Print this Article


සමාජයට යහපත් දෙයක් ලබා දී තමන් ගේ යුතුකම ඉටු කරන්න

සමාජයට යහපත් දෙයක් ලබා දී තමන් ගේ යුතුකම ඉටු කරන්න

සසර දුක නිමාකොට විමුක්තිය සාක්‍ෂාත් කිරීම බුදුසමයේ මූලික ඉගැන්වීම යි. එය එසේ වුව ද සසර දුකින් නිදහස් වීම නම් ඉතා කඩිනමින් කළ හැකි දෙයක් නොවේ. ඒ සඳහා දීර්ඝකාලීන පුහුණුවක් අවශ්‍ය වේ. මේ නිසා සසර දුකින් නිදහස් වීමට අමතර ව සසර සැපවත් කර ගන්නා ආකාරය ද බුදුදහමින් පෙන්වා දෙයි.

සංසාරික ජීවිතය මෙලොව හා පරලොව වශයෙන් සැපවත් කර ගැනීමට ආධාර කර ගත හැකි පුහුණු කළ යුතු ආචාර ධර්ම පද්ධතියක් බුද්ධ දේශනාවල ඇතුළත් ව තිබේ. ඒවා ප්‍රගුණ කරන්නකුට මෙලොව මෙන් ම, පරලොව ජීවිතයත් අර්ථවත් හා සුන්දර එකක් බවට පත්කර ගත හැකි ය. සිඟලෝවාද සූත්‍රයෙහි ඇතුළත් සතර සංග්‍රහ වස්තු ඒ සඳහා අනුගමනය කළ හැකි සාරධර්ම පද්ධතියකි. පුද්ගලයා ගේ මෙන් ම සමාජයේත් යහපත හා දියුණුව ඇතිකර ගැනීම ඒවා ප්‍රගුණ කිරීමේ මූලික අරමුණ වේ. දානය හෙවත් පරිත්‍යාගය, ප්‍රිය වචනය, අර්ථ චර්යාව හෙවත් සමාජයට මඟ පෙන්වීම හෝ සමාජයට හිතකර කාර්යයක නිරතවීම, සමානාත්මතාව හෙවත් සැමට එක හා සමාන ව සැලකීම යන සිව්වැදෑරුම් ප්‍රතිපත්ති පුද්ගලයා ගේ මෙන් ම සමාජයේත් දියුණුව හා සංවර්ධනය පිණිස හේතු වන, සමාජය ඒකාබද්ධ කෙරෙන ප්‍රතිපත්ති සමූහයකි.

මෙම සිව්වැදෑරුම් ප්‍රතිපත්ති සමාජය නැමති රෝදයෙහි කඩ ඇණය ලෙස නම් කර තිබේ. රථයකට සවිකර ඇති රෝදය එයින් ඉවත්ව යා නොදී ඒ හා බද්ධ ව පැවතීම සඳහා කඩ ඇණය අවශ්‍ය වේ. එය නොමැති විට රෝදය ඉදිරියට නොයයි. නැතහොත් රථයෙන් ඉවත් ව ගැලවී යයි. එවිට රථයේ ගමන නතරවී රථය ද, රථයේ ගමන් කරන්නා ද අනතුරට භාජනය වෙයි. රථයක රෝදය මෙන් සමාජය ඉදිරියට ගමන් කරවන බලවේගය සතර සංග්‍රහ වස්තුවයි. සමාජයක ඉදිරි පැවැත්ම තීරණය වන්නේ සතර සංග්‍රහවස්තුවෙන් ඔවුනොවුන් සංග්‍රහ කෙරෙන තාක් පමණි. සතර සංග්‍රහ වස්තු යටතේ දැක්වෙන කරුණු බොහෝ දෙනකුට අමුතුවෙන් පැහැදිලි කළ යුතු දෑ නොවේ. සැමදෙනා විසින් ම අනුගමනය කළ යුතු මෙම ප්‍රතිපත්ති හතර අතුරෙන් තුන්වන සංග්‍රහ වස්තුව වන අර්ථචර්යාවෙන් අදහස් කෙරෙන්නේ කුමක්ද යන්න පැහැදිලි කිරීම මෙම ලිපියේ අරමුණ යි.

සිව් සඟරාවත් අතුරින් අර්ථචරියා යනුවෙන් අදහස් වන්නේ අන්‍යයන් ගේ යහපත වෙනුවෙන් ක්‍රියත්මක වීමයි. නැතහොත් සමාජයට හිත පිණිස පවතින ඵලදායී ක්‍රියාවක නිරත වීමයි. එය විවිධ අයුරින් සිදු කළ හැකි ය. සතර සංග්‍රහවස්තු යටතේ එන දානයෙන් අදහස් වන්නේ භෞතික වශයෙන් යමක් බෙදා ගැනීම යි. එහෙත් තුන්වන සංග්‍රහ වස්තුවෙන් අදහස් කෙරෙන්නේ බුද්ධිමය හා චර්යාමය වශයෙන් කෙරෙන දායකත්වය යි. මේ යටතේ කෙනකුට තමා සතු දැනුම හා අවබෝධය අන්‍යයන්ට ලබා දීමෙන් ඔවුන් දැනුවත් කළ හැකි ය. ඒ යටතේ මෙසේ කළ යුතු ය, මෙසේ නොකළ යුතු ය ආදි වශයෙන් කෙනකු ගේ යහපත උදෙසා කෙරෙන මඟ පෙන්වීම් අර්ථ චර්යාවෙන් අපේක්ෂා කෙරේ.

