Print this Article


යහපත් සත හට සෙත දෙන සමන් දෙව් මහ රද

යහපත් සතහට සෙත දෙන සුමන සමන් දෙව් මහ රද

හෙළ බොදු දනන් ගේ වන්දනීයත්වයටත්, පූජනීයත්වයටත් පාත්‍ර වන දෙවි දේවතාවුන් වහන්සේ අතර සුමන සමන් දෙවිඳුන් සුවිශේෂී ය.

බුදුරජාණන් වහන්සේ වෙතින් ධර්මය ශ්‍රවණය කොට සෝවාන් බව ලැබූ, මහියංගන චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකිරීමට මුල් වූ, තථාගතයන් වහන්සේට ශ්‍රීපාද ලාංඡනය පිහිටුවන ලෙස ආරාධනා කළ සුමන සමන් දෙවිඳුන් ගේ පිහිට ආරක්ෂාව ප්‍රාර්ථනා කිරීම ඈත අතීතයේ සිට ම සිංහල බෞද්ධයන් ගේ සිරිතකි. විශේෂ ගමනක් පිටත්වීමේ දී විශේෂයෙන් සබරගමු පළාත් වැසියෝ තම දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කරන්නේ ‘‘සමන් දෙවියන් ගේ ම පිහිටයි” යනුවෙනි. නින්දට යෑමේ දී ශ්‍රීපාදස්ථානය පිහිටි දිශාවට හිස තබා නිදා ගැනීමටත්, විශේෂයෙන් ම කුඩා කාලයේ සිට ම දරුවන්ට කට පරිස්සම් කර ගැනීමටත් හුරු කරවති.

පළමුවරට ශ්‍රීපාද වන්දනාවේ යන කෝඩුකාරයින්ට ද එම උපදෙස ලබා දීමට වැඩිහිටියන් අමතක නොකරන්නේ දේව උදහසට ලක්වීමට ඉඩ ඇතැයි සිතමිනි.

මැණික්වලට ප්‍රසිද්ධ රුවන් පුරයේ ජනතාව පතල් කර්මාන්තය අරඹන්නට පෙර සමන් දෙවියන්ට බාරහාර වෙති. ඒ අතීතයේ එසේ බාරහාර වීමෙන් බලාපොරොත්තු ඉටු වූ බවට පවතින විශ්වාසය නිසා ය. සබරගමු මහා සමන් දේවාලය නිර්මාණය වූයේ ද සමන් දෙවියන්ට බාර වීමෙන් පසු බොහෝ මැණික් ලැබුණු නිසා යැයි පැවසේ.

දඹදෙණි යුගයේ රාජ්‍ය කරවූ දෙවැනි පරාක්‍රමබාහු රජතුමා ගේ මහා භාණ්ඩාගාරය භාරව කටයුතු කළ අමැතිවරයා රජු ගේ නියමයෙන් රත්නපුරයට පැමිණ පතල් හාරා භාණ්ඩාගාරයට මැණික් සැපයූ බවත්, ඒවා හමුවීමට සමන් දෙවියන්ට බාර වුණ බවත්, තම අභිමතයන් ඉටු වූ බැවින් සබරගමු මහ සමන් දේවාලය කර වූ බවත් ජනප්‍රවාදයේ එයි.

දරුවන් නොමැති කාන්තාවෝ ද සමන් දෙවියන්ට බාරහාරවී දරු සම්පත් අපේක්ෂා කරති. ශාන්ත ගතිවලින් යුක්ත, ධාර්මික දෙවිකෙනකු වන සමන් දෙවියන් බොරු කීම, රැවටීම වැනි වාචික වැරැදිවලට පවා දැඩි දඩුවම් පැමිණවීමට පසුබට නොවන බවට විශ්වාසයක් ද පවතියි. ගැමි ජනයා අධික භක්තියකින් සහ විශ්වාසයකින් දෙවියන් අදහන්නේ කිසියම් ශ්‍රද්ධාව මුසු වූ බියකිනි. ඔවුහු වැරැද්දක් නොවීමට නිතර ම වගබලා ගනිති.

