතා කරන - සඛිලෝ

පිළිසඳර කතාවට උත්සුක වන - සම්මෝදකෝ

ඇහිබැම හකුළවමින් අකමැත්ත ප්‍රකට නොකරන - අබ්භාකුටිකෝ

හමුවීමට පැමිණෙන්නා කතාවට උනන්දු කරවන - උත්තානමුඛෝ

සැපදුක් විමසමින් ප්‍රථමයෙන් ම ආමන්ත්‍රණය කරන - පුබ්බභාසී

මෙයින් ප්‍රකට වන්නේ බුදුන් වහන්සේගේ ත්‍යාගශීලී ගුණය නොවේද?

බොදුනුවන් වන අපි බුදුන් වහන්සේට දිනපතා වන්දනා කරමු. එහෙත් බුද්ධ චරිතයෙන් උකහා ගත යුතු ‘ත්‍යාගශීලීබව’ වැනි උදාර ගුණාංග පිළිබඳ ඉගැන්වීම් ළමා කාලයේ සිට හඳුන්වා දීමට නිසි අවධානයක් යොමු වී ඇති බවක් නොපෙනේ.

පරිත්‍යාගය, එසේත් නැතිනම්, ‘චාග ධනය’ අප එකිනෙකාගේ පෞද්ගලික ජීවිතයට මෙන් ම, පවුල් ජීවිතයටත් ඉන් ඔබ්බෙහි වූ සමාජ යහපැවැත්මටත් උපකාර වන ආකාරය පිළිබඳ බුද්ධ චරිතය විමසීම මගින් පැහැදිලි කර ගැනීමට හැකි වේ. සමාජයේ ඉතා පහත් කුලයකින් පැමිණි අයකුට වු ව ද බුදුන්වහන්සේ දැක්වූ සම මෙත බුද්ධ චරිතය තුළින් මතුකර ගත යුතු හෘදයාංගම චාගී ගුණය ලෙස සමාජයට හඳුන්වාදීම කොතරම් කාලෝචිත ද ?

දෙවැනි නිදසුන වන්නේ අංගුත්තර නිකායේ තික නිපාතයේ සඳහන් උපෝසථ සූත්‍රයේ විසාකා උපාසිකා චරිතය තුළින් ත්‍යාගශීලී බව විමසා බැලීමයි. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්න කෙරෙහි පැහැදුණු විසාකාව ළමා වියේ දි මමත්වය, විචිකිච්චාව සහ සීලවෘත සමාදානය ඉවත ලූ අතර, දහසය හැවිරිදි වියෙහි දී සිය මාමණ්ඩිය බුදුන් කෙරෙහි පැහැදවීමට ඥානාන්විත ව මඟ හෙළිපෙහෙළිකර දීමට සමත් වූවා ය. එපමණක් නොව විශාකාව ප්‍රසූත වේදනාවෙන් පීඩිත වූ වෙළඹකට මැදියම් රාත්‍රිය පුරා උණුසුම් තෙල් සාත්තුවකින් සම්බාහනය කරමින් ප්‍රසූතියට උපකාර කළ බව කියැවෙන පුවත වර්තමාන දරුවන්ගේ සංවේදී චෛතසික මතුකිරීමට සමත් වන අවස්ථාවක් බව නිසැක ය. සිය පරපුර විසින් ප්‍රකට කළ මමත්වය හා මානය යටපත් එමෙන් ම, සෝවාන් දක්වා දියුණු කරන ලද චෛතසික ස්වභාවයෙන් යුත් ඇය කුලගෙට පැමිණි විට ඔවුන්හට ලැබුණු තෑගි බෝග නෑදෑයින් සහ අසල්වාසී හිතමිතුරන්හට ප්‍රදානය කිරීමට ක්‍රියා කළා ය. නෑ සබඳකම් තරකර ගැනීම මෙන් ම අසල්වාසීන් සමග හිතමිතුරු බව වැඩිදියුණු කර ගැනීම සඳහා ඇය විසින් අනුගමනය කරන ලද මෙම ත්‍යාගී ගුණය වත්මන් තරුණ පරපුරට ද ඉමහත් ආදර්ශයක් ලබා දෙයි.

