Print this Article


අශ්වයා පැන යන්නට පෙර ඉස්තාලය වසා දමන්න

අශ්වයා පැන යන්නට පෙර ඉස්තාලය වසා දමන්න

දරුවන් ගේ හෙට දවස සුරක්ෂිත වනවා දැකීම හැම අම්මා, තාත්තා කෙනක් ම හදවතින් ම ප්‍රාර්ථනා කරනවා. එහෙත් අවාසනාවකට එය එලෙසින් ම ඉටු වන්නේ නෑ. වරද දරුවන් ගේ ම නම් නොවේ. බහ තෝරන වයසේ සිට ම දරුවන්ට හොඳ නරක හොඳීන් තේරෙන තුරු ඔවුන් පසු පස නොසිටීම යි.

තමන්ට ම රැස් කර ගන්නට දිවා රෑ වෙහෙසෙන බොහෝ පුද්ගලයන් බලා සිටින්නේ දරුවෙක් හෝ බිල්ලට දී තම අරමුණට යන්නට යි. දරුවා කාගේ ද, මේ ජීවිතයක් නේ ද යන වගක් ඔවුන්ට අදාළ නෑ. දරුවන් රැක ගන්නට නම් මිනිසුන් ගැන ඉගෙන ගන්නට ම ඕනෑ. නරක මිනිසුන්ගෙන් තමන් ගේ දරුවන් ආරක්ෂා කර ගන්නට ඕනෑ. අපේ දරුවෝ බොහෝ දෙනෙක් ජීවිතය විනාශ කර ගන්නේ මත්ද්‍රව්‍ය නිසයි. ඇබ්බැහි වන්නේ එහි බරපතළකම ගැන දන්නේ නැති නිසයි. ඒ නිසා පුංචි කාලයේ සිටම දරුවන්ට මේ ගැන කියලා දීම වැදගත්. දරුවන්ට කියලා දෙන්නට නම්, අම්මා තාත්තා ඒ ගැන මුලින් ම දැනුම්වත් වී සිටී ම වැදගත්. අශ්වයා පැන යන්නට පෙර ඉස්තාලය වසා නොදැමුවොත් නැවත ඒ අශ්වයා අල්ලා ගැනීම නම් පහසු වන්නේ නෑ. අපේ දරුවොත් ඒ වගෙයි. නොමඟ ගියොත් හරි මඟට ගන්න බොහෝ දුක් මහන්සි වන්නට වෙනවා.

ඇත්තට ම මේ මත්ද්‍රව්‍ය කියන්නේ මොනවා ද?

ලෝකයේ මත්ද්‍රව්‍යවලට තිබෙන්නේ ඈත ඉතිහාසයක්. ඉන්දු නිම්න, හොවැංහෝ වගේ ශිෂ්ටාචාර යුගයේ ජීවත් වූ මිනිසුන් සුරා පානය වගේ මත්වන දියර පානය කළ බවට සාක්ෂි තිබෙනවා. අද වන විට එය පානය කිරීමේ ස්වභාවයෙන් පමණක් නොවෙයි, පෙති, කුඩු වශයෙන් ද ආඝ්‍රහණය කිරීමට හා ශරීරයට එන්නත් කර ගැනීමේ ස්වභාවයෙන් ද ව්‍යාප්ත ව පවතිනවා. අබිං, කංසා, හෙරොයින්, මර්ජුවානා හා හසීස් වගේ නම්වලින් හඳුන්වන මත්ද්‍රව්‍ය වගේ ම එක් වරක් පාවිච්චි කළ පමණින් ගලවාගතනොහැකි ලෙස ඇබ්බැහිවන, නම ඇසූ පමණින් සලිත වන මාරක මත්ද්‍රව්‍යයන් ද ලොව පුරා වේගයෙන් සංසරණය වෙමින් පවතිනවා.

