Print this Article


සසර පුරා දුක් දෙමින් පසුපස එන බද්ධ වෛරය නැති කර ගන්නේ මෙහෙම යි

සසර පුරා දුක් දෙමින් පසුපස එන බද්ධ වෛරය නැති කර ගන්නේ මෙහෙම යි

කෝපයක් ඇති වූ කල එය ඉක්මනින් හෝ ටික කලක් ගත වන විට හෝ නිවී යා හැකි ය. එසේ සිත වෙනස් නොවුණොත් එය වෛරයක් බවට හැරේ. වෛරය යනු සිතේ අල්ලා හිටින දෙයකි. බද්ධ වෛරය යනු භවයක් පාසා ගෙන යන වෛරය යි. මේ දෙකම ආරම්භ වන්නේ කෝපයෙනි.

ජීවිතය විනාශ කරන්නට තරම් හේතු වන සිතිවිලි අතර තරහව ප්‍රධානයි. තමන්ට විතරක් නොවෙයි, එය සමාජයීය වශයෙනුත් ඇති කරන්නේ අහිතකර බලපෑමක්. එම ආවේගකාරී හැඟීම් ඇති වූ වහාම පාලනය කර ගත යුතු වන්නේ ඒ නිසයි. තරහ සිතිවිලි පාලනය කර ගැනීමට සම්බුදු දහමෙහි එන ඉගැන්වීම් ඉතා සුවිශේෂී යි. වචනයට සීමා නොකොට ජීවිතයට ප්‍රායෝගික ව ගළපාගත හැකියි.

සිතිවිලි හඳුනාගැනීම

තරහව පාලනය කර ගන්නට නම්, පළමුව තමන්ගේ සිතිවිලි හඳුනාගත යුතුයි. මට මේ ඇවිත් තියෙන්නේ තරහක් ද? ද්වේෂ සිතක් ද? යන්න පළමුව දැන ගන්න. ඉන්පසු එහි ආදීනව, ඵල විපාක ගැන අවබෝධයක් ඇති කරගන්න. (සදෝස චිත්තංති පජානාති)

ඒ අනුව, තරහ නැති කර ගැනීම සඳහා සිතේ කැමැත්තක් ඇති කරන්න ගන්න (ඡන්දං ජනේති)

ඒ සඳහා වෑයම් කරන්න (වායමතී)

වීර්යය ආරම්භ කරන්න (විරියං ආරභතී)

නෑ මං කේන්ති ගන්නෙ නෑ යනුවෙන් සිත තද කර ගන්න (චිත්තං පග්ගන්හාති)

කෝපය හෙවත් තරහව ආකාර දෙකකි. ඒ සාමාන්‍ය කෝපය සහ ක්ෂණික කෝපය යි. කෝපය පදනම් කරගෙන ඇති වන්නේ වෛරය යි. වෛරය ද ආකාර 2කි. සාමාන්‍ය වෛරය සහ බද්ධ වෛරය යනුවෙනි.

කෝපයක් ඇති වූ කල එය ඉක්මනින් හෝ ටික කලක් ගත වන විට හෝ නිවී යා හැකි ය. එසේ සිත වෙනස් නොවුණොත් එය වෛරයක් බවට හැරේ. වෛරය යනු සිතේ අල්ලා හිටින දෙයකි. බද්ධ වෛරය යනු භවයක් පාසා ගෙන යන වෛරය යි. මේ දෙකම ආරම්භ වන්නේ කෝපයෙනි.

තරහ දුරු කර ගන්නා ආකාරය පිළිබඳ ව අංගුත්තර නිකායේ එන ආඝාතපටිවිනය සූත්‍රය තුළ විස්තර කෙරේ. ආඝාතය යනු කෝපය යි. පටිවිනය යනු දුරු කිරීම යි. ඒ අනුව ආඝාතය හෙවත් තරහව පුද්ගලයා ඇති කර ගන්නා ආකාර පිළිබඳ ව පළමුව දක්වයි. එනම් යමෙක් මට අනර්ථයක්, අයහපතක් කළා යැයි කෝපය ඇතිකර ගනී. යමෙක් මට අනර්ථයක් කරනවා යැයි වර්තමානය පිළිබඳ කෝපය ඇතිකර ගනී. එසේම අනාගතයේ දී අනර්ථයක් කරන්නේ යැයි සිතා කෝපය ඇතිකර ගනී. මීට අමතර ව තමන්ගේ මිතුරාට සහෘදයාට අහිතක් කළේ යැයි ද තරහව ඇතිකර ගනී.

මේ අනුව කරුණු 4ක් පදනම් කරගෙන තමන් තුළ ගොඩ නැගුනු ද්වේෂය දුරු කර ගන්නා අන්දම ආකාර පහකින් මෙසේ දක්වයි.

ඒ තරහව ඔබ තුළ ඇති කළේ යම් පුද්ගලයකු නම් ඔහුට, ඇයට මෛත්‍රී කරන්න.

ඔහු, ඇය කෙරෙහි කරුණාව ඇති කර ගන්න.

