Print this Article


නිතර තරහ යන නිසා ඔබත් පීඩා විඳීනවා ද?

නිතර තරහ යන නිසා ඔබත් පීඩා විඳීනවා ද?

" අපට තරහක් ඇති වන්නේ තව කෙනෙක් නිසා ය. මෙයට මුල් වන්නේ වෙනත් අයකු වුවත්, තරහ ඇති වන්නේ අපේ සිතේ ය. එනිසා අනිකකු ඇති කරන දෙයක් හේතුවෙන් අපේ සිතට මහත් අලාභයක් සිදු වෙයි. එසේ නම් අපට වන ඒ අලාභය, පාඩුව නැති කර ගන්නේ කෙසේ ද?"

කේන්තිය කියන්නේ තරහ ස්වභාවයටයි. එය ගැහැනු, පිරිමි බේදයකින් තොරව සෑම කෙනකුට ම අවස්ථානුකූල ව ඇතිවන මානසික තත්වයකි.

එහෙත් යම් කෙනකුට සාමාන්‍ය මට්ටමෙන් ඔබ්බට ගොස් කේන්තිය මතු වන්නේ නම්, එය රෝගී තත්වයක් ලෙස සැලකිය යුතු ය. ඒ අනුව කේන්තිය ඇති වීම සඳහා අදාළ පුද්ගලයාට බලපාන මූලික ම හේතුන් සොයා ගැනීමට කටයුතු කිරීම මෙන් ම, කේන්තිය පාලනය කර ගැනීමට කටයුතු කිරීම වැදගත් ය. නිතර කේන්ති යන්නේ නම් “හරහට පොල්ලක් බැඳගෙන ළිඳට පනින ලෙස” අතීතයේ දී වැඩිහිටියන් කියනු අප අසා තිබේ. නැතහොත් “කොහිල දඬු කටු පිටින් කන්නට දිය යුතු බව“ද කතාවට කියනු අසා තිබේ. එහෙත් අද වන තුරු කේන්තිය නිසා කොහිල කටු පිටින් කෑ අයකුවත්, හරහට පොල්ලක් බැඳගෙන ළිඳේ පැන්න අයකුවත් දැක හමුවී නැතත් කේන්තිය නිසා දිවි නසා ගත් අය ගැනත්, අනෙකකු ගේ දිවි නැසූ අය ගැනත්, හදිසි ආඝාතයන්ට, අංශභාග තත්වයන්ට, වෙනත් අනතුරුවලට පත්වූ අය ගැනත් බොහෝ කතා අසා තිබේ.

බෞද්ධ දර්ශනය තුළ බෙහෙවින් කතාබහට ලක්වන වැදගත් චිත්තවේගයක් ලෙස තරහව හැඳීන්විය හැකි ය. එය සෘණාත්මක චිත්තවේගයකි. තරහව, එහි විවිධ මට්ටම් අනුව දෝස, ව්‍යාපාද, පටිඝ, කෝධ, ආදී වචන සමූහයකින් හඳුන්වනු ලබයි. එමෙන් ම, තරහව ඊර්ෂ්‍යාව, මසුරුකම, හීනමානය, ආදී තත්වයන් සමඟ ද සම්බන්ධ වන බව පෙනේ. මෙහි දෝස යන්න ප්‍රධාන අකුසල මූලය වන අතර, ව්‍යාපාද හා පටිඝ යන්න එහි උච්චතම අවස්ථාවන් ලෙස දැක්විය හැකි ය. එය පරුෂ වචනයේ සිට විනාශකාරී චර්යාවන් සඳහා ප්‍රේරණය කිරීමට හේතුවක් වෙයි.

පංච නීවරණ අතර ව්‍යාපාදය නීවරණ ධර්මයක් ලෙස දැක්වෙන අතර, විසුද්ධිමග්ගයේ විස්තර වන චරිත විග්‍රහයෙහි චරිත හය අතුරින් දෝස චරිතය එකක් වෙයි. ධම්මපදයේ කෝධ වග්ගය තරහව, එහි ස්වභාවය හා පාලනය කර ගැනීම පිළිබඳ ව පෙන්වාදීම සඳහාම වූ වග්ගයකි. ත්‍රිපිටකයෙහි ඇතුළත් මෙවැනි කොතෙකුත් දේශනාවන් කේන්තිය පාලනය කර ගැනීම සඳහා උපයෝගී කරගත හැකි ය.

ආචාර්ය කිරින්දේ ධම්මානන්ද නාහිමිපාණෝ සිය දුක් බිය නැති ජීවිතය නැමැති ග්‍රන්ථයේ, කෝපය යනු අප ගේ ඇස් මද වේලාවකට නිලංකාර කරමින් එල්ලවන සැර ආලෝක ධාරාවක් බවත්, එයින් අපේ ඇස් නිලංකාර වුණු විට අපට තාවකාලික ව නිසි ලෙස නොපෙනී යන බවත්, කෝපය පැමිණි විට අප අන්ධ වී අසාධාරණ ලෙස ක්‍රියා කිරීමට පටන් ගන්නා බවත් සහ පාලනය කොට ගත නොහැකි කෝපය නිසා ඉමහත් කායික හා මානසික පීඩා ඇති වන බවත් අවධාරණය කරති.