යක්ෂයා ගේ හුස්ම ඒ අතරින් ලොව ඉතාම භයානක

මත්ද්‍රව්‍යයක් ලෙස සැලකෙන ‘ස්කොපොලැමින් බුරුන්ඩැන්ගා’ හෙවත්,යක්‍ෂයා ගේ හුස්ම ලෙස හඳුන්වන මත්ද්‍රව්‍යය සුළු ප්‍රමාණයක් ශරීර ගත වීමෙන් සිතීමේ හැකියාව අඩපණ වන අතර මතක ශක්තිය සම්පූර්ණයෙන් ම නැත වී යනවා. වැඩි මාත්‍රාවක් ගත හොත් ජීවිතය පවා නැතිවී යන ප්‍රබල මත් කාරකයක් . මෙම භයානක මත්ද්‍රව්‍ය නිපදවන්නේ ඉක්වදෝරය, කොළොම්බියාව හා වෙනිසියුලාව වගේ රටවල වැවෙන පැළෑටියකින්.

‘කීටමින් ’ නමින් හඳුන්වන අශ්වයින් සන්සුන් කිරීම සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍යයක් නූතනයේ මත්ද්‍රව්‍යයක් ලෙස ද භාවිත කෙරෙනවා. එය කෙටිකාලීන වේදනා නාශකයක් ලෙස භාවිතා වුව ත් එහි ඇබ්බැහිවීමට ලක්වූවකුට මන ඞ කල්පිත රූප

පෙනීම,ශරීරය අප්‍රාණික වීම, ස්වසන පද්ධතිය අඩපණවීම හා සියදිවි නසා ගැනීමට තරම් මානසික ව්‍යාකූලතාවයක් නිර්මාණය කිරීම ද සිදු වෙනවා.

‘ක්‍රිස්ටල් මෙත් ’ කියන මාරාන්තික මත්ද්‍රව්‍යය ද ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍යය ශරීරගත වූ සැණින් හිතේ සතුටක් හා ප්‍රබෝධයක් වැනි හැඟීමක් ඇතිවනවා. එහෙත් වැඩි කල් නොගොස් ශරීරය ම විරූපී වෙලා මොළයට දැඩි හානි ගෙන දෙමින් මරණය ළඟා කර දෙනවා. හෙරොයින් මත් ද්‍රව්‍යට ඇබ්බැහිවූ අයට මූලික අතුරු ආබාධ ලෙස විදුරුමස්

ඉදිමීම, දහඩිය දැමීම, නින්ද නොයෑම, ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වලවීම, මාංශ පේෂී දුර්වලවීම, රුධිර නාලිකාවලට හානි කරවීම හා ශරීර කොටස් කුණුවීම ඇතිවෙනවා.

මෙම මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ ශ්‍රී ලාංකිකයන් ගේ ප්‍රමාණය 50,000 ට අධික බව පර්යේෂණ මගින් හෙළි වී තිබෙනවා. ඒ විතරන් නොවෙයි, ඔවුන් අවුරුදු 18-30 අතර වයස් කාණ්ඩවලට අයත් බව ද ජාතික අන්තරායක ඖෂධ පාලක මණ්ඩලය පෙන්වා දෙනවා.

මීට අමතර ව ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන මත්ද්‍රව්‍යයක් ලෙස අබිං

හා ගංජා හැඳීන්විය හැකියි. පෘතුගීසීන් විසින් මෙරටට හඳුන්වා දුන් අබිං කෑම පසු කාලයේ දී බලපත්‍ර සහිත වෙළඳාමක් ලෙස ද සම්මතවුණා.1829 දී ඉංග්‍රීසි

ආණ්ඩුකාරවරයා විසින් වතුකරයේ ද්‍රවිඩ ජනතාව සඳහා අබිං ගෙන්වීම හා වගා කරවීම ද සිදුකරනු ලැබුවා. මෙම පෙළඹවීම පසුකාලීන ව විශාල සමාජ ගැටලුවක් වුණා. 1867 අංක 19 දරන අබිං සහ කංසා ආඥාපනත පැනවීමට එකල බ්‍රිතාන්‍ය ආණ්ඩුවට සිදුවුණේ මේ නිසයි. නූතන ලෝකයේ බොහෝ රටවලට මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූවන් නිසා විසඳා ගත

