Print this Article


එකතු කරනවා වැඩි කරනවා වගේ ම අඩු කරන්න බෙදන්න ත් පුරුදු වෙන්න ඕනෑ

එකතු කරනවා වැඩි කරනවා වගේ ම අඩු කරන්න බෙදන්න ත් පුරුදු වෙන්න ඕනෑ

දෙවි මිනිසුන්ට නිසි මඟ පෙන්වා දී ම, වැරැදි මඟින් මුදවා ගැනීම තථාගතයන් වහන්සේ ගේ මූලික බුදු ගුණයකි. මඟ නොමඟ දැන හඳුනා ගෙන නිවැරැදි ආකල්ප ඇති කර ගැනීම සඳහා නැණවත් බව මහත් උපකාරී වන බව දහමේ පිළිගැනීම යි.

එමෙන් ම, ‘නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස’ යනුවෙන් තමන් වහන්සේ ගේ ධර්මය අනුවණයන්ට නොවන බව ද භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට තිබේ. අනුවණයන් යනු බාලයන් ය. තථාගතයන් වහන්සේ විසින් ‘මෝඝ පුරිස’ වශයෙන් ආමන්ත්‍රණය කර ඇත්තේ ද එබඳු බාලයන් සඳහා විය හැකි ය. මෙහි දී එබඳු අධර්මවාදී අය හැඳීන්වීම සඳහා ‘මෝඩ මිනිසා’ යන රළු භාෂිතය යොදා ඇති අවස්ථා පිළිබඳ ත්‍රිපිටක ධර්මයෙහි බොහෝ ස්ථානයන් හි දක්නට ලැබේ. වර්තමානයෙහි ද නිර්මල ථේරවාදී බුදු දහම තමන් ගේ සිතැඟි පරිදි විග්‍රහ කරමින් බෞද්ධ සමාජය නොමඟ යවන භික්ෂු ප්‍රතිරූපක වෘද්ධ පබ්බජිත මෝඝ පුරුෂයන් කිහිප දෙනකු සමාජගතවී ඇති බව ද දක්නට ලැබේ. බුදු දහම නිරන්තරයෙන් ම එබඳු පුද්ගලයන් නම් කර ඇත්තේ ‘බාල’ නම් වූ බාල යෙදුමින් ය. එබඳු වූ බාලයන් ඇසුරු නොකළ යුතු අධම පුද්ගලයන් ලෙස දහමින් ප්‍රතික්ෂේප කරයි. ඔවුන් හඳුනා ගැනීමේ ලක්ෂණ ද පෙන්වා දෙයි.

සාමාන්‍ය ජන සමාජය තුළ තම දරුවන් පිළිබඳ මව්පියන්ට ඇත්තේ සාඩම්බර වූ හැඟීමකි. තමන් සතු ධනය පිළිබඳව ද ඇත්තේ එබඳු හැඟීමකි. ඇතැමකුට දරුවන් පිළිබඳ නැති මහා මානයක්, ධනය පිළිබඳ ඇති බව ද නො රහසකි. බුදු දහම දරුවන් පිළිබඳ ලබා දී ඇති පැහැදිලි කිරීම ‘පුත්තා වත්ථු මනුස්සානං’ යන්න යි. එනම්, මිනිසුන්ට ඇති එකම වස්තුව දරුවන් බව ය.

ධනය පිළිබඳ දේශනා කිරීමේ දී, පුද්ගලයා උපයා ගත් ධනයෙන් පරිපූර්ණ විය යුතු බවත්, ‘දාලිද්දියං භික්ඛවේ දුක්ඛං’ යනුවෙන් දිළිඳු බව දුකක් බවත් පෙන්වා දෙයි. එහෙත්, දූ දරුවන් පිළිබඳ හෝ ධනය පිළිබඳ හෝ සිතමින් ඒ පිළිබඳ මුළාවට පත්වීම, අවිචාරවත් ව ක්‍රියා කරමින් සසර දිගු කර ගැනීම සම්බුදු දහමින් විවේචනයට ලක්වී ඇති අයුරු ධම්මපද පාලියෙහි සඳහන් මෙම ගාථා ධර්මයෙන් දැක ගත හැකි ය.

