Print this Article


කෝදාගොඩ ශ්‍රී ඤාණාලෝක නායක ස්වාමින්ද්‍රාභිනන්දන ප්‍රභාෂණය සාර්ථක ව නිමාවට පත් වූ වගයි

කෝදාගොඩ ශ්‍රී ඤාණාලෝක නායක ස්වාමින්ද්‍රාභිනන්දන ප්‍රභාෂණය සාර්ථක ව නිමාවට පත් වූ වගයි

විසිවන සියවසේ මෙරට වැඩ සිටි අග්‍රගණ්‍ය පඬිරුවනක වූ අහංගම විද්‍යාචන්ද්‍ර පරිවේණාධිපති, අනුරාධපුර බුද්ධශ්‍රාවක ධර්ම පීඨාධිපති, බුද්ධජයන්ති ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ සභාපති, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, උපාධ්‍යාය ධුරන්ධර, සාහිත්‍ය චක්‍රවර්තී, රාජකීය පණ්ඩිත, අතිපූජ්‍ය කෝදාගොඩ ශ්‍රී ඤාණාලෝක නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ගේ මහාර්ඝ ජාතික, ආගමික, භාෂා සාහිත්‍යයික මෙහෙවර අගය කරමින් කෘතෝපහාර දැක්වීම පිණිස සංවිධානය කරන ලද කෝදාගොඩ ශ්‍රී ඤාණාලෝක නායක ස්වාමින්ද්‍රාභිනන්දන ප්‍රභාෂණය මාර්ගගත සම්මන්ත්‍රණයක් ලෙස සැප්තැම්බර් මස තුන් වන සිකුරාදා සන්ධ්‍යාවේ දී ‘දදප තාක්ෂණය ඔස්සේ අති සාර්ථක ව පවත්වන ලදි.

බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ විසිපස් වසරකට අධික කාලයක් සභාපති පදවිය හොබවන ලද කෝදාගොඩ ඤාණාලෝක නාහිමිපාණන් වහන්සේ අතින් පරුපනපාළි, පාරුපනසිඛ, ප්‍රාකෘතමඤ්ජරී, අමාවතුර සංස්කරණය, පයෝගසිද්ධි සංස්කරණය, සිද්ධාන්ත ප්‍රදීපය වැනි මහානීය ග්‍රන්ථ සමුදායක් රචනා වී ඇති අතර විසිවන සියවසේ ඇති වූ පාරුපන වාදය වැනි ධර්මශාස්ත්‍රීය වාද විවාද සඳහා ද මූලිකත්වය ගත්හ. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය ආරම්භක අවස්ථාවේ දී ම එහි කථිකාචාර්ය පදවියකට පත් නාහිමිපාණන් වහන්සේ දක්ෂිණ ලංකාවේ ශාසනික ගැටලුවල දී පෙරට පැමිණෙමින් ඉතා දූරදර්ශී ව සංඝ සාමග්‍රිය උදෙසා ඇප කැප වූ මහා යතීන්ද්‍රයන් වහන්සේ නමකි.

තිස් තුන් වසරකට පෙර අපවත් වී වදාළ කෝදාගොඩ නාහිමිපාණන් වහන්සේ ගේ මෙහෙවර සිහි කරමින් මේ දක්වා කිසිදු ඇගයීමක් සිදු කොට නොතිබූ හෙයින් කථිකාචාර්ය දිමුතු පුන්සර කොළඹගේ මැතිතුමා ගේ අදහසකට අනුව දක්ෂිණ ලංකාවේ සමථබල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝ නායක අතපත්තුකන්දේ ආනන්ද නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මූලගිරි සංඝ සභාවේ ආරාධනයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන් ගේ මෙහෙයවීමෙන් මෙම ප්‍රභාෂණය සංවිධානය විය.

ආචාර්ය මොරකන්දේගොඩ අරියවංස හිමි, ආචාර්ය කුඹල්ගොඩ ධම්මාලෝක හිමි සහ කථිකාචාර්ය ගනුෂ්ක රන්දුල මහතා විසින් ශාස්ත්‍රීය දේශන පවත්වන ලද අතර, අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනාහිමිපාණන් වහන්සේ මුලසුන් දෙසුම සිදු කළහ. අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහා නාහිමි, ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමි, බඩබද්දේ චන්දරතන හිමි, මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම හිමි, මහාචාර්ය සඳගෝමි කෝපරහේවා මැතිතුමා ඇතුළු විද්වතුන් ද අදහස් දක්වන ලදි.

මල්වතු අස්ගිරි උභය මහාවිහාරයීය අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි උත්තරීතර මහ නාහිමි, අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමි, වැලමිටියාවේ ඤාණරතන නාහිමි ඇතුළු සම්භාවනීය මහා සංඝරත්නය, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් ඇතුළු දෙසියයකට අධික ශාස්ත්‍රෝන්නතිකාමීන් ගේ සහභාගීත්වයෙන් මෙම ප්‍රභාෂණය පැවැත්විණි.