නොහැකි ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවී තිබෙනවා. ඒ අතරින් සමාජයේ යහ පැවැත්මට ඇතිවන අහිතකර බලපෑම සුලුපටු නෑ. මතට ඇබ්බැහි වූ අය ත් මේ සමාජයේ ම

එක් කොටසක් වන නිසා ඔවුන් ගේ ක්‍රියාකලාපය සමස්ත සමාජයේ මආර්ථික, සංස්කෘතික, ආගමික, දේශපාලනික හා අධ්‍යාපනික ආදී අංශවලට ප්‍රබල බලපෑමක් සිදුකරනවා.බොහෝ පුද්ගලයන් කෙටි කාලීන සැපය, සොම්නස් බව සඳහා මත් ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවීමට පෙළඹී තිබෙනවා. එහෙත් දිගුකාලීන ව ඇබ්බැහිවීම තුළ ඇත්තේ වේදනාව දුක පමණ යි. එසේ වේදනාව දුක අත්විඳීන විට ඔවුන් ඇබ්බැහිවීමේ කෙළවරට ම ඇවිත්.

හැඟීම් දැනීම්වලට වෙන දෙය

සමහර අයට මත්ද්‍රව්‍ය භාවිත කරන මොහොතේ දී කිසිදු හැඟීමක් ඇති වන්නේ නෑ. එය යම් ආකාරයකට හිරිවැටීමක්. වින්දනයක් නොමැති අවස්ථාවක්. ඇතැම් අය මෙම ස්වභාවයට ද කැමැතියි. වේදනීය අංශයේ අහිතකර ප්‍රතිඵල වශයෙන් පුද්ගල ශාරීරික මානසික හා සාමාජික අංශවලට ද ප්‍රබල ලෙස බලපෑම් සිදුකරනු ලබනවා. නිදිබර ගතිය, ඇස්වලින් කඳුළු ගැලීම, නාඩි වේගය වැඩිවීම, ඔක්කාරය, ඇස් රතුවීම, වේගයෙන් හුස්ම ගැනීම, පේශිවල ඇතිවන වෙනස්කම්, අධිකව ඇතිවන හිසරුදාව, ශරීර ගැස්ම, කෝකේන් හා නිකොටින් භාවිතය නිසා මධ්‍ය ස්නායු පද්ධතියට බලපෑම් කිරීමෙන් ලේ ගමනාගමනය අවහිරතා ඇති කිරීම, හුස්ම ගැනීමේ අපහසුතා ඇති කිරීම ආදිය සිදු වෙනවා.

අබිං භාවිතය නිසා මතක ශක්තිය අඩුවීම, ආහාර රුචිය අඩුවීයාම මෙන් ම මර්ජුවානා මඟින් පුද්ගල සන්තානය කෙරෙහි බලපෑම් ඇතිකරනවා. එපමණක් නොවෙයි, මධ්‍යසාර මඟින් මොළයේ සංයුතිය හා ක්‍රියාකාරිත්වයට අහිතකර බලපෑම් ඇති කරන අතර ම, ගංජා මඟින් ද මොළයේ ශෛල විනාශ කිරීම සිදු කරනවා.

නැති දේ ඇති ලෙස දැකීම

මානසික වශයෙන් ද මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූවන්ට මුහුණ දෙන්නට සිදුවන අන්තරායන් බොහෝ යි. බොහෝවිට මතට ඇබ්බැහිවූවන් පවසන්නේ භාවිතය මඟින් තමන්ට මානසික වින්දනයක්, නිදහස් බවක් මෙන් ම සහනයක් ද ලැබෙන බැවින් එය සිදුකරන බවයි. එය මිත්‍යාවක්. බොහෝ පුද්ගලයන් මතට ඇබ්බැහිවී සිටින්නේ මායා හා භ්‍රාන්ති යන ලක්‍ෂණයන් නිසයි. මායාවන් කියන්නේ පවතින දේ වෙනස් වී පෙනෙන්නට පටන් ගැනීම යි. භ්‍රාන්ති කියන්නේ ලෝකයේ නැති දේ, පවතින දේ ලෙස පෙනීමට පටන් ගැනීම යි. එබැවින් මතට ඇබ්බැහිවූ අය සිහින ලෝකවල සැරිසරමින් භ්‍රාන්ති හා මායාවන් මත සිටිමින් කෙටි කාලීන සුවයකට පුරුදු වී සිටිනවා.

