Print this Article


සුවඳවත් ජීවිතය දුර්ගන්ධවත් කර ගන්නේ කුමට ද?

සුවඳවත් ජීවිතය දුර්ගන්ධවත් කර ගන්නේ කුමට ද?

අසංවර තාරුණ්‍ය හරියට කිඩාරම් මලක් වගේ. ඉන්න හිටින තැනත් දුර්ගන්ධවත් කරනවා. තාරුණ්‍යයේ බැල්ම පවා රාගික නොවිය යුතුයි. තරහවෙන්, වෛරයෙන් පිරී නොතිබිය යුතු යි.

ජීවිතයේ ලස්සන ම කාලය කුමක්ද කියලා ඇසුවොත්, බොහෝ දෙනකු ගේ පිළිතුර වන්නේ ඒ, තරුණ කාලය බවයි. එය බොහෝ විට නිවැරැදි පිළිතුරක්. එහෙත් තරුණ ජීවිතයක් අවාට ගියාට ලස්සන වන්නේ නෑ .ඒ සඳහා සපුරා ගත යුතු ගුණාංග තිබෙනවා. හොඳ දේ, නරක දේ තෝරා බේරා ගන්නට හැකි වීම එහිදී ප්‍රධාන යි.

විවිධ සංස්කෘතීන් හා සිරිත් විරිත් මිශ්‍ර වීම නිසා ත් , සිතේ පහළවන කෝපය, ඊර්ෂ්‍යාව, ලෝභය, ආශාව ආදී ආවේග පාලනයකින් තොර විම නිසාත් තරුණ වයස බොහෝ විට වැරැදි මඟ යනවා.

බුදු දහමේ මේ ආවේග හඳුන්වා දී තිබෙන්නේ කෙලෙස් හැටියට යි . මේ සියල්ල ම මොහොතෙක්, මොහොතක් පාසා වෙනස් වන ලෝකයේ මම, මගේ කියා වෙනස්වීම අමතක කර කටයුතු කිරීම මෝහය යි. මෙන්න මේ මෝහය සියලු ආවේගවලට මූලික ම හේතුවයි. මේ සියලු කෙලෙස්වල වර්ධනය අපේ ජීවිතයේ දුක් පිණිස හේතු වනවා. ඒවගේ ම මේ කෙලෙස් පාලනය කරනවා නම්, නැති කරනවා නම් එය සැප පිණිස හේතු වනවා.

සිතේ ඇතිවන කෙලෙස් හඳුනාගෙන යම් පාලනයකට යටත් කළ හැකි නම්, ඒ කෙලෙස් ආවේග බවට පත් වන්නේ නෑ. . . සිරකරුවන් ගැන සිතමු. ඔවුන් ගෙන් බොහෝ පිරිසක් විවිධ ආවේගකාරී ක්‍රියාවන්ට යොමු වූ අයයි. ඔවුන් ආවේගකාරී ක්‍රියාවන්ට යොමු වන්නේ එහි ඇති ආදීනව දැන හෝ නොදැන ද විය හැකියි. රාග, ද්වේෂ ආදී මනුෂ්‍යයා ගේ සිතේ පහළවන සිතිවිලිවල හට ගැනීමට හේතුව මෙන් ම, ඒවායේ ඇති අනිත්‍ය ස්වභාවය ද, ඒ සිතිවිලිවලට ගොඩනැඟීමට ඉඩදීමෙන් ඇතිවන හානිකර ස්වභාවය ද මැනවින් තේරුම් ගැනීමෙන් මේ කෙලෙස් සිතිවිලිවල ක්‍රියාකාරිත්වය අඩු කිරීමක් හා නිවීමක් ඇතිකර ගත හැකියි.

දැන් දැන් බොහෝ දෙනෙක් කතා කරන තරුණ අසහනයට ද මේ ආවේගකාරී සිතිවිලි හේතු වනවා. කිසියම් යන්ත්‍රයක් වැරැදි ආකාරයට ක්‍රියාත්මක කළේ නම්, එය ක්‍රියා විරහිත වන්නට පුළුවන්. එසේත් නැති නම් සම්පූර්ණයෙන් විනාශ වන්නට පුළුවන්. අප ගේ සිතේ හට ගන්නා වූ සිතිවිලි වැරැදි ආකාරයට හැසිරවීමෙන් සිදුවන්නේ ද මේ දෙය ම යි. ඒ කියන්නේ වැරැදි සිතිවිලිවලින් අප ගේ මනස දුර්වල වීමයි. අසහනයට, මානසික රෝග හා මානසික විකෘති ස්වභාවයන්ට ලක්වීම යි. එසේත් නැති නම් ජීවිතය සම්පූර්ණයෙන් ම කඩා වැටීමයි.