පෘථග්ජන අප කාටත් ඕනෑම මොහොතක, කුමන කරුණක් නිසා හෝ තරහ ඇති වීම සාමාන්‍ය තත්ත්වයකි. ජීවිතයේ කවර දිනෙකවත් තරහා නොගිය කෙනෙක් සොයා ගත නොහැකි ය. අපට තරහක් ඇති වන්නේ තව කෙනෙක් නිසා ය. මෙයට මුල් වන්නේ වෙනත් අයකු වුවත්, තරහ ඇති වන්නේ අපේ සිතේ ය. එනිසා අනිකකු ඇති කරන දෙයක් හේතුවෙන් අපේ සිතට මහත් අලාභයක් සිදු වෙයි. එසේ නම් අපට වන ඒ අලාභය, පාඩුව නැති කර ගන්නේ කෙසේ ද?

දැන්, මේ මොහොතේ කිසිවකු ඔබව කෝපයට පත් කරවන දෙයක් කීවේ හෝ කළේ යැයි සිතන්න. ඒ අනුව දැන් ඔබේ සිතේ තරහක් ඉපදී ඇත. ඔබට තරහක් ඇති වූ විට ඔබේ සිතට එය ඔබෙන් සඟවා ගැනීමට හැකියාවක් නැත. එසේ නම් මගෙ හිතේ දැන් තරහක් ඇති වී තිබේ යනුවෙන් ඔබ ඒ තරහ හඳුනා ගත යුතු ය. තරහ දුරු කර ගන්නට නම් මුලින් ම තරහක් සිතේ ඇති වී තිබෙන බව දැන ගත යුතු වෙයි.

මීළඟට ඔබ මෙසේ කල්පනා කළ යුතුයි. මේ කෝප සහගත සිතිවිල්ල නිසා ඔබට සිදුවන හානි බොහෝ ය. ඔබේ සිරුර වෙව්ලයි. ලේ ගමනා ගමනය වේගවත් වෙයි. මුහුණ අඳුරු වෙයි. මුහුණේ මස් පිඬු ඇද වී ගොස් ඔබේ මුහුණේ විකෘති පෙනුමක් ඇති වේ. ඒ අනුව මුහුණ මුළුමනින් ම අවලස්සන වෙයි. මූණට අබ අහුරක් දැම්මත් පුපුරනවා යැයි තරහ ගිය අය ගැන සමහරු කියන අන්දම ඔබත් බොහෝ විට අසා ඇතිවාට සැක නැත. එයට හේතුව තරහ ගිය විට සිරුරේ රුධිරය උණුසුම් වීමය. මෙවැනි දේවලින් ඔබට සිදුවන අවැඩ මෙනෙහි කරන්න. පාඩුව මෙනෙහි කරන්න. නිතර තරහ යන කෙනෙකු ගේ ලේ ධාතුව අපිරිසුදු වෙයි. එනිසා අධි රුධිර පීඩනය, ගැස්ට්‍රයිටිස් ආදී වූ ලෙඩ රෝග රාශියක් හට ගත හැකි ය. රුධිරයේ සීනි මට්ටම වැඩි වීමටත් නිතර හට ගන්නා තරහ බලපායි. එසේම තරහ සිතිවිලි ක්‍රියාත්මක වීම තුළ ඔබට ලැබෙන්නට නියමිත ලාබ පවා අහිමි වී යන්නට පුළුවන. ඔබට පමණක් නොව ඔබ නිසා ඔබේ සමීපතමයන්ට පවා පාඩු සිදුවීමට ඉඩ ඇත. එසේම ඔබේ තරහව නිසා බිරිඳ, දරුවන් රෝගී වීමට වුව හැකියාව තිබේ. තරහ උපරිමයට ගිය විට සිය දිවි නසා ගැනීමට, ඔබ කෝපයට පත් කළ පුද්ගලයා මරා දැමීමට, ඒ පුද්ගලයා මරා ඔබත් සිය දිවි නසා ගැනීමට වුව සිතක් ඇති වන්නට බැරි කමක් නැත. ඔබ තුළ තරහවක් ඇති කළේ යම් දෙයක් අහිමි වීම නිසා නම් ඒ අහිමි වූ දෙය තව කෙනකුට හිමි වීම වැළැක්වීම සඳහා එය විනාශ කර දැමීමට වුව පෙළඹෙන්නට බැරි කමක් නැත.

අනෙක් අතට තරහ පදනම් කර ගෙන එයට ප්‍රතිචාර දක්වන්නට යාම තුළ ප්‍රතිවාදියා ගෙන් එල්ල වන ප්‍රහාරයක් නිසා සදාකාලික ආබාධිත වීමට, මිය යාමට, දේපොළ අහිමි වීමට, සිර දඬුවම් විඳීමට පවා සිදු විය හැකි බව අමතක නොකළ යුතු ය. එනිසා සිතේ තරහක් හෙවත් ද්වේෂයක් හට ගත් කල එය නැති කර ගන්නේ කෙසේද යන්න ඕනෑම කෙනකුට ඉතා වැදගත් වනු ඇත.

කේන්තිය පාලනය කර ගැනීමට බුදු දහමේ එන ඉගැන්වීම් පිළිබඳ ඊළඟ ලිපියේ දී සාකච්චා කරමු.