එය මානසික රැවටීමක් පමණයි. එ මඟින් පුද්ගලයාට මානසික ව සිදුවන හානිය අතිවිශාල යි. මතකය හීනවීම, අවධානය පිළිබඳ ගැටලු ඇතිවීම, බුද්ධිය හා පෞරුෂත්වය පිළිබඳ ගැටලු,

ප්‍රජනන ගැටලු ඇතිවීම, තීරණ ගැනීමේ ගැටලු, නිර්මාණ චින්තනය පිළිබඳ ගැටලු, ආත්ම විශ්වාසය පිළිබඳ ගැටලු ආදිය ඒ අතරින් ප්‍රධාන වෙනවා. මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූවන් නිසා සාමාජික වශයෙන් සිදුවන බලපෑම ද අතිවිශාල යි.

පවුලේ සමගිය බිඳ වැටීම හා පවුල් ගැටුම් ඇතිවීම, සියදිවි නසා ගැනීම ,අධික ණය බර, දික්කසාදය, ලිංගික බෙලහීනතාවය, වෘත්තීය ගැටලු ඇතිවීම, සමාජයෙන් කොන්වීම, හුදකලාවීම, දෛනික ජීවන රටාව අක්‍රමවත්වීම, අඹුදරුවන්ගෙන් ඈත්වීම ආදී ගැටලු රාශියක් ඇතිවීමට හේතු වෙනවා.

මාරයා ගේ වැඩක්

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මදයට හා ප්‍රමාදයට හේතුවන යමක් වේ නම්, එය මත්ද්‍රව්‍ය ගණයට ගැනෙන බවයි. පංචසීල ප්‍රතිපදාවේ පස් වැනි ශික්‍ෂා පදයෙන් විස්තර කරන්නේ ද එයයි. ‘මජ්ජ’ යනු මත් වීමයි. උමතු වීමයි. ප්‍රකෘති සිහියෙන් තොර ව හොඳ - නරක, පින් - පව් තෝරා බේරා ගැනීමට නොහැකි ව උම්මත්තකයකු සේ ක්‍රියා කිරීම යි. සුරා මදයට ඇබ්බැහි වූවකු උවමනාවෙන් ම සිත උමතු භාවයට පත් කර ගන්නා අතර, බොහෝ පාපී සිතිවිලි ඇතිවී සාංසාරික ගමන දුක් සහිත තැනක් බවට පත් කර ගන්නා බව බුදුසමයේ පෙන්වා දෙනවා.

පමාද’ කියන්නේ ප්‍රමාදය යි. කුසලය හෙවත් සසර දුකින් මිඳීමේ මඟ ප්‍රමාද කරමින් දස අකුසලයන්ට පුද්ගලයා යොමු කරවන්නේ ප්‍රමාදය නිස යි. ‘පමාදො මච්චුනො පදං’ ප්‍රමාදය මාරයා ගේ කාර්යයක් බව බුදුසමයේ ඉගැන්වෙනවා. ඒ අනුව ප්‍රකෘතිගත සිත මත්වීමට හා ප්‍රමාද කරවීමට සමත් සුරාපානය නො කළ යුතු බව බුදුසමය අවධාරණය කරනවා.