එසේ ම සමාජයට හිතකර කාර්යයක නිරත වීමෙන් තවත් අයුරකින් අර්ථචර්යාවෙන් සංග්‍රහ කළ හැකි ය. නව නිපැයුම් කරන්නකුට තම නිපැයුම් සමාජයට හඳුන්වා දීමෙන් සමාජ ජීවිතය පහසු එකක් බවට පත්කළ හැකි ය. එසේත් නොමැති නම් ලෝකයට හිත පිණිස පවතින කවර හෝ ඵලදායි ක්‍රියාවක නිරත වෙමින් ලෝකයට සේවයක් සැලසිය හැකි ය. සමාජ සුභ සාධනය උදෙසා ස්වේච්ඡාවෙන් ක්‍රියා කිරීමත් අර්ථචර්යාවට අයත් වූවකි. ධනය වෙනුවට තම ශ්‍රමය අන්‍යයන් ගේ යහපත උදෙසා කැප කළ හැකි ය. ධනය ඇති අයකුට එය වැය කොට සමාජයට සේවයක් වන පරිදි ක්‍රියා කළ හැකි ය. පොදු ජනයා ගේ සුභ සිද්ධිය උදෙසා කළ හැකි එබඳු කටයුතු බොහෝ ය.

සිව් සඟරාවට අයත් අර්ථචර්යාවෙන් අදහස් වන්නේ අන්‍යයන් ගේ පෙළඹවීමකින් තොරව සමාජ සේවය සඳහා කැපවීම ය. එය සදාචාර ප්‍රතිපත්තියක් වශයෙන් අනුගමනය කරනු මිස වෙනත් පටු පරමාර්ථවලින් කිළිටි නොවිය යුතු ය. මෙම සදාචාර ප්‍රතිපත්තිය අනුගමනය කිරීමෙන් බලාපොරොත්තු වන්නේ පුද්ගලයා ගේ පටු ආත්මාර්ථකාමී පුහුදුන් ගති පාලනය කිරීම යි. ඒ වෙනුවට කරුණාව හා මෛත්‍රිය ප්‍රගුණ කරවීම යි.

අන්‍යයන් ගේ යහපත උදෙසා වන සමාජ සේවය ක්‍රියාත්මක විය යුත්තේ එම යහපත් අරමුණු පෙරදැරි කර ගෙන ය.

මව්පියන් ගේ මෙන් ම ගුරුවරයා ගේ අර්ථචර්යාව නම් දරුවන්ට යහමඟ පෙන්වීම මෙන් ම දැනුම ලබා දීමයි. භික්ෂුව ගේ අර්ථචර්යාව වන්නේ ශ්‍රද්ධාව නැති තැනැත්තා ශ්‍රද්ධාවෙහි පිහිටුවීමත්, දුශ්ශීල පුද්ගලයා ශීලයෙහි පිහිටුවීමත්, මසුරු පුද්ගලයා ත්‍යාගයෙහි පිහිටුවීමත් ප්‍රඥාව නොමැති පුද්ගලයාට ප්‍රඥා සම්පත්තියෙහි පිහිටුවීමත් ය. පාලකයා ගේ අර්ථචර්යාව වන්නේ පුරවැසියා ගේ යහපත වෙනුවෙන් කටයුතු සම්පාදනය කිරීමයි. ආයතන ප්‍රධානියා ගේ අර්ථචර්යාව වන්නේ ආයතනයේ සේවය කරන පිරිසට හා ආයතනයෙන් සේවය ලබා ගන්නා පිරිස ගේ සුභසිද්ධිය උදෙසා නිවැරැදි අයුරින් ආයතනය පවත්වා ගෙන යාම යි. වෛද්‍යවරයා ගේ අර්ථචර්යාව වන්නේ රෝගියා සුවපත් කිරීම සඳහා කටයුතු කිරීම යි. ඒ සඳහා රෝගියා දැනුවත් කිරීම යි. මේ අනුව සැම අයකුට ම සමාජය වෙනුවෙන් ඉටු කළ යුතු යහපත් කාර්ය භාරයක් පවතී. එය මැනවින් ඉටු කිරීම අර්ථචර්යාව ලෙස අර්ථකථනය කළ හැකි ය.

