Print this Article


යළි පිබිදෙන ඓතිහාසික කඳුළව ඉහළ පෝයමලු රාජමහා විහාරය

යළි පිබිදෙන ඓතිහාසික කඳුළව ඉහළ පෝයමලු රාජමහා විහාරය

ඉබ්බාගමුව කඳුළව ඓතිහාසික ඉහළ පෝයමලු රාජමහා විහාරය අනුරාධපුර යුගයට අයත් නටබුන් සහිත පුදබිමකි. විනාශ වී ගිය ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ, මහ රහතන් වහන්සේ වැඩසිටි බව අනුමාන කෙරෙන කටාරම් කෙටූ ගල්ලෙන් ඇතුළු නටබුන් මෙහි විසිර පවතී.

මහනුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ මෙහෙයවීමෙන් සියම් ජාතික උපාලි මහ තෙරුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් ලක්දිවට වැඩම කොට, නැති වී ගිය උපසම්පදා විනය කර්මය යළි මෙරට පිහිටුවීමෙන් පසු රටෙහි විවිධ ස්ථානවල විනය කර්ම සිදු කිරීම සඳහා සීමා සම්මත කරවන ලදි. සංඝරාජ හිමියන්ගේ ද්විතීය ශිෂ්‍ය වූ දරමිටිපොළ ධම්මරක්ඛිත හිමියන් වැඩ සිටි කඳුළව ඉහළ පෝයමලු විහාරය ද මෙලෙස සීමා සම්මත කළ පෞරාණික පුදබිමකි. කාලයාගේ ඇවෑමෙන් මෙම පුදබිම විනාශයට පත්ව වනගත වූ අතර, පහළ භූමියෙහි සියලු විහාරාංග තනවා මැදිරිය රජමහ විහාරය ලෙස හඳුන්වමින් ආගමික කටයුතු සිදු කර ඇත.

සියම් මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි විනාශයට පත් ඓතිහාසික ඉහළ පෝයමලු විහාරස්ථානය මුළුමනින් ම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පසුගිය දා මූලික කටයුතු සිදු කෙරිණි. මල්වතු මහා විහාරවාසී, ඓතිහාසික දන්තුරේ රාජමහා විහාරය, කඳුළව මැදිරිය රාජමහ විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති, කර්මවාගාචාර්ය, ධර්මාචාර්ය දන්තුරේ විපස්සි නාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් සතර පේරුවේ දායක පිරිසගේ ශ්‍රම දායකත්වයෙන් වනගත ව පිහිටි පෞරාණික විහාර බිම එළි පෙහෙළි කිරීම් කටයුතු ආරම්භ කරන ලදී. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි පෙර රජ දවස පැවති ශ්‍රී විභූතියෙන් මෙම පුදබිම සැදැහැවතුන්ට වන්දනාමාන කිරීමට සුදුසු පුණ්‍ය භූමියක් ලෙස සංවර්ධනය කිරීමට විහාරාධිපති දන්තුරේ විපස්සි නාහිමිපාණන් වහන්සේ අපේක්ෂා කරති.