Print this Article


පින් දහම් කරන්න දුප්පත්කම බාධාවක් කර ගන්න එපා

පින් දහම් කරන්න දුප්පත්කම බාධාවක් කර ගන්න එපා

අද අප මුහුණ දෙන ආර්ථික රටාවත් එක්ක බොහෝ විට මුල්තැන ලැබෙන්නේ මුදලට. අධ්‍යාපනය වේවා, නිවසක් තැනීමේ දී වේවා, උදව්වක් උපකාරයක් ලබා ගැනීමේ දී වේවා සෑම දෙයකට ම මුදල් ඕනෑ. මේ විදිහට සෑම දෙයකට ම මුදල් අවශ්‍ය නිසා පිනක් දහමක් කරන්නත් මුදල් ඕනෑ කියා බොහෝ දෙනෙක් සිතනවා.

ඇත්තට ම පින් දහම් කරන්න මුදල් ඕනෑ ම ද? ඒ ගැන සිතන්නට පළමුව පින් ක්‍රියා කියන්නේ මොනවාද කියලා දැන ගන්න ඕනෑ. දන්දීම, අනුන්නට උදව් උපකාර කිරීම, සිල් රැකීම, පංච සීලය ආරක්ෂා කිරීම, තෙරුවන් සරණ යෑම පින් රැස්වන ක්‍රියාවන්. එලෙස ම යම් යම් සමාජ සේවා කටයුතුවල දී ත්, මං මාවත් ඉදිකිරීම, ළිං පොකුණු, වැසිකිළි ආදිය තැනීම, ගිලනුන්ට උපස්ථාන කිරීම, මව්පියන් පෝෂණය කිරීම, අසරණයටන්ට උදව් කිරීම ආදියෙන් අප පිනෙන් පොහොසත් වනවා. මෙහිදී වඩාත් වැදගත් වන්නේ පින්කම් කිරීමේ දී කර්මය හා කර්මඵලය පිළිබඳ විශ්වාසය ඇති ව අවබෝධයෙන් කිරීම යි.

ජීවිතයේ සැප බලාපොරොත්තු වනවා නම් පින් කරන්නට ම ඕනෑ. විමාන වත්ථු කතා ඒ සඳහා අපට උදාහරණ සපයමින් පින් කරගෙන තිබෙන්නේ කවුද? ඒ කෙසේද කියා පැහැදිලි කර තිබෙනවා. එසේ සම්පූර්ණයෙන් ම පින, පිනක් ව‍ශයෙන් කරගෙන තිබෙන්නේ පිරිසුදු චේතනා තිබූ අයයි. ‍මුදල් තිබූ පමණින් , පින් කළ පමණින් ඒ පින මහත්ඵල මානිශංස ලෙස රැස්වන්නේ නැහැ. ප්‍රාණඝාතයෙන් වැළකීම, ‍සොරකමින් වැළකීම, වැරැදිකාම සේවනයෙන් වැළකීම, බොරුකීමෙන් වැළකීම , කේළාම් කීමෙන් වැළකීම, හිස් වචනයෙන් වැළකීම, පරුෂ වචනයෙන් වැළකීම මේ ආදී සියල්ල පින් ය. මේ පින් සපුරා ගන්නට මුදල් අවශ්‍ය වන්නේ නැහැ.

ඒ වගේ ම අන්සතු දෙයට ආශා නො කිරීමත් පිනක්. එය ඉතා දියුණු මානසික මට්ටමක්. අනුන්නට ද්වේශ නොකිරීම, මිථ්‍යා දෘෂ්ටියෙන් මිදීම සහ සම්මා දිට්ඨියෙන් යුතුවීමත් ඉතා පිනක්. මුදල් තිබෙන අය පමණක් පින් කරනවා නම් ඒ පින ධනවාදී එකක් විය යුතු යි. නමුත් පින කියන්නේ ධනවත් අයට පමණක් අයත් එකක් නොවේ. පෝ දිනට උපෝසථ සීලය ආරක්ෂා කරන්නට, අනුස්සති භාවනාවක් වඩන්නට මුදල් අවශ්‍ය වන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ වදාළ ලෙස මෛත්‍රී භාවනාව තුළින් බොහෝ පින් රැස් වනවා. ඒ සඳහා මුදල් ඇවැසි නොවුණත් අත්‍යවශ්‍ය කරුණු කිහිපයක් තිබෙනවා. ඒ, උත්සාහය, වීර්යය සහ උනන්දුව යි.

පින පිළිබඳ කතා කරන විට දාන, සීල, භාවනා ප්‍රධානයි. මෙහිදී සීලය රැකීමටත් , භාවනා කිරීමටත් මුදල් අවශ්‍ය වන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය වන්නේ තමා ගේ කැමැත්ත පමණ යි. මුදල සම්බන්ධ වන්නේ දානය සඳහා පමණ යි. එහිදීත් බොහෝවිට ආමිස දානය සඳහා පමණ යි මුදල් අවශ්‍ය වන්නේ. ප්‍රතිපත්ති වශයෙන් තෙරුවන් පුදා පින් රැස් කර ගැනීමට අපට මුදලක් වියදම් වන්නේ නැහැ.

දිනක් භාග්‍යවතුන් වහන්සේ වදාළා යම් කෙනෙක් හෝ පිරිසක් උදේ, දවල්, රාත්‍රි බත් හැළි සියය බැගින් සකසා දෙන දානයට වඩා, ගව දෙනක ගේ තන බුරුල්ලෙන් කිරි දොවන තරම් කාලයක් මෛත්‍රී භාවනාව කරනවා නම් එයින් මහත් වූ පිනක් රැස්වෙන බව. මෙත් සිත මහත් වූ පින් රැස්කර දෙනවා.