සැම අයෙක් ම තමා ගේ පැවැත්ම මූලික කරගෙන වුව සමාජය වෙනුවෙන් සිදු කරන්නේ අර්ථචර්යාවකි. ගුරුවරයකුට ඔහු ගේ හෝ ඇය ගේ සේවය වෙනුවෙන් වැටුපක් ගෙවනු ලැබේ. වැටුප් ලබා ගැනීමේ අරමුණින් වුව ගුරුවරයා සිදු කරන්නේ ශිෂ්‍යයා ගේ දැනුම හා කුසලතා වර්ධනය කිරීම යි. එමඟින් ශිෂ්‍යාට යහපතක් සිදු වේ. ඒ අනුව ගුරුවරයා තම වගකීම හා සේවය නොපිරිහෙලා ඉටු කරන්නේ නම්, ඔහු ගේ හෝ ඇය ගේ සමාජ වගකීම සම්පූර්ණ වේ. උපදේශකයා ගේ කාර්යය වන්නේ ඔහු අභියසට එන විවිධ ගැටලු සහිත පුද්ගලයන්ට එම ගැටලු විසඳා ගැනීමට අවශ්‍ය නිවැරැදි උපදෙස් හා මඟ පෙන්වීම යි. සමාජයේ පැවැත්ම සඳහා ඔවුනොවුන් ගේ උපකාරය හා මඟ පෙන්වීම අත්‍යවශ්‍ය වේ. එය විවිධ අයුරින් සිදු කළ හැකි ය. අර්ථචර්යාව යටතේ ජනමාධ්‍ය වෙත පැවරෙන වගකීම විශාල ය. විවිධ දෑ සම්බන්ධයෙන් සමාජය දැනුවත් කරන අතර ම ජනතාවට හිතකර වැඩසටහන් ඉදිරිපත් කිරීමෙන් අර්ථ චර්යාවෙන් සංග්‍රහ කිරීම සිදු වේ. එහෙත් එය එසේ ම සිදු නොවන බව කරුණු සහිත ව අවබෝධ කර ගත හැකි වේ. විනෝදය සැපයීම පමණක් ම කේන්ද්‍රීය අරමුණ කර ගත් වැඩසටහන් මඟින් සමාජයට ඵලදායි යමක් වේ ද යන්න සැක සහිත ය. ඇතැම් විටෙක ආගමික හා වාර්ගික ගැටුම් ඇති කෙරන ප්‍රකාශන හා වැඩසටහන් සමාජ සාමයට බාධාවක් වේ. නව දැනුම සැපයීම හා සමාජයට නිවැරැදි මඟ පෙන්වීමක් ලබාදීම ජනමාධ්‍ය වෙත පැවරෙන වගකීම වේ. එය මැනවින් ඉටු කිරීම ජනමාධ්‍ය හා බැඳුණු අර්ථචර්යාව සම්පූර්ණ කිරීමක් වේ. පාලකයා ගේ අර්ථචර්යාව විය යුත්තේ පුරවැසියන් ගේ සුභසිද්ධිය උදෙසා අර්ථවත් සැලසුම් හා යෝජනා ක්‍රියාත්මක කිරීම යි. පුරවැසියා ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද ආරක්ෂා කර දීමත් පාලකයා ගේ අර්ථ චර්යාවට අයත් කාර්යයකි. රාජ්‍ය දේපළ අපහරණය මෙන් ම අවභාවිතයෙන් තොර ව ඒ සියල්ල පුරවැසියා ගේ අභිවෘද්ධිය වෙනුවෙන් යොමු කිරීම පාලකයා ගේ අර්ථචර්යාවට අයත් තවත් විශේෂ වගකීමකි. පාලකයකු රට වැසියාට කළ යුතු සංග්‍රහය නම්, එම රට තුළ ආර්ථික, සාමාජික, සංස්කෘතික වශයෙන් පුනර්ජීවනයක් ඇති කිරීම යි. කලා කරුවා ගේ අර්ථ චර්යාව නම්, ජනතාව ගේ දැනුම හා අකල්ප දියුණු වන ආකාරයේ නිර්මාණ ඉදිරිපත් කිරීම යි. මේ අනුව සතර සංග්‍රහ වස්තු යටතේ එන අර්ථචර්යාව ඒ ඒ පුද්ගලයා සතු භූමිකාව හා වගකීම අනුව වෙනස් වේ. අවසාන වශයෙන් අර්ථ චර්යාවෙන් අර්ථවත් වන්නේ සමාජයට යහපත පිණිස පවතින කිසියම් කාර්යයක නිරත වීමයි. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. සැම අයෙක් ම තමන්ට අදාළ භූමිකාව යටතේ ලෝකයට හා සමාජයට යහපත පිණිස පවතින ඵලදායි ක්‍රියාවක නිරත වීම සමාජයට කෙරෙන උසස් ම සංග්‍රහය වේ. ඔවුනොවුන් එකිනෙකා සමාජය වෙනුවෙන් කැපවී සමාජ සේවයේ නිරත වීමෙන් සමාජයක ඉදිරි පැවැත්ම තීරණය වේ.