පුත්තාමත්ථි ධනං මත්ථි - ඉතිබාලෝ විහඤ්ඤති
අත්තාහි අත්තනෝ නත්ථි - කුතෝ පුත්තා කුතෝ ධනං

මෙහි පුත්තාමත්ථි යනු තමන්ට දරුවන් ඇතැයි සිතීම පමණක් නොවෙයි. දරුවන් ගේ උසස්කම්, බලවත්කම්, සවිමත්කම් පිළිබඳ සිතමින් මුළා ව ක්‍රියා කිරීම ය.

ධනංමත්ථි’ නම්, මට ධනය ඇතැයි සිතීම යි. තව තවත් ධනය රැස් කිරීමට පමණක් නොව, ඒවා රැකීමට දරනු ලබන උත්සාහය මෙන් ම ලබා ඇති ධනයෙහි ප්‍රමාණය පිළිබඳ සිතා මහත් සේ මුළා ව ක්‍රියා කිරීම යි. සමහර කෙනකු සතුටට පත් වන්නේ තමන් සතු ධනය පිළිබඳ දිනපතා ප්‍රමාණ වශයෙන් සිතමිනි. ඇතැම්විට ඒවා ගණනය කරමිනි. මෙම ස්වභාවය ඇතැම්විට ‘මදයට’ හෙවත් මත්වීමට පත්වීමකි. සම්බුදු දහමෙහි එබඳු ‘මද’ සත් විස්සක් පිළිබඳ සංඛ්‍යාත්මක ව දක්වා තිබේ. මේවා මත් වතුරකින් හෝ මත් ද්‍රව්‍යකින් සිදු කරන හානියට වඩා විශාල හානියක් සිදු කරයි. මත්ද්‍රව්‍යයන්ගෙන් මත්වීම සීමිත කාල පරාසයකට සීමා වුවත් ‘භෝග මදය, ලාභ මදය, ජීවිත මදය’ වැනි මීට අදාළ ව ඇති මත්වීම ජීවිත කාලය පුරාම රඳා පවතියි. මෙසේ තම ජීවිතය තුළ ලබන ලද දූ දරුවන් හා ධනය මෙන් ම එහි ලාභය පිළිබඳ ඇති කර ගන්නා මත්වීමෙන් සාමාන්‍ය ජීවිතයෙන් වෙන් වේ. සාමාන්‍ය චර්යාවන්ගෙන් වෙන් ව ක්‍රියා කරයි. තම ආගම දහමින් ඈත් වෙයි . එය නිරායාශයෙන් සිදු වන්නකි. එබඳු වූ සිතුවිලි පුද්ගලයා තම ජීවිතය තුළින් ඈත් කරයි. ඔහු ජීවිතයට නිමාවක් ඇති බව ද නොසිතමින් තාවකාලික වූ ජීවිතය සදාකාලික බවට පත් කර ගනියි. එය අභාග්‍යයකි.

තමන් ගේ සිරුර පිළිබඳ තමන්ට තරම් වෙනත් කිසිවකුට ත් අවබෝධයක් නැත. එමෙන් ම එහි පැවැත්මට, ආරක්ෂාවට, ශක්තියට මෙන් ම පෙනුමට දක්වන සැලකිල්ල ලොව ඇති කිසිවක් සඳහා දක්වන්නේ ද නැත. එසේ පෝෂණය කරමින්, සවිමත් කරමින්, සරසමින්, සුවපත් කරමින් රැක ගන්නා ශරීරය හෝ තමාට අයත් දෙයක් නොවන බව පෙනෙන්නේ එම සිරුර ද මෙහි තබා මෙලොව හැර යාමෙනි. එසේ නම් ආදරයෙන් හදා වඩා ගත් දරුවන් හෝ සෙනෙහසින් එක් ව දිවි ගෙවූ බිරින්ඳෑවරුන් හෝ ‘ධනය හෝ කොයින්දැ යි මෙහිදී ප්‍රශ්න කෙරේ.