නිරෝගී බව මහා ලාභයක් බවයි ධර්මයෙහි සඳහන් වන්නේ. ලෙඩ දුක් ඇති විට ජීවිතය මොන තරම් දුෂ්කර ද යන්න වටහා ගන්නට අප ගේ අත්දැකිම් වුව ද ප්‍රමාණවත්. රෝගි බව කියන්නේ අප ගේ සිරුර ලෙඩ විම පමණක් නොවේ. සිත ද නිරෝගී වන්නට ඕනෑ. සිත ලෙඩ වුණොත් කිසිදු කාර්යයක් නිවැරැදි ව කර ගන්නට නොහැකි යි. කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලන්නේ මොන තරම් කලාතුරකින් ද? එය සිතා ගන්නට පවා අපහසු යි. මිනිස් ජීවිතයක් ලැබීමත් ඒ වගේ. ඉතාමත් අපහසු යි. එසේ අපහසුවෙන් ලද මේ මනුෂ්‍ය ජීවිතයෙන් ඵලයක් ලබන්නට නම්, මනසේ නීරෝගී බව ඕනෑම යි. තරුණ වියේ කායික ව මෙන් ම, මනස ද දුක් දොම්නස්වලින් හැකිතාක් ඈත් කොට නිවැරැදි මානසික සන්තෘෂ්ඨියක් ලැබිය යුතු වනවා.

කායික ශක්තිය පවතින තරුණ වයසේ දී ඉන්ද්‍රිය අසංව රනම්, තමන්ට විතරක් නොවෙයි, සමාජයේ අන් අයටත් මහත් විපතක් ගෙන දෙනවා. අසංවර තාරුණ්‍ය හරියට කිඩාරම් මලක් වගේ. ඉන්න හිටින තැනත් දුර්ගන්ධවත් කරනවා.

තාරුණ්‍යයේ බැල්ම පවා රාගික නොවිය යුතුයි. තරහවෙන්, වෛරයෙන් පිරී නොතිබිය යුතු යි.

තම මව වැනි හැඟීමකින් ඕනෑම කාන්තාවක් දෙ ස බලන්නට තරුණ්‍යයට හැකි විය යුතුයි. සොහොයුරන්, සොහොයුරියන් දෙස බලන අයුරින් සම වයස් කණ්ඩායම් දෙස බැලිය යුතුයි. ඇඳුම පැළඳුම, ආහාර, නිවාස, බෙහෙත් ආදී මූලික අවශ්‍යතාවයන් හි නියම තේරුම හඳුනා ගත යුතුයි.

ආහාරය අවශ්‍ය වන්නේ අප ගේ බඩගින්න නිවාගෙන ජීවිතය පවත්වා ගැනීමට නම්, ඇයි තවත් කෙනකු ගේ දේ සොරකම් කොට, ජීවිත විනාශ කොට, සිතකට ගින්දර දී අප ගේ බඩගින්න නිවා ගැනීමට කටයුතු කරන්නේ? එය අමනුෂ්‍ය ගතියක්. ඇතැම් තිරිසන් සතුන් අනුන් ගේ දේ උදුරා ගෙන නකවා. ඇයි අප ඒ තත්වයට වැටෙන්නේ.

ඉවසීම උතුම් ගුණයක්. එහෙත් ඉවසිය යුත්තේ තරහවෙන් හා වෛරයෙන් නොවේ. යම් පුද්ගලයෙක් තමන්ට කිසිවක් කර කියා ගත නොහැකි අවස්ථාවක අමනාපයෙන් හා තරහවෙන් ඉවසනවා. ඒ ඉවසීම උතුම් ඉවසීමක් වන්නේ නෑ. ඉවසීම පුරුදු කළ යුත්තේ මෛත්‍රී සිතකින් . එසේත් නැති නම් මධ්‍යස්ථ වූ සිතකින් . තරහෙන් හා වෛරී සිතින් යුතු ව, ඉවසන බව බාහිරට පෙන්නුවත් සැබෑවට ම ඒ පුද්ගලයා අභ්‍යන්තරයෙන් බොහෝ පීඩා විඳීන්නෙක් බවට පත් වෙනවා.

පස මිතුරන් ඇසුර ද, නොමනා ස්ථානයන් හි අවේලාවන් හි හැසිරීම ද තරුණ ජිවිතයකට පුරුදු විය යුතු යහ ගුණයන් නොවේ. සමාජයේ බොහෝ යහපත් තරුණ දරුවෝ නොමනා ඇසුර නිසා විනාශය ළඟා කර ගෙන තිබෙනවා.

සිත පෙළන පීඩාකාරී, අකුසල සිතිවිලි පාලනයට සමථ විදර්ශනාව වැනි භාවනාවකට යොමුවිය හැකියි. භාවනාවෙන් සිදු වන්නේ අකුසල් සිතිවිලි බැහැර වී කුසල් සිතිවිලි වැඩි වීමයි. සමාජයේ බොහෝ අයෙක් භාවනාව නිසා තරුණ ජීවිතය අකර්මණ්‍ය වේ යැයි සිතනවා. එය ඉතාමත් වැරැදි ආකල්පයක් . භවනාවෙන් මනා සිහිනුවණක් පිහිටනවා. මනා සිහි නුවණින් යුතු තාරුණ්‍යය හැබෑවට ම ප්‍රසන්නයි. ඒ තුළ ඉගෙනීම, රැකියාව, වගේ ම පවුල් ජීවිතයත් සැබෑවට ම ප්‍රසන්න ව, සුන්දර ව ගත කිරීමට ලැබෙනවා.