සුමන සමන් දෙවියන් බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රීපාද ලාංඡනය පිහිටි සමනොල ගිරි හිස වාසස්ථානය කර ගනිමින් දිවි ගෙවන බැවින් සමන්තකූටය, සුමනකූඨය වැනි පර්යාය නම් ද සමනල කන්දට ව්‍යවහාර වේ.

සමන් දෙවියන් ගේ ප්‍රධානම දෙවොල රත්නපුරයේ මහා සමන් දේවාලය යි. දෙවැනියට ප්‍රධානත්වය ගන්නේ මහියංගනයේ සමන් දේවාලය යි. බුදුරජාණන් වහන්සේ ගේ පළමු ලංකාගමනයේ දී සමන් දෙවියන් මහියංගනයට ගිය බව පැවසේ. තමන් ගේ වාසස්ථානය සමනල පර්වතය වු ව ත් බුදුරජාණන් වහන්සේ ගේ කේශ ධාතුන් වහන්සේ තැන්පත් කර පුද පූජා පැවැත්වූ හෙයින් මහියංගනයෙහි වාසය කර ඇත.

තෙවැනි වර බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කළ අවස්ථාවේ දී තමන් වහන්සේ ගේ වාසභවනට ද වැඩම කරවන ලෙස ආරාධනා කර තිබේ. එම ගමනේ දී ද පළමු අවස්ථාවේ දී මෙන් තමන්ට වන්දනා කිරීමට ශ්‍රීපාද ලාංඡනය පිහිටුවා දෙන ලෙස අයැද තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙසින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පන්සියයක් මහ රහතන් වහන්සේ සමඟ වැඩම කර දිව්‍ය-මනුෂ්‍ය ප්‍රජාව ගේ යහපත පිණිස කරුණාවෙන් වම් සිරිපා සලකුණ සුමනකූටය මුදුණේ මැණික් පාෂාණයක් මත තැබූ බව පැවසේ. මහාවංසය සහ සමන්තකූට වණ්ණනාව මෙම පුවත් වාර්තා කරයි. එදින සිට සුමන සමන් දෙවිඳුන් උතුම් ශ්‍රීපාද ලාංඡනය ආරක්ෂා කරමින්, පුදපූජා පවත්වමින් තමන් ගේ ප්‍රධාන වාසස්ථානය බවට සමන්ත කූටය පත්කර ගනියි. මෙවැනි හේතු නිසා සමන් දෙවියන් ස්වදේශීය බෞද්ධ දෙවි කෙනකු වශයෙන් පිළිගැනේ. ප්‍රාදේශීය දෙවියකු ලෙස නොව රටේ සැම ස්ථානයක ම වෙසෙන බෞද්ධයෝ සුමන සමන් දෙවියන් කෙරේ විශ්වාසය තබමින් පුද පූජා පැවැත්වීමට ත්, බාරහාර වීමට ත් පුරුදු වී සිටිති.

හෙළදිව මනුෂ්‍යයකු ලෙස උපත ලබා ප්‍රාදේශීය රාජ්‍යත්වයක් හිමි කර ගෙන සිටි අයෙකි. බුදුරජාණන් වහන්සේ මහියංගණයට වැඩම කළ අවස්ථාවේ ලබා ගත් කේශධාතු තැන්පත් කර භෞතික ව දාගැබක් ඉදිකරන්නේ ද මනුෂ්‍ය ආත්මයක් ලබා සිටි අයකු ලෙසිනි. ඔහුගේ උතුම් කටයුතු නිසා ම මහජනයා ඔහු ගේ මරණයෙන් පසු දේවත්වයෙන් සලකා කටයුතු කළ බව පෙනේ. සෝවාන් ඵලයට පත්, කරුණාබරිත හදවතකින් යුක්ත නිසා ම සතුරන්ට මෙන් ම, මිතුරන්ට ද සම කරුණාව පතුරවන බව විශ්වාසය යි. ශ්‍රීපාද වන්දනාවේ දී නඩයක් පර්වතය ඉහළටත්, තවත් නඩයක් පර්වතයෙන් පහළටත් ගමන් කරන විට ආශිර්වාද සලසා ගන්නේ ‘‘වැඳල බහින මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි” "වඳීන්ඩ යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි” “කරුණාවයි කරුණාවයි සුමන සමන් කරුණාවයි” වැනි ගැමිවදන් පිටවන්නේ දෙවියන් කෙරෙහි ඇති පැහැදීම නිසා ය. දෙවියන් ගේ කරුණාවේ වෙනසක් නොමැති නිසා ය. සතුරකු මුහුණට මුහුණ හමුවුවත් එම ආශිර්වාදය එක් කරන්නේ එබැවිනි.