රැයක් දවාලක් නැති ව වෙහෙස මහන්සි වී උපයන ලද ධනයෙන් අංශු මාත්‍රයක් මිය යාමේ දී කිසිවකු, කෙලෙසකින් හෝ ගෙන යන බවක් හෝ ගෙන ගිය බවක් ඇසිය දැකිය නොහැකි ය. තමා ඉතා මැනවින් රැක බලා ගන්නා සිරුර, සර්පයන් තම හැව හැරයන්නාක් මෙන් හැර යයි. ජීවිතයෙන් සමු ගනියි. මම ය, මාගේ ය යන දැඩි ආශාව පීඩාවට හේතුවක් මෙන් ම දෙලොව ම දුක් ගෙන දෙන බව මෙහි දී ඉතා මැනවින් විස්තර කර ඇත්තේ ඉතා සංවේගාත්මක ව ය. තමා ඉතා ඇළුම් කරන තම ශරීරය මෙන් ම, ඊට සමානව ම ඇලුම් කරන දරුවන් පමණක් නොව ප්‍රිය බිරිඳ හෝ සැමියා ද, තමාට උරුම වූ ධනය ද යන මෙම භෞතික වස්තුන් කිසිවකුටත් දුරස් වූ සංකල්පයක් නොවේ. නිතර දැනෙන, පෙනෙන පරිභෝග කරන මේ සියල්ල කිසියම් දිනක අතහැර දමා හුදකලා ගමනක යන අයුරු දැක්වීමට තථාගතයන් වහන්සේ භාවිත කර ඇති උපමා රූපක තුළින් තම උතුම් ධර්මය පුද්ගල මනසට ප්‍රවිෂ්ට කර ඇත්තේ ඉතා සරල ස්වභාවයකිනි. වර්තමානයෙහි අප පීඩාවට පත් කර ඇති කොරෝනා නම් වූ ගෝලීය වසංගතය දිනෙන් දින අපට පසක් කරනුයේ තථාගතයන් වහන්සේ ගේ එම උතුම් දර්ශනයෙහි සත්‍යතාව ය යි.

භාග්‍යවතුන් වහන්සේ ගේ මෙම ධර්ම දේශනය සඳහා හේතු වූ සිදුවීම ද සසරෙහි බියජනක බව මැනවින් ගතට හා සිතට දැනෙන ඛේදනීය පුවතකි.

එ දවස සැවැත් නුවර ආනන්ද නම් සිටුවරයකු විය. ඔහු ගේ වත්කම කෝටි 40 ක් පමණ ය. එහෙත් ඔහු දැඩි මසුරු ය. සුවිසල් ධනවත්කම පිළිබඳවත්, මූලසිරි නම් එකම පුතු පිළිබඳවත් මුලා වූ සිතින් යුතුව ක්‍රියා කරන ලද මොහු තම පුතුට දෙන ලද අවවාදය වූයේ හිමි ව ඇති ධනය අඩුවෙන් සලකමින් තව තවත් ධනය එකතු කර තබන ලෙසයි. බෙදීම හෝ අඩු කිරීම තම පුතුට කිසිවිටෙකත් කියා නොදුන් මෙම මසුරු පියා එකතු කිරීම හා වැඩි කිරීම පමණක් කියාදුන්නේ ය. සඟවා තබන ලද නිධානයන් පිළිබඳව ද හෙළිදරව් නොකර ම මරණයට පත්වූ යේ ය.

ගත කළ මසුරු ජීවිතයට අනුව මොහු ඊළඟ බවය ලැබුවේ මිනිස් ලොව සැඩොල් කුලයක ය. පියා ගේ මරණයෙන් පසු පුතු සිටු තනතුරට පත් විය. පියා ගේ අවවාද ගරු කරමින් ධනය පරිහරණය කළේ ය. ඉතා ලෝභී ව මහත් මසුරුකමින් යුතුව දිවි ගෙවී ය. මිය ගිය සිටුවරයා පිළිසිඳගත් සැඩොල් කුලයෙහි එම සැඩොල් මවට පමණක් නොව මුළු ගමට ම එදින සිට කිසිවක් නොලැබුණේ ය. ආහාර පාන ආදිය දිනෙන් දින අඩු විය. සැඩොලුන්, තම ගමෙහි කිසියම් අභාග්‍ය සම්පන්න පවිටෙකු ඉපිද ඇතැයි සොයා බලා දරු ගැබ සහිත එම කාන්තාව ද ගමෙන් එළවා දැමී ය. ඒ මවට උපන් දරුවා බියජනක ය. විරූපී ය. ඇස්, කන්, නාසා ආදී ශරීරාංගයන් ද නිසි අයුරින් නොපිහිටියේ ය. මව ගේ කරුණාවෙන් ඇතිදැඩි විය.

