Print this Article


සමන් දෙවිඳුන්ට උපහාර පිදෙන සපරගමු මහසමන් දේවාල පුදබිමේ ඇසළ පෙරහර මංගල්‍යය

සමන් දෙවිඳුන්ට උපහාර පිදෙන සපරගමු මහසමන් දේවාල පුදබිමේ ඇසළ පෙරහර මංගල්‍යය

තථාගතයන් වහන්සේ සමනල ගිරි හිස ශ්‍රී පාද පද්මය පිහිටුවා වදාළේ සුමන සමන් දෙවිඳුන් ගේ ආරාධනයෙනි. සිරිපා අඩවිය සමන් දෙවිඳුන් ගේ අඩවිය ලෙස සලකන ලක්වැසි බොදු ජනතාව සිරිපා කරුණාවේ දී රැකවරණය ප්‍රාර්ථනා කරන්නේ සුමන සමන් දෙවිඳුන්ගෙනි.

තුන් සරණේ කවි කියමින් ,තිසරණ ගුණ සිහි කරමින් ඔවුහු සමන් දෙවිඳුන්ට ගෞරවාදරය දක්වන්නේ සිරිපා කරුණාවේ දී කිසි විටෙක කට වරද්දා නො ගනිමිනි. එසේ සුවිශේෂී වන සුමන සමන් දෙවිඳුන් වෙනුවෙන් ඉදිවූ රත්නපුර මහ සමන් දේවාලය සබරගමු පළාත් වැසියන් ගේ සංස්කෘතිය හා බැඳුණු ප්‍රධානත ම සිද්ධස්ථානයකි. ජීවිතයේ සුවිශේෂී වූ කවර කටයුත්තක දී වුවද සමන් දෙවිඳුන් ගේ ආශිර්වාදය ලබා ගැනීම ඔවුන් ගේ සිරිත ය.

කන්ද උඩින් බැස්ස කලට පෙනේ ය
උළු මාලිගාව
බිම්බරකින්සෙනඟ ඇවිත් රුවට
සැදෙව් මාලිගාව
රෑ දාවල් අඳුර නැති ව රන් කොත්
බබළන සොබාව
ලංකාවට තිලකය ව ද
සබරගමුව මාලිගාව

සබරගමුවේ මහ සමන් දේවාලය ඈත අතීතයේ සිට ම ජන හදවත් හා සමීප වී ඇති අයුරු ය ගැමියන් ගේ මුවඟ නිතර රැඳෙන මේ කාව්‍ය නිර්මාණයන්ගෙන් ද කියැවෙන්නේ.

සබරගමුව මහ සමන් දේවාලයේ ඉතිහාසය දෙවැනි පරාක්‍රමබාහු රජ දවස දක්වා දිව යයි. ඉතිහාසයට අනුව දෙවැනි පරාක්‍රමබාහු රජතුමා දඹදෙණි යුගයේ විසූ ශ්‍රේෂ්ඨ නරපතියෙකි. රජු ගේ මහ ඇමැති ධූරය දැරුවේ ආර්යකාමදේව නම් පුද්ගලයෙකි. එවක සබරගමු ප්‍රෙද්ශයේ මැණික් ගරා , රාජ භාණ්ඩාගාරය තර කිරීමේ භාරදූර කාර්යය පැවරුණේ ඔහුට ය. ඒ අනුව සබරගමුවට පැමිණි ඇමැතිවරයා රජතුමා වෙනුවෙන් පළමු ව බාරයක් විය. ඒ සමන් දෙවිඳුන් උදෙසා ය. රට වෙනුවෙන් තමන්ට පැවරුණු කාර්යය අතුරුඅන්තරාවකින් තොර ව සාර්ථක ව ඉටු කර ගැනීම එහි අරමුණ විය. ඔහු ගේ බාරය වූයේ වටිනා මැණිත් ලැබුණේ නම්, සමන් දෙවිඳුන් වෙනුවෙන් තෙමහල් ප්‍රාසාදයක් කරවන බව ය. ඇමැතිවරයා ගේ ප්‍රාර්ථනාව එලෙස ම ඉටු විය. රාජ භාණ්ඩාගාරයට වටිනා මැණික් ලැබුණි. මේ ගැන බෙහෙවින් සතුටට පත් වූ රජතුමා සමන් දෙවිඳුන් වෙනුවෙන් වූ බාරය ඔප්පු කළේ ය. සබරගමු මහ සමන් දේවාලය ඉදිවන්නේ ඒ අනුව ය.

අතීතයේ සිට ම සමන් දෙවිඳුන් උදෙසා සබරගමුව මහ සමන් දේවාලයෙහි සිදු කෙරෙන පුද පූජාවන් අතර ඇසළ පෙරහර සුවිශේෂි ය. ඉපැරැණි රාජ සම්මත නීතීන්ට අනුව පැවැත්වෙන පෙරහරෙහි අරමුණ සමන් දෙවිඳුන්ට උපහාර දැක්වීම ය. සබරගමු පළාත් වැසි බොහෝ දෙනෙක් මෙම පෙරහර නැරඹීමට හුරු පුරුදු වී සිටින්නේ එය තමන් විසින් කළ යුතු ම චාරිත්‍රයක් කොට සලකමිනි. තමන් ගේ ජීවිතයේ කුදු මහත් ඕනෑම කටයුත්තක දී සමන් දෙවිඳුන් ගේ පිහිට ආරක්ෂාව ලැබෙන බව ඔවුහු විශ්වාස කරති.