තෙවැනි ව, වැඩිහිටි විවාහක යුවලක් විසින් අනුගමනය කළ යුතු සහනශීලී දිවි පෙවෙතකට නිදසුන් වශයෙන් සංයුක්ත නිකායේ නකුල පිතු සූත්‍රයේ මෙසේ සඳහන් වෙයි. අසූ වියට පැමිණි නකුල මාතා පිතූ යුවල මතු භවයන් හි ද ස්වාමි - භාර්යා වශයෙන් ජීවත්වීම පිළිබඳ ප්‍රාර්ථනාව ඉටුවන්නේ ද යන්න බුදුන් වහන්සේගෙන් විමසූ අතර, එයට පිළිතුර වූයේ අන්‍යොන්‍ය අවබෝධය මත ක්‍රියා කිරීමෙන් එම පැතුම ඉටුවන බවයි. ඒ සඳහා අනෙකාගේ සිතැඟි හඳුනාගෙන දෛනික ජීවිත පිළිවෙත සකස් කර ගැනීම සඳහා සමසද්ධා, සමසීල, සමචාග, සම ප්‍රඥා යන මානසික ගුණාංග වැඩිදයුණු කිරීමයි. එමගින් පවුල් ජීවිත ආශ්‍රිත ව සිදුවන හැලහැප්පිලි සමනය කිරීමට හැකියාව ලැබේ. එමෙන් ම, නකුල පිතා දැඩි ලෙස ගිලන් වූ මොහොතේ නකුල මාතාවගේ ප්‍රියශීලී අගයුම් සහිත වදන් ශ්‍රවණය කිරීමෙන් නිරෝගී බව ලැබූ පුවත වත්මන් විවාහක යුවල විසින් කුතුහලයෙන් යුතුව විමසිය යුතු කරුණක් බව සඳහන් කළ යුතු ය.

මේ කරුණු අනුව නව යෞවනයන්හට මෙන්ම තරුණ ස්වාමි - භාර්යාවන් හට උපදෙස් හා මඟ පෙන්වීම සඳහා ත්‍රිපිටකයේ සඳහන් සූත්‍ර දේශනා පිළිබඳ නව කියවීමක් අත්‍යවශ්‍ය වන බව පෙනී යයි. බටහිර ලෝකයේ උගතුන් විසින් මනෝ කායික රෝග නිවාරණය සඳහා සිත පිළිබඳ ව ගවේෂණය කරමින් ආනාපාන සති වැඩීම වැනි ක්‍රමවේදයන් නිර්දේශ කිරීම සිදු කරන සමයක, බුද්ධ දේශනාවේ සඳහන් ආධ්‍යාත්මික ගුණාංග සමාජගත කිරීමට අප තවමත් ප්‍රමාද වන්නේ මන්ද යන්න විමතියට කරුණකි.

යහපත් සමාජයක් සඳහා බාල පරපුර හැඩගැස්වීම අත්‍යවශ්‍ය මූලික සාධකයකි. ඒ සඳහා යුතුකම් - වගකීම් හඳුනාගෙන ඒවා ප්‍රායෝගික ව ක්‍රියාවට නැංවීම අත්‍යවශ්‍යය. බුදුන් වහන්සේගේ මඟ පෙන්වීම අතුළත් සිඟාලෝවාද සූත්‍රය පමණක් වුව ද ඒ සඳහා ප්‍රමාණවත් ය.

බුද්ධ චරිතයේ සැඟවුණු අරුත් නැවත මතුකරමින් බුදුන් වහන්සේ විසින් ගිහි සමාජය වෙත හෙළන ලද කරුණාබර බැල්ම සහිත පරිත්‍යාගී ගුණය ඉස්මතු කොට, එම ගුණ ජීවිතයට ප්‍රායෝගික කොට කොරෝනාව ජයගැනීම උදෙසා සමාජය දිරිගැන්විය යුතු කාලය එළඹ ඇති බව පෙනේ.