Print this Article


සුමන සමන් දෙවි පූජෝපහාර පුදන මහියංගණ රාජ මහා පෙරහරට පමණක් ආවේණික ආදිවාසී පුද සිරිත්

සුමන සමන් දෙවි පූජෝපහාර පුදන මහියංගණ රාජ මහා පෙරහරට පමණක් ආවේණික ආදිවාසී පුද සිරිත්

මහියංගණ රාජ මහා විහාරස්ථානය හා ශ්‍රි සුමන සමන් දේවාලය එක්ව වාර්ෂික ව සිදු කරන ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භය හා විකාශය ක්‍රිස්තු පුර්ව හය වන සියවස දක්වා ඈත අතීතයට ගමන් කරයි. එහෙයින් හෙළයේ ඓතිහාසික ම පෙරහර මංගල්‍යයක් ලෙස හැඳීන්විය හැකි ය.


අවසන් රන්දෝලි පෙරහරේ දී

මහියංගණ ඇසළ පෙරහර මංගල්ලයේ ආදිවාසී සහභාගීත්වය සුවිශේෂී ය. සුමන සමන් දෙවිඳුන් ගේ වැඩිමහල් සහෝදරියක් වන මහා ලොකු මැණියෝ බින්තැන්නේ වැසියන් ගේ මහත් පුදසත්කාරයට හා ගෞරවාදරයට ද පත් තැනැත්තියකි. ඇය ද මහියංගණය සුමන සමන් දේවාලයේ දී පිදුම් ලබන්නී ය.

විශේෂයෙන් ම ආදිවාසී ජනතාව ගේ ප්‍රමුඛ පිළිගැනීමක් හිමි වන්නේ එතුමිය වෙනුවෙන් ය. එතුමිය වෙනුවෙන් දේවාල සතරක් ඇති අතර, එයින් සළුකන්ද දේවාලය තුළ එතුමිය ගේ ආභරණ ඇති බවට විශ්වාස කෙරේ. එතුමිය විසින් චෛත්‍ය රාජයාණන් වහන්සේ උදෙසා පෙරහර මංගල්‍යයන් සිදු කළ බව ජනවහරේ පවතී.

මහියංගණ පෙරහරේ විශේෂත්වය නම් ආදිවාසීන් දක්වන දායකත්වය යි.

බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළ අවස්ථාවේ යක්ෂ ගෝත්‍රිකයන් අවි ආයුධ දරමින් යුද්ධයකට සූදානම් වෙමින් සිටි අවස්ථාව සිහි ගන්වමින් මහියංගණයේ ජීවත් වන වැදි ජනතාව දිග රිටි, දුණු, ඊතළ හා ආදිවාසී ආයුධ රැගෙන පෙරහරේ ගමන් කිරීම සිදු කරති. විශේෂ නැටුම් ගැයුම් සම්ප්‍රදායක් නොමැති වුවත් ඔවුහු ඝෝෂා කරමින් රිටි එකිනෙකට ගසමින් ගැටුමක ස්වභාවයෙන් චෛත්‍යය වටා දිව යමින් අවසානයේ සටනට සුදානම් වෙති.

බුදුරජාණන් වහන්සේට දමනය වූ යක්ෂ ගෝත්‍රිකයන් සංකේතවත් කරමින් පෙරහරේ දී පසුබැස පලායන ස්වභාවය සංකේතවත් කොට නැවත මහවැලි ගඟට ගොස් ජල ස්නානය කොට ආදිවාසීන් ආපසු පැමිණෙන්නේ චෛත්‍යය මලුවට පැමිණ බුදුන් වහන්සේ ගෙන් සමාව ගැනීම පෙන්වන චාරිත්‍රය ඉටු කිරීම උදෙසා ය. අනතුරුව දානය සකස් කොට පෙරහරින් පැමිණ බුද්ධ පූජාව පූජා කිරිම සිදු කරයි. එය අලුයම් කාලයේ දී සිදු කරන පෙරහරක් වන අතර, සම්බුද්ධ පුජාවන් සිදු කරන අවස්ථාව වනවිට හිමිදිරි පාන්දර වන්නේ ය.


ආදි වාසී නායක තම වැසියන් සමඟ පෙරහරේ ගමන් කරමින්

ඉක්බිති ආදිවාසීන් දහවල් කාලයේ දොඩම් පෙරහරක් සිදු කරයි. දොඩම් ගෙඩි තලා මිරිකා යුෂ සිරුර පුරා තවරා ගෙන දොඩම් ගෙඩි උඩ දමමින් පැඟිරි යුෂ නරඹන්නන් ගේ හිස ගල්වමින් පෙරහර ඉදිරියට ගමන් කරයි. එයින් ඔවුන් ගේ බලාපොරොත්තුව වන්නේ වසංගත රෝග බියෙන් තොරව ගෝත්‍රයේ පැවැත්ම ඉදිරියට පවත්වාගෙන යාමට ආශිර්වද ලැබීම යි. ආදිවාසීන් පවසන අන්දමට ඔවුන් ගේ පෙරහරේ ආරම්භය පිළිබඳ ඔවුන්ට අවබෝධයක් නොමැත. පරම්පරාවෙන් පරාම්පරාවට ඔවුන් ගේ වරිග ජනයා විසින් සිදු කරනු ලැබූ ක්‍රියාව තමනුත් සිදු කරන බව ය.