රත්නපුර සමන් දේවාලයේ ඇසළ මහ පෙරහර දෙවැනි වන්නේ මහනුවර ශ්‍රී දළදා පෙරහරට පමණක් බව පැවසේ. අතීතයේ සමන් දේවාලයේ පැවැත් වූ දළදා පෙරහර පිළිබඳ කියැවෙන දළදා පූජා කවි එහි අලංකාරයත්, ගාම්භීර බවත් ප්‍රකාශ කරයි.


මිගාර ජයසුන්දර
බස්නායක නිලමේතුමා

සමන් දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය සිදු කෙරෙන්නේ දේවාලයේ බස්නායක නිලමේ තුමා ගේ ප්‍රධානත්වයෙනි. ඔහු විසින් නැකැත් රාල, ඇතුළු කට්ටලේ සහ පිට කට්ටලේ නිලධාරීන් කැඳවා පෙරහරට අදාළ කාර්යයන් පවරනු ලබයි.

පෙරහර ඇරඹෙන්නේ කප් සිටුවීමෙනි. වර්තමාන චාරිත්‍ර අනුව කප් සිටුවීමට පෙර දින සර්ව රාත්‍රික පිරිත් දේශනයක් පවත්වා පසු දින මහා සංඝගත දක්ෂිණාවක් පිරිනැමෙයි. එහි දී සමන් දෙවිඳුන්ට පින් අනුමෝදන් කිරීම සිදු කෙරේ.

කප් සිටුවන්නේ සුබ නැකතිනි. එය බාරව සිටින්නේ කප් සිටුවන රාල ය. ඔහු විසින් පෙර දින රාත්‍රියේ තනිව ම ගොස් කපා ගත් කප් ගස සුදු පිරුවටයකින් ඔතා ශබ්ද පූජා මධ්‍යෙය් , උඩුවියන් මැදින් කප් සිටුවන ස්ථානයට රැගෙන යනු ලබයි. සුබ නැකතින් කප් සිටුවන්නේ ළිඳ මලුවේ දී ය. සමන් දෙවියන් ගේ අඩවියෙහි සශ්‍රීකත්වය අපේක්ෂා කිරීම කප් සිටුවීමේ චාරිත්‍රෙයහි ප්‍රධාන අරමුණ ය.

කප් සිටවූ දා සිට කුඹල් පෙරහර පහක් පැවැත්වේ. ඒ, උඩ මලුව වටා ය. අනතුරු ව එළඹෙන්නේ වීදි පෙරහර යි. උදේ සහ සවස වශයෙන් දෙවතාවක් පවත්වන හෙයින් වීදි පෙරහර දෙවේල් පෙරහර යනුවෙන් ද හැඳීන්වෙයි. හේවිසි, කොඩි සේසත් සහ සබරගමු නැටුම් ආදියෙන් සමන්විත මෙම පෙරහරෙහි සියලු දෙනා සැරසී සිටින්නේ සුදුවතිනි.

වීදි පෙරහරෙහි සමන් දේවාභරණ අලියකු පිට වැඩම කරවන අතර, පත්තිනි දේවාලයේ දෝලාව ද එහි වැඩම කරවයි. උඩ මලුවෙන් ඇරඹෙන මෙම පෙරහර සමන් දේවාලයේ ඇසළ පෙරහරේ ප්‍රථම වීදි සංචාර පෙරහර යි.

විදි පෙරහර පහක් පැවැත්වීමෙන් පසු ඇරඹෙන්නේ මහ පෙරහරයි. දින පහක් පැවැත්වෙන මෙම පෙරහරේ සුවිශේෂත්වය වන්නේ දළදා පෙරහර පෙරටු කොට ගෙන දේවාල පෙරහර සතරක් ගමන් කිරීම ය. මෙම පෙරහරෙහි පළමුව පිටත් වන්නේ දළදා පෙරහරයි. අනතුරුව පිළිවෙළින් පත්තිනි, බිසෝ දෙවි, කුමාර දෙවි හා සමන් දෙවි පෙරහර ගමන් කරයි.

මහ පෙරහරේ මුලින් ම ගමන් කරන්නේ මහබඹා ය. දළදා පෙරහර ආරම්භ වීමෙන් පසු බස්නායක නිලමේ වෙත විශේෂ කාර්යයක් පැවරේ. නිල රාජකාරිකරුවන් සමඟ දේවාලය වෙත පැමිණෙන බස්නායක නිලමේ දේව පෙරහර අරඹන්නේ සිරිත් 24ක් පවත්වමිනි.

රත්නපුර මහ සමන් දේවාලයේ ඇසළ පෙරහර මංගල්ලයේ දළදා පෙරහරෙන් අගමික ව සෙත් ප්‍රාර්ථනා කිරිමත්, දේව පෙරහරෙන් දෙවියන් ගේ ආශිර්වාදයත් බලාපොරොත්තු වේ. පෙරහර හොඳීන් සිදු කිරීමෙන් පසු නව වසරක් සඳහා ආරක්ෂාව සැලසෙන බව විශ්වාස කෙරේ.

මහ පෙරහර අවසන් වීමෙන් පසු දින දිය කැපීමේ පෙරහර පැවැත්වේ. දියකැපීමේ පෙරහර අවසන් වීමෙන් පසු ගරායකුම ශාන්තිකර්මය සිදු කෙරේ. එය සිදු කෙරෙන්නේ දෙවියන් වැඩම වූ ඇතාට සෙත් ප්‍රාර්ථනා කිරීමට බව පැවසේ.

මෙවර රත්නපුර මහ සමන් දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය කොරෝනා වසංගත රෝග තත්වය නිසා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව ජන සහභාගිත්වයෙන් තොරව පැවැත්වෙන බවත්, එහෙත් සියලු චාරිත්‍ර එලෙස ම සිදු කරන බවත් රත්නපුර මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ මිගාර ජයසුන්දර නිලමේ තුමා පැවසී ය.