මේ දොරටුවෙන් ගියොත් විනාශය ම යි ගිහි විනය ලෙස ප්‍රකට සිඟාලෝවාද සූත්‍රයේ සුරාව හෙවත් මත්ද්‍රව්‍ය සම්පත් විනාශ වන ප්‍රධාන දොරටුවක් ලෙස දක්වා තිබෙනවා. ඒ විතරන් නොවෙයි, එහි මතට ඇබ්බැහි වූවන්ට අත්විඳීන්නට වන ආදීනව පහක් ද පෙන්වා දී තිබෙනවා. එනම්, ධනය විනාශවීම, අරගලවලට පැටලීම, අපකීර්තියට පත්වීම, රෝගියකු වීම හා නුවණ දුර්වල වීම යි.

ඊර්ෂ්‍යා කළ දෙවිවරුන්ට සිදු වුණ දෙය

සුරා පානය සම්බන්ධයෙන් ත්‍රිපිටක පෙළ දහමේ මෙන් ම අට්ඨකථාවල ද තොරතුරු සුලභ යි. සංයුත්ත නිකාය අට්ඨකථාවට අනුව මඝ මානවක ඇතුළු යහළුවන් තිස්තුන් දෙනා පින්කම් කොට මරණින් පසු තාවතිංස දිව්‍ය ලෝකයේ ඉපදුණා. එවිට එහි සිටි අල්පේශාක්‍ය දෙවිවරු ඔවුන් සුරාවෙන් මත්කොට තාවතිංසයෙන් නෙරපා දැමීම සඳහා සුරා පානයක් සැකසූවා.

ඒ බව දැනගත් ශක්‍ර දේවේන්‍ද්‍රයා යහළු දෙවිවරු තිස් දෙදෙනාට ඒ බව පවසා සුරාව සැකසූ අල්පේශාක්‍ය දෙවිවරුන්ට ම පොවා සිනේරු පර්වතයෙන් පහළට ඇද දැමූවා. පසුව ඔවුන් අසුරයන් වූ බවත්, සුරා පානය නොකළ ශක්‍ර දේවේන්‍ද්‍රයා ඇතුළු තිස් තුන් දෙදෙනා සුරයන් වී තෙත්තිංස හෙවත් තාවතිංස දිව්‍ය ලෝකය නිර්මාණය වූ බවත් එහි වැඩිදුරටත් සඳහන් වෙනවා.

නුවරක් ම වැනසෙයි

මත්ද්‍රව්‍යයන් හි මූලාරම්භය ගැන කියැවෙන ජාතක දේශනාවක් ජාතක පාලියේ දක්නට ලැබෙනවා.

ඒ 504 වැනි ජාතක කථාව වූ කුම්භ ජාතකයේ යි. විශාඛා මහෝපාසිකාව ගේ යෙහෙළියන් පිරිසක් බුදුන් වහන්සේ ඉදිරියේ දී සුරාවෙන් මත් වී අශෝභන ලෙස හැසිරුණ අවස්ථාවේ දී යි මෙම ජාතක කථාව දේශනා කොට තිබෙන්නේ. අතීත කථාවට අනුව, පෙර කසී රට සුර නම් වැද්දෙක් සිටියා. ඔහු වනයේ දඩයම් පිණිස යන විට ගසක් මුල සිහිසුන් ව වැටී සිටි ළිහිණි, කොබෙයි ආදී පක්‍ෂීන් රාශියක් දුටුවා. මැරුණ සේ සිහිසුන් ව සිටි එම පක්‍ෂීන් මඳ වෙලාවකින් සිහිය ලැබ පියාඹා යන අයුරු වැද්දා දුටුවා. එසේ වන්නට හේතු සොයන්නට වුණා. එක් ගස් බෙනයක ඇති පානයක් නිසා එසේ වන බව දැන ඔහු ද එයින් මඳක් පානය කළා. වැද්දාට ද ආශ්වාදජනක මත් ගතියක් දැනෙන්නට වුණා. අවට වටපිටාව සෝදිසි කරනවිට ඔහුට පෙනෙන්නට වූයේ ගස් බෙනය මතට වැටුණු සතුන් කා දමන ලද ධාන්‍ය වර්ග, පලතුරු හා සත්ව කොටස් කාලයක් ජලයේ පල්වී පැසීමෙන් මෙසේ මත් වූ පානයක් නිර්මාණය වී ඇති බවයි.