මිනිස් බව ලත් අමනුෂ්‍ය පෙනුම ඇති දරුවා කුල උරුමයෙන් උරුම වූ සිඟමන සඳහා මව විසින් යොදවන ලද්දී ය. යන යන තන්හි දුටු දුටුවන් බියපත් ව පළවාහැරී ය. දිනක් පෙර තමා ගේ සිටු මැදුරට ගියේ ය. මූලසිරි සිටුතුමා ගේ දරුවන් ඔහු දැක බියපත් ව හඬන්නට විය. සිටුවරයා ද එදා තම පියා දුන් අවවාද අනුව කිසිවක් සැඩොල් දරුවා අසල කසළ ගොකට ඇද දැමී ය. මෙම සිදුවීම සිදු වන මොහොතේ මේ අසලින් පිඬු සිඟා වැඩමවා ලූ සර්වඥයන් වහන්සේ මෙම සිදුවීම දුටුවහ. මූලසිරි සිටු කැඳවා "මේ තලා පෙළා දමා ඇත්තේ ඔබේ පියාණන්ට"

යැයි කියා සඟවා තිබූ පස් මහා නිධානයන් ද පෙන්වා දෙමින් දම් දෙසා ලූ හ. එහි දී අනුවණයා තමාට දරුවන් ඇතැයි, ධනය ඇතැයි සිතමින් වෙහෙසෙන්නේ ය. පෙළෙන්නේ ය. කිසිදු කුසල ධර්මයක නොයෙදෙන්නේ ය. තමාට තමාවත් නැති බව නොසිතා ක්‍රියා කිරීමෙන් මෙබඳු දුක්ඛදායක තත්වයන්ට පත්වන්නේ යැයි පැහැදිලි කර දුන්හ. බුදුරදුන් දේශිත දහමින් ප්‍රමුදිත මූලසිරි සිටු බොහෝ පින්කම් හි යෙදී ජීවිතය සරු කර ගත් අතර බොහෝ දෙනකු ධර්මාවබෝධය සඳහා උපයෝගී කර ගත් අයුරු ද අපේ ධර්ම සාහිත්‍ය මඟින් මැනවින් විස්තර කොට ඇත.

බිනර පුර පොහෝ දිනය බෞද්ධ කුල කාන්තාවන් ගේ පොහෝ දිනය ලෙස හැඳීන්වීමෙහි ද වරදක් නැත. බුදුරජාණන් වහන්සේ අතිශය පීඩාකාරී ව විසූ කාන්තා සමාජය විවිධ අංශයන්ගෙන් ඇගයීමට ලක් කළහ. කාන්තාව වැඳුම් පිදුම් ලැබීමට සුදුසු වූ පූජනීයත්වයට පත් කළහ. භික්ෂුණියක් ව සසරින් එතෙර වීමේ අවස්ථාව ලබා දුන් ඒ උතුම් දිනය අද දිනය වන්නේ ය. මහා ප්‍රජාපති ගෝතමිය අෂ්ඨ ගරු ධර්ම පිළිගැනීමත් සමඟ පැවැදි උපසම්පදාව ලැබීමෙන් කාන්තා සමාජයට ලබාදී ඇති ‍මෙම පූජනීයත්වය වෙනත් කිසිදු දහමකින් ලබා දී නැත. බෞද්ධ කාන්තා පරපුර එදා තමන් ලද එම මහනීය අවස්ථාවට කෘතවේදී වෙමින් සියලු ආගමික ක්‍රියාවන් ගේ මූලික ව ක්‍රියා කිරීම දක්නට ලැබේ. එ දවස එබඳු සුවිශේෂී කාර්යයකට අවතීර්ණ වූ අද දිනයෙහි දරුවන් හා ධනය පිළිබඳ ව ඇති කර ගන්නා මතින් තොරව කුසල් වඩමින් සසරින් එතෙර වීමට උත්සුක විය යුතුව ඇත.