Print this Article


වෛරී සිත භයානක යි දුරු නො කළොත් සසර පුරා පසුපස එනවා

වෛරී සිත භයානක යි දුරු නො කළොත් සසර පුරා පසුපස එනවා

ඒ වගේම තමයි ද්වේෂය. රාගය තරම් ම ද්වේෂයත් බලවත් පින්වතුනි. එය වෛරයක් වීමෙන් ආත්ම සිය ගණනක් වුවත් අප පසුපස එන්න පුළුවන්.

නමෝතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
හිතානුකම්පී සම්බුද්ධො - යදඤ්ඤ මනුසාසති
අනුරෝධ විරොධෙහි - විප්පමුත්තො තථාගතො’ති.

පින්වත්නි,

අද ධර්ම දේශනය සඳහා මාතෘකාව වන්නේ සංයුක්ත නිකායේ මාර සංයුක්තයේ රාජ වග්ගයට අයත් පතිරූප සූත්‍රය යි.

දිනක් බුදුපියාණන් වහන්සේ කොසොල් ජනපදයට අයත් එකසාලා කියන බ්‍රාහ්මණ ගමේ දී විශාල පිරිසකට