වැද්දා සුරාව බඳුනකට පුරවා ගෙන ගොස් බරණැස් රජුට ද පිළිගැන්වූ වා. රජු ද ඒ ආකර්ෂණීය පානයට ලොල් වී රට වැසියන්ට ද පුරුදු කළා. ටික කලකින් මුළු බරණැස් නුවර ම සුරාව නිසා විනාශ වුණා. සාකේත නුවරත් විනාශ වුණා.

අවසානයේ දී සැවැත්නුවර සබ්බමිත්ත කියන රජු මධුපානෝත්සවයක් සූදානම් කරනවිට ශක්‍ර දේවේන්‍ද්‍රයා ගේ මැදිහත්වීමෙන් එය නතර වුණා. සුරාවෙහි ලොල් වී තමන් ගේ ම පුතු මරණයට පත් කරයි

සුරාවට ලොල් වී සිටි ඡත්තපාණි නම් කපුවා තම පුතු මරා මාංශ අනුභව කළ පුවතක් 219 වැනි ධර්මද්වජ ජාතකයේ සඳහන් වෙනවා. 382 වැනි තුණ්ඩිල ජාතකයේ සඳහන් වන්නේ එක්තරා මැහැල්ලක් සුරාවෙන් මත් වී පුත්‍ර ප්‍රේමයෙන් හදා වඩා ගත් ඌරු පැටවකු සුරා සොඬුන්ට මස් පිණිස විකුණූ පුවතක්.

එසේ ම මත්ද්‍රව්‍ය භාවිතයෙන් මත් වූ මිනිසා තිරිසනකු ගේ ස්වභාවයට පත්වන බව 81 වැනි සුරාපාන ජාතකයේ දැක්වෙනවා.එම ජාතක කථාවට අනුව තාපසවරු පන්සියයක් හිමාලයේ සිට බරණැස් නුවරට පැමිණියා. ඒ ලුණු

ඇඹුල් සපයා ගැනීම සඳහා යි. බරණැස් රජු තාපසවරුන්ට නවාතැන් ගැනීමට රාජ

උද්‍යානය පිළියෙල කරවූ වා. නගරයේ එදින පැවති මධුපානෝත්සවයක තිබූ සුරාව

උද්‍යානයේ සිටි තාපසවරුන්ට ද පිළිගැන්වුණා. තාපසවරු සුරා පානය කොට සිහිවිකල් ව නොයෙක් විකාර බස් කියන්නට වුණා. කරන්නට වුණා. පසුව පියවි සිහිය ලැබ තමන් තවුස් දිවියට අනර්ථයක් කර ගත්තේ යැයි තැවී හිමාලයට ගොස් ආචාර්යවරයා සමීපයේ මෙසේ කියා සිටියා.

"අපි සුරාව පානය කළෙමු. ගායනා කළෙමු. නැටුවෙමු. හැඬුවෙමු. සිහිවිකල් කරන්නා වූ මත්ද්‍රව්‍ය පානය කොට වඳුරන් බවට පත් නොවුණා පමණයි." මෙම ප්‍රකාශයෙන් තහවුරු වන්නේ මත්ද්‍රව්‍ය පුද්ගලයා ගේ ප්‍රකෘතිය කොතරම් දුරට විකෘති ස්වභාවයකට පත් කරන්නේ ද යන බවයි.

නිරයට පාරක්

එසේ ම ජාතක පාලියේ සඳහන් 533 වැනි නිමි ජාතකයට අනුව මත්ද්‍රව්‍ය භාවිතය අපායගාමී අකුසලයක්. වරක් නිරයේ සංචාරය කරන නිමි රජතුමා මත්ද්‍රව්‍ය භාවිත කරමින් සතුන් ගේ මස් අනුභව කළවුන් ලෝ කුඹු නිරයේ දුක් විඳීන ආකාරය දුටු බව නිමි ජාතකයේ සඳහන් වනවා. මෙම සියලු තොරතුරු මඟින් සනාථ වන්නේ බුදුසමය මත්ද්‍රව්‍ය භාවිතය මඟින් පුද්ගල අධ්‍යාත්මයේ පරිහානිය හා භෞතික කයේ අනාරක්‍ෂිත බව ඇති වන බව තහවුරු කරන බවයි. එසේ ම දිගු සසර ගමනේ බියකරු ප්‍රතිඵලවලට මුහුණ දෙන්නට එය සාධකයක් වන බවයි.