ඒ පුද්ගලයා පිළිබඳ මැදහත් සිතින් සිතන්න. (නිදසුනක් ලෙස ඔබ පිළිබඳ ව වැරැදි දෙයක් ඔබේ හිතවතකු විසින් ඔබේ ප්‍රධානියාට පවසා ඇතැයි සිතමු. එවිට ඔබ තුළ තදබල කෝපයක් හට ගැනීම සාමාන්‍ය දෙයකි. එහෙත් මේ විදිහෙ යටිකූට්ටු වැඩ කිරීම, කේලාම් කීම මනුෂ්‍ය ස්වභාවයක්. ඒක ඒ මනුෂ්‍යයාගේ දුර්වල කමක්. ඒ නිසා මං ඒ ගැන කලබල වෙන්න ඕන නෑ යනුවෙන් මැදහත් සිතින් සිතීමට පුරුදු පුහුණු විය යුතු ය.)

යම් පුද්ගලයකු ඔබ තුළ තරහක් ඇති කළේ නම්, ඒ පුද්ගලයා සහ එම කාරණය පිළිබඳ මෙනෙහි කිරීමෙන් වැළකී හිඳීන්න. බොහෝ විට අප කරන්නේ ඒ ගැන සිත සිතා හීල්ලීම, හිතවතුන්ට පවසමින් කෝපය තව තවත් වර්ධනය කර ගැනීම ආදිය යි. එහෙත් ඔබට ඒ පුද්ගලයා පිළිබඳ යළි යළිත් මෙනෙහි වන්නේ නම්, සහ ඒ හැම විටම කෝපය අලුත් වන්නේ නම් ඔබ කළ යුත්තේ ඒ පුද්ගලයාට මෛත්‍රී කිරීම යි. කරුණාවක් ඇති කර ගැනීම යි. උපේක්ෂාව ඇති කර ගැනීම යි.

එය ඒ පුද්ගලයාගේ කර්ම ස්වභාවය යැයි සිතා අනුකම්පා කිරීම යි.

මේ ආකාරයට කටයුතු කරන විට ඔබ තුළ තරහ හට ගැනීම, කෙන්තිය හටගැනීම වැළකී යයි.

අං.නි. සත්තක නිපාතයේ කොධන සූත්‍රයේ දක්වන පරිදි කේන්තිය, කෝපය නිසා ඇතිවන ආදීනව හතකි. “සත්තිමෙ භික්ඛවෙ, ධම්මා සපත්තකන්තා සපත්තකරණා කොධනං ආගච්ඡන්ති ඉත්ථිං වා පුරිසං වා. කතමෙ සත්ත.

ඉධ භික්ඛවෙ, සපත්තො සපත්තස්ස එවං ඉච්ඡති. අහො වතායං දුබ්බණ්ණො අස්සාති. තං කිස්ස හේතු. න භික්ඛවෙ, සපත්තො සපත්තස්ස වණ්ණවතාය නන්දති... (අං.නි. සත්තක නිපාත, දුතිය පණ්ණාසක, අබ්‍යාකතවග්ග, කොධන සුත්ත, (බු. ජ. මු.), 418). එනම්,

හොඳීන් පිරිසුදුව සහ හොඳීන් ඇඳ පැළඳ සිටිය ද පුද්ගලයා අප්‍රසන්න බවයි.

සිනිඳු සහ සැප පහසු සෝපාවක සයනය කළ ද පුද්ගලයා වේදනාවෙන් පෙළෙයි.

හොඳ සඳහා නරක සහ නරක සඳහා හොඳ වරද්දා ගනිමින් සැලකිල්ලෙන් සහ සිහිකල්පනාවෙන් කටයුතු නොකර හානිය සහ දුක්විඳීම ඇතිවන දේ කරයි.

මහන්සි වී උපයා ගත් ධනය නැති කර ගනී. නීතිය ඉදිරියේ වරදකරුවකු බවට පත්වීමට ද ඉඩ ඇත.

ක්‍රියාශූර ව ලබා ගත් කීර්තිය සහ යසස අහිමිකර ගැනේ.

නෑදෑයින් සහ පවුලේ උදවිය ඒ පුද්ගලයාමඟ හරිති, ඔහුගෙන් ඈත් වෙති.

අයහපත් ප්‍රතිඵල ගෙන දෙන කය, වචනය සහ සිත මඟින් අකුසල ක්‍රියා කෝප වූ පුද්ගලයා කරන හෙයින් මරණයෙන් මතු දුගතියක ඉපදෙයි.

යථෝක්ත කරුණු හත යම් පුද්ගලයකුගේ, සතුරන්ගේ සතුටට හේතු වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. එබැවින් කෝප වූවකු සමඟ කෝප නොවිය යුතු බව ද වැඩිදුරටත් එම දේශනාවේ දී පැහැදිලි කරයි.

කෝපය, කේන්තිය පාලනය කර ගැනීම පිළිබඳ බුදුදහමේ ඉගැන්වීම් ලබන සතියේ දී තවදුරටත් විමසා බලමු.