මහියංගණයේ මහා සමන් දේවාලයක් රාජ්‍ය අනුග්‍රහය මත සකස් වුයේ ක්‍රි.ව 1635 දි දෙවන රාජසිංහ රජු ගේ රාජ සමයේ ය. ඉක්බිති ගම්වර පවරා දී වාර්ෂික පෙරහරක් සිදු කරන්නට නියෝග කර ඇත. ඒ අනුව පරවේනි පංගු ඉඩම් තුළ සිටිමින් පරම්පරාවෙන් පරාම්පරාවට පෙරහර රාජකාරි ලෙස ද සකස් විය.

රටේ හා ප්‍රදේශයේ පවතින ව්‍යසන, යුද ගැටුම් හා දේශපාලන තත්වයන් මත පෙරහර නොපැවැත් වූ අවස්ථා ඉතිහාසය පුරාවට ද ඇත. 1818 වෙල්ලස්ස විමුක්ති සටනින් පසුව පෙරහර පැවැත්වීම නතර විය. නැවත 1857 වර්ෂයේ දී මහියංගණය සමන් දේවාලය භාරව සිටි බිබිලේ නිළමේතුමා ගේ මුලිකත්වය ඇතිව පෙරහර ආරම්භ වූ බවට දේවාලයේ ඇති ලිඛිත සාක්ෂිවලින් සනාථ වෙයි.

ඉංග්‍රීසි ජාතික කැම්බල් ලෝරි මහතා ක්‍රි.ව 1873-1892 කාලයේ මහනුවර දිසා විනිසුරු ලෙස කටයුතු කරමින් නිකුත් කළ ලියවිලිවල මෙම දේවාලය බින්තැන්න දේවාලය ලෙස නම් කොට ඇත. බින්තැන්න දේවාලයේ රාජකාරිකරුවන් බස්නායක නිළමේට ආහාර සැපයීම, ගමන් මලු ගෙන යෑම, අලි බලන්නන්ට කෑම සැපයීම, වසරකට පිදුරු සෙවිලි කිරිම ආදියට යොදවා ඇත. බෙරකාර පිරිස, චාමර රැගෙන යන පිරිස, මුරායුධ රැගෙන යන පිරිස, දොඩම් දෙන පිරිස ආදි ලෙස රාජකාරිකරුවන් වාර්තාගත කර ඇත. මොවුන් ගේ රාජකාරි සඳහා කුඹුරු ලබා දී තිබුණේ ය. ලෝරි විනිසුරුතුමා විසින් නිකුත් කළ ගැසට් පත්‍රයකින් මහියංගණය ඇසළ පෙරහර මංගල්‍යයට රාජ්‍ය අනුග්‍රහය ලබා දී ඇත්තේ ය.

1857 පසුව සමන් දේවාලය පෙරහර මංගල්‍යයේ ඇතුල් පෙරහර හා කුඹල් පෙරහර දින පහක් කරන අතර, රාජ මහා විහාරය හා සුමන සමන් දේවාලය එක්ව අවසන් රන්දොලි පෙරහර පහ සිදුකරයි. අවසන් රන්දෝලි පෙරහර ගෙවදීමෙන් පසු මහියංගණ රාජ මහා පෙරහරට පමණක් ආවේණික ආදිවාසීන් ගේ පෙරහර අලුයම් කාලයේ දී සිදුවන්නේ පුරාණ චාරිත්‍ර විධි එලෙස ම සුරක්ෂා කරමින් ය. පසු දින දහවල් කාලයේ දී දොඩම් පෙරහර කරමින් පෙරහර කටයුතු නිමා කරන්නේ ය.

1989 වර්ෂයේ දී රට තුළ පැවති අර්බුද හමුවේ පෙරහර චාරිත්‍ර පමණක් සිදු කොට ඇත.

කොරෝනා වසංගතය නිසා 2020 වර්ෂයේ පෙරහර චාරිත්‍රවලට පමණක් සීමා විය. මෙම වර්ෂයේ ද ජන සහභාගීත්වයකින් තොරව පෙරහර චාරිත්‍ර සිදු කරනු ලබයි.

පසුගිය දශක දෙක තුළ මහියංගණය රාජ මහා විහාරස්ථානය විහාරාලංකාරය අතින් රමණීය පුණ්‍ය භූමියක් කරන්නට මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික උරුලෑවත්තේ ශ්‍රි ධම්මරක්ඛිත නාහිමිපාණන් වහන්සේ ගේ කැප කිරිම පැසසුම් කටයුතු ය.


ආදි වාසී දොඩම් පෙරහර