දත්ත භයානක යි

අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ දත්තවලට අනුව වර්තමානය වන විට මෙම මාරාන්තික සමාජ පිළිලයට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවයක් පවතින්නේ අවුරුදු 21 ට අඩු දරුවන් වීම බරපතල සමාජ ගැටලුවක්.

නගරයේ සුපිරි පන්තියේ නිවෙස්වල දරුවන් පමණක් නොව ඈත පිටිසර ගම්දනව්වල දුප්පත් දරුවන් ද ශීඝ්‍රයෙන් මේ පිළිලයට ගොදුරු වෙමින් පවතිනවා. හෙරොයින්, ගංජා, කංසා, මදන මෝදක පමණක් නොව මාවා ,බීඩා, පන්පරාග්, බාබුල්, ස්ප්‍රේකෝලා, ට්‍රැමඩොල්, ක්‍රිස්මල්, කෙටමින් හෙවත් කැට් ,එල්එස්ඩී හෙවත් ස්ටෑම්ප්, හසීස්, කේරළ ගංජා, කොකේන්, එක්ස්පසි හෙවත් එම්ඩීඑම්ඒ ආදී මත්ද්‍රව්‍ය වර්ග විශාල ප්‍රමාණයක් මේ වන විට ගම නගරය ආක්‍රමණය කරමින් සිටිනවා.

බොහෝවිට එහි වෙළඳපොළ පවතින්නේ පාසල් සමීපයේ යි. ඒ වර්තමාන තරුණ පිරිස් ඉලක්කගත කිරීම ඔවුන් ගේ වෙළෙඳ උපක්‍රමය වන නිස යි. එය බරපතළ සමාජ ඛේදවාචකයක්.

ජීවනාලියට ප්‍රාණය දෙන්නට නම්

රටක ජීවනාලිය ඒ රටේ තාරුණ්‍ය ය යි. ඔවුන් මේ ව්‍යසනයට ගොදුරුවීමෙන් මතක ශක්තිය හීනවීම, නිසි තීරණ ගැනීමට නොහැකියාව, සංවේදීතාවයෙන් තොරවීම, ආක්‍රමණශීලී ස්වභාවයක් ගැනීම,තදින් කලබලවීම,නොරිස්සුම් ස්වභාවයට

පත්වීම, නින්ද නොයෑම,ඉලක්කගත අරමුණුවල හිත තබා ගැනීමට නොහැකිවීම, ඉච්ඡාභංගත්වයට පත්වීම, මානසික පීඩනය, හුදකලා වීමට ඇති කැමැත්ත වැනි කායික මානසික ගැටලු රැසකට ලක් වෙනවා.

මෙම සමාජ ව්‍යසනය නිවාරණය කිරීම සම්බන්ධ ව වත්මන් ජනාධිපති තුමා ගෙන යන වැඩපිළිවෙළට සියල්ලන් ගේ සහයෝගය ලැබෙන්නේ නම් අපේ අනාගත පරපුර සිහි කල්පනාවෙන් යුතු පිරිසක් බවට පත් කිරීම අපහසු වන්නේ නෑ.

එසේ ම මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව පාසල් අධ්‍යාපනයේ සිටම තරුණ මනසට කා වැද්දීම ද කළ යුතු වනවා. ආගමික ස්ථාන තුළින් තරුණ මනස සුවපත් කරන වැඩසටහන් ක්‍රියාවට නැංවීම ද අත්‍යවශ්‍ය යි. සමාජය වෙළා පැතිරී ඇති මේ මාරාන්තික පිළිලය විනාශ වී යන්නේ එවිටයි.