ඒ වගේ ම තථාගතයන් වහන්සේ වදාළා යමෙක් ප්‍රාණඝාතයෙන් වෙන් වී සිටින්නේ ද ඔහු ලොවට අභය දානය දෙන බව. අභය දානය කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළැකී සිටීමයි. එලෙස ම සොරකමින් වෙන් වී සිටින කෙනා ලෝකය බයෙන් මුදවනවා. එසේ ම වැරැදිකාම සේවන‍යෙන් වැළකුණු සමාජය සදාචාරය දන් දෙනවා. බොරු නො කියක පුද්ගලයා සත්‍යය දන් දෙනවා. මත්වතුර පානය නොකරන කෙනා දන් දෙන්නේ සිහි නුවණ යි. එසේ සිල්පද පහ රකින පුද්ගලයා වෙත නිරන්තරයෙන් ම පුණ්‍ය ගංගාවන් ගලා එනවා. ඒ ගංගාවන් සිඳෙන්නේ නැහැ. නිරතුරුව ම ගලා ගෙන යනවා. එලෙස යම් කාන්තාවක්, යම් පුරුෂයෙක් තෙරුවන් වෙනුවෙන් ජීවිතය පුදා, සිල්පද රැක ගන්නවා නම්, ඒ ජීවිතය පිනෙන් පිරී ඉතිරී යනවා.

භාග්‍යවතුන් වහන්සේ වදාළා දානය කෙනකු ගේ අතමිට සරු කල්හි මෙන් ම, සරු ‍ නො මැති කල්හි ද දිය යුතු බව. නැති බැරි වූ පමණින් දන් නො දී සිටින්නට එපා. වැදගත් වන්නේ සුළු දෙයක් හෝ කර්මය, කර්මඵලය විශ්වාසයෙන් යුතුව දීම යි. විමාන වත්ථු කතාවල සඳහන් වෙනවා සමහර ස්ත්‍රීන්ට දිව්‍යාංගනාවන් ලෙස දිව්‍ය විමාන පහළ වෙලා තිබෙනවා සුළු ඇඹුල් කැඳක්, රහතන් වහන්සේ නමකට පූජා කිරීමෙන්, කුඩා අඹ ගෙඩියක් පූජා කිරීමෙන්, එක් කැවුමක් පූජා කිරීමෙන්, පැන් ස්වල්පයක් පූජා කිරීමෙන් මනුස්ස ලෝකය අත හරිනවාත් සමඟ ම මහා සැප ඇති දිව්‍ය ලෝකයන් හි උපත ලබන්නට හැකි වුණා. ඒ තමාට තිබෙන සුළු දේ හෝ සිත පහදවා දීමෙනුයි.

එලෙස ම කාන්තාවකට නම් තම නි‍වසේ දී කිසිදු වියදමකින් තොරව ම පින් කරගත හැකියි. තමන් ගේ ස්වාමියාට මෘදු වචනයෙන් කතා කිරීමෙන්, උදේම අවදි වී නිවසේ වැඩ කටයුතු මෙත් සිතින් කිරීමෙන්, ස්වාමියාට දුෂ්කර කාලයක් ආ විට හෝ ව්‍යාපාරය කඩා වැටුණ විටෙක දී බැණ වැදීම්, අඬවැඩියාවන් නො කොට ඒ කටයුතු තේරුම් ගෙන තමන් ගේ ස්වාමියාට ශක්තියක් විය හැකි නම් ඒ කාන්තාව ස්වාමියාට සැලකුවා වෙනවා. මවක්, ‍සොහොයුරියක්, නැඟණියක් ලෙස ස්වාමියාට සලකන, ස්වාමියාට නිති ගෞරව කරන කාන්තාව යන්නේ නිම්මානරතී දෙව්‍‍‍ලොව යි.

ඒ වගේ ම අම්මා තරම් කෙනෙක් මේ ලෝකයේ දරුවකුට තවත් නැහැ. ඒ නිසා අම්මාට පුළුවන් සවස් කාලයේ දරුවන් එකතු කරගෙන බුද්ධ වන්දනාව කරන්න. පිරිත් කියන්න. තමන්ට, තමන් ගේ නිවසේ අයට, ලෝ වැසියන්ට රට වැසියන්ට සෙත් පතන්න. විවේක අවස්ථාවක දී දරුවන්ට බෝසත් කතාවක්, ජාතක කතාවක්, අපේ රටේ ඉතිහාසය ගැන කියලා දෙන්න. එසේ දරුවන්ට යහමඟ කියා දෙනවා නම්, දරුවන් තිසරණයේ සමාදන් කරනවා නම්, ඇය රැස් කර ගන්නේ අප්‍රමාණ පිනක්. ඒ සඳහා විශාල ගෙවල් දොරවල් අවශ්‍ය නැහැ. වටිනා ඇඳුම් පැළඳුම් අවශ්‍ය නැහැ. තමා සිටින නිවෙස පිරිසුදුවත්, පිළිවෙලටත් තබා ගෙන බිරිඳක ගේ , අම්මා ගේ කාර්යය නිසි ලෙස තේරුම් ගෙන ක්‍රියා කරනවා නම් ඇයට මහත් වූ පිනක් රැස් කර ගත හැකි වෙනවා.

ඒ නිසා තමා දක්ෂ නම්, යෝනිසෝමනසිකාරයෙන් යුක්ත නම්, මුදල් තිබුණත් නැතත්, පිරිවර සිටියත් නැතත්, දුක් කරදර පීඩා තිබුණත් නැතත්, රෝගි වුවත් නැතත්, තමා ගේ ජීවිතයට අප්‍රමාණ පින් රැස් කර ගෙන දුක් විඳීන මේ සසරින් එතෙර වීමට වාසනාව ලැබෙනවා.