සමන් දෙවියන් ගේ කරුණාව සහ හාස්කම් නිසාම රජවරුන් ද නිතර පූජා පවත්වා තිබේ. දෙවැනි පරාක්‍රමබාහු රජතුමා සබරගමු දේවාලය ඉදිකරමින් අනුග්‍රහය දක්වා ඇත. පළමුවැනි විජයබාහු රජතුමා ගිලීමලය ග්‍රාමය ශ්‍රීපාදස්ථානයට පූජා කර බැතිමතුන්ට පහසුකම් සලසා දී තිබේ. නිශ්ශංකමල්ල රජතුමා ශ්‍රීපාදස්ථානය වන්දනා කිරීමට යන පිරිස ගේ පහසුව පිණිස මාර්ගය සකස් කර දී ඇත. තව ද පළමුවැනි රාජසිංහ, දෙවැනි විමලධර්මසූරිය, නරේන්ද්‍රසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ වැනි රජවරුන් ශ්‍රීපාදස්ථානය වන්දනා කර එහි නඩත්තුවට ගම්වර පූජා කර තිබේ. රජවරුන් ගේ අනුග්‍රහයෙන් සමන් දෙවියන්ට උපහාර පිණිස සබරගමු මහ සමන් දේවාලයේ පෙරහර මංගල්‍ය වාර්ෂික ව පැවැත්වීම ද සිරිතකි. මහියංගණ මහ සමන් දේවාලයේ පෙරහර මංගල්‍යයෙන් ද සමන් දෙවියන්ට උපහාර දක්වයි. නිතර පින් ලබන සමන් දෙවියන් ජනයාට සේවය කිරීමට සූදානම් ව සිටින බැවින් බාරහාරවීම් ද නිතර සිදු වේ. සබරගමු හෝ මහියංගණ දේවාලවලට බාරවීම බහුල ව සිදු වේ. ඇතැම්හු ශ්‍රීපාදස්ථානයට ද බාර වෙති. එම බාර ඉටු කිරීමට ලැබෙන්නේ වන්දනාවාරය ආරම්භ වූ පසුව යි. ශ්‍රීපාදස්ථානය වන්දනා කිරීමට බෞද්ධ ජනතාවට අවස්ථාව ලැබෙන්නේ වර්ෂයේ මාස දොළසෙන් හයක් පමණි. උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයේ සිට වෙසක් පුර පසළොස්වක පොහොය දිනය දක්වා කාලය මෙයට අයත් ය. සැදැහැවතුන් නොයන මාස හයක කාලයේ දී සමන් දෙවියන් විසින් ශ්‍රීපාදය පුදනු ලබන බව පැවසේ. වන්දනාවාරය ආරම්භයට පෙර දින සමන් දෙවියන් ගේ දේව ආභරණ පෙරහරකින් ශ්‍රීපාද මලුවට වැඩම කරවීම සාම්ප්‍රදායික චාරිත්‍රයකි. පසුදින ආගමික වතාවත් සිදු කර සමන් දෙවියන් උදෙසා පින් පමුණුවා වන්දනා වාරය ආරම්භ කරයි. මෙය සැම වර්ෂයක ම නොකඩවා පවත්වත්වන සිරිතකි.