Print this Article


ලක්දිව සංඝරාජ පදවිය - 5: ප්‍රාදේශීය නායක පදවි පත් කිරීම

ලක්දිව සංඝරාජ පදවිය - 5:

ප්‍රාදේශීය නායක පදවි පත් කිරීම

"පහතරට ප්‍රකට පඬිවරයකු වූ කරතොට ධර්මාරාම හිමියන් බාරස කාව්‍යය නම් දුෂ්කර කාව්‍ය නිර්මාණය සිදු කිරීම වෙනුවෙන් පල්ලේබැද්ද සංඛපාල විහාරයේ අධිපති පදවිය සහිත ව අක්කර දහතුන් දහසක් නින්දගම් වශයෙන් රජතුමා වෙතින් පුද ලැබ ඇත."

ප්‍රාදේශීය වශයෙන් විපුලත්වයට පත් සංඝයා වහන්සේලා වෙත රජතුමා විසින් ඒ ඒ පළාත්වල පිහිටි සුවිශේෂී විහාරස්ථානවල අධිපති පදවිය පිරිනැමීම, ගෞරව නාම සම්මුති පිරිනැමීම සහ පළාත් නායක පදවි පිරිනැමීම ද මෙම වකවානුවෙහි සිදු වූ බවට නිදසුන් හමු වෙයි.

පහතරට නායක හිමියන් වැඩසිටි පැල්මඩුල්ල රජමහ විහාරය

සංඝරාජ හිමියන් ගේ තෘතීය ශිෂ්‍ය වූ ගිනිගත්පිටියේ සංඝරක්ෂිත හිමියෝ සත් කෝරළයේ ප්‍රධාන සංඝ නායක පදවිය පුද ලදහ. සංඝරාජයන් වහන්සේගෙන් පහළ වූ ධර්ම ශාස්ත්‍රාලෝකය සපරගමු, දකුණු සහ බස්නාහිර පළාත්වල ව්‍යාප්ත කරවීමට ප්‍රමුඛතම දායකත්වයක් සැලසූ වේහැල්ලේ ධම්මදින්න හිමියන්ට සාමණේර අවධියේ දී ම ශ්‍රීපාදස්ථානයෙහි නායක පදවියත්, උපසම්පදාවෙන් පසු දකුණු සපරගමු දෙදිසාව ඇතුළුවන සේ පහතරට ප්‍රධාන සංඝ නායක පදවියත්, කතරගම කිරිවෙහෙර නායක පදවියත් පිරිනමා ඇත. වේහැල්ලේ ධම්මදින්න හිමියන් ගේ ශිෂ්‍ය වූ කඹුරුපිටියේ ගුණරතන හිමියන් උපසම්පදාවට පැමිණ රාජ රාජ මහාමාත්‍යාදී ප්‍රභූන් ඉදිරියේ මල්වතු මහා විහාරයීය සංඝ සභාවෙහි දී සඟි ධර්මය ව්‍යක්ත ව දේශනා කළ බැවින්, රජතුමා විසින් සඟිධර යන ගෞරව නාමය පිරිනැමූ බවත්, ඉන් පසු කඹුරුපිටියේ සඟිධර ගුණරතන නමින් ප්‍රකට වූ බවත් සඳහන් වෙයි. වේහැල්ලේ ධම්මදින්න හිමියන්ගෙන් පසු උන්වහන්සේ දැරූ දකුණු සපරගමු පළාත් සහිත පහතරට සංඝ නායක පදවිය ද කඹුරුපිටියේ සඟිධර ගුණරතන හිමියන් වෙත පුද දෙන ලදී. රන්සෑගොඩ ධම්මදස්සි හිමියන් වෙත කීර්ති ශ්‍රී තේජෝවර යන ගෞරව නාමය පිරිනැමූ බව ද සඳහන් වෙයි.

පහතරට ප්‍රකට පඬිවරයකු වූ කරතොට ධර්මාරාම හිමියන් බාරස කාව්‍යය නම් දුෂ්කර කාව්‍ය නිර්මාණය සිදු කිරීම වෙනුවෙන් පල්ලේබැද්ද සංඛපාල විහාරයේ අධිපති පදවිය සහිත ව අක්කර දහතුන් දහසක් නින්දගම් වශයෙන් රජතුමා වෙතින් පුද ලැබ ඇත. ශ්‍රී පාදස්ථානාධිපති පදවියත්, පහතරට නායක පදවියත් හෙබ වූ ධර්මාරාම හිමිපාණෝ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කළ ලන්දේසි සහ ඉංග්‍රීසි පාලකයන්ගෙන් ද සම්භාවනාවට පත් වූ හ. රාජාධි රාජසිංහ රජතුමා පිරිනැමූ නායක පදවියේ සියලු බලතල තමන් යටතෙහි වූ මුහුදුබඩ ප්‍රදේශවල ද ක්‍රියාත්මක කිරීමට හැකිවන ලෙසින් අක්තපත්‍රයක් නිකුත් කළ විල් හෙලම් ජේකොබ් වැන්දගාෆ් ඕලන්ද ආණ්ඩුකාරවරයා පදවියට වැටුප් වශයෙන් මාස්පතා පතාග 37 ක වැටුපක් ගෙවීමට කටයුතු කළේ ය. ඉංග්‍රීසි ආණ්ඩුකාර පදවිය දැරී රොබට් බ්‍රවුන්රිග් විසින් ජෝන් ඩොයිලි මාතර දිසාපති ධූරය දැරූ සමයෙහි කරතොට ධම්මාරාම නාහිමියන් කොළඹට කැඳවා නායක පදවි පිළිබඳ තොරතුරු අසා, ඒ වෙනුවෙන් උන්වහන්සේ වෙත අක්තපත්‍රයක් සහ මාසික ව පතාග 37 බැගින් පිරිනැමීමට කටයුතු යෙදී ය.


කරතොට ධම්මාරාම නාහිමි


වේහැල්ලේ ධම්මදින්න නාහිමි

නායක පදවි ලද හිමිවරුන් වෙත භික්ෂුන් වහන්සේ ගේ නායකත්වය, තීන්දු තීරණ ගැනීමේ බලය, ශාසනික විනයකර්මවල දී නායකත්වය, ප්‍රාදේශීය සංඝයා වහන්සේ ගේ අවශ්‍යතාවල දී ස්වකීය සංඝ මූලස්ථාන සහ රජය අතර සම්බන්ධතා පැවැත්වීමේ අතරමැදියා ලෙසින් ක්‍රියා කිරීම වැනි කටයුතු පැවරුණු බව සිතීමට පුළුවන.

රජයෙන් නායක පදවි පත් කළ වකවානුවේ නායක පදවිය හොබවන නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ධර්මධර, විනයධර සංඝ සභාවකින් විහාරස්ථාන ආශ්‍රිත නඩු විසඳා තීන්දුව දී එය ක්‍රියාත්මක කරවීමට ප්‍රදේශය භාර මුදලිවරයා හෝ නිළමේවරයාට නියම කර යැවූ සාධක හමු වෙයි. වර්ෂ 1799දී ඕගස්පේ විහාරය, වර්ෂ 1800 දික්වැල්ලේ තැනුම්පොත විහාරය, වර්ෂ 1800 ගොඩකන්දේ විහාරය, වර්ෂ 1818 කුරුඹුරේ විහාරය සහ නැවත 1821 ගොඩකන්දේ විහාරය පිළිබඳ පැන නැඟි ගැටලු මෙහි දැක්වූ අන්දමට විසඳා ඇත.

සංඝාධිකරණ තීන්දු නොපිළිගත් අවස්ථාවල දී මල්වතු විහාරයට අභියාචනා කිරීමට හැකියාව පැවතුණි. පහතරට ප්‍රධාන සංඝනායක පදවිය හෙබවූ අගලකඩ ධම්මරක්ඛිත හිමියන් මුල් වී විසඳූ ආරවුල් දෙකක් වූ හකුරුවෙල විහාරය පිළිබඳ නඩුව වෙනුවෙන් කිරිනැලියේ රතනජෝති හිමියන් ද, උනන විහාරයේ නඩුව ඕවිලානේ සුවණ්ණජෝති හිමියන් ද, මල්වතු විහාරය වෙත අභියාචනා කොට තිබේ. මූලස්ථානය වූ මල්වතු විහාරයේ තීරණය අවසාන තීරණය වශයෙන් සැලකිණි.

නායකකම් පිරිනැමීම කට වචනයෙන් සිදු වූවක් විනා සන්නසක් හෝ ඔප්පු පිරිනැමීමක් නොවූ බව කරතොට ධර්මාරාම හිමියන් විසින් රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාට පැවසූ බව සඳහන් වෙයි. පළාතේ නායකකම් වාචෝද්ගත ව පිරිනැමූව ද, විහාර නායකකම් පිරිනැමීම සඳහා සන්නස් පත්‍ර පිරිනැමූ බවට සාධක හමු වෙයි. රජතුමා විසින් මෙලෙස සම්භාවනාවට ලක් කළ හිමිවරුන් වෙත ඇත් දළ මිට සහිත විජිනිපත්, ලෝහ සහ ඇත් දළවලින් කළ බුදු පිළිම, ධාතු කරඬු, දහම් පොත්, වටිනා සළු පිළි සහ සිවුරු, ඇත් දළ යුවළ ඇතුළු පූජා භාණ්ඩ පුද කොට ඇත.

වර්තමානයේ භාවිත වන බෞද්ධ කොඩිය සම්මත කොට නොතිබුණු සිංහල රජ යුගයේ කරතොට ධම්මාරාම නාහිමියන්ට රජතුමා පිරිනැමූ මාතර වටගෙදර රජමහා විහාරයේ දක්නට ලැබුණු ලියවැලක් අතින් ගත් සිංහයකු සිටින කොඩිය නායක පදවියට සංකේතයක් වශයෙන් පිරිනැමූවක් ලෙස වියතුන් අනුමාන කරයි. නායක පදවියකින් පුද ලද හිමි නමක් ගමට වඩින විට එම ගමෙහි නායකත්වය හෙබවූ මුලාදෑනියන් කොඩි, සිංගාරම් සහිත ව පෙරහරින් ගොස් නාහිමියන් පිළිගෙන ගමට වැඩමවීම එවක භාවිතා වූ සම්ප්‍රදාය විය.

ඒ පළාතෙහි නායක පදවි ලද හිමිවරුන් වෙත තත් පළාත්වල භික්ෂුන් වහන්සේලා ගේ නායකත්වය, තීන්දු තීරණ ගැනීමේ බලය, ශාසනික විනයකර්මවල දී නායකත්වය, ප්‍රාදේශීය සංඝයා වහන්සේලා ගේ අවශ්‍යතාවල දී ස්වකීය සංඝ මූලස්ථාන සහ රජය අතර සම්බන්ධතා පැවැත්වීමේ අතරමැදියා ලෙසින් ක්‍රියා කිරීම වැනි කටයුතු පැවරුණු බව සිතීමට පුළුවන. වර්තමානය වන විට සාමණේර සහතික, උපසම්පදා නිර්දේශ ලිපි, විහාරාධිපති ධුර සහ නායක පදවි සඳහා නිර්දේශ කිරීම්, භික්ෂුන් වහන්සේ විදේශගත වීමේ කටයුතු වැනි කටයුතු සඳහා නිර්දේශ කිරීම ඇතුළු වගකීම් සමුදායක් ප්‍රාදේශීය නායක හිමිවරුන් වෙත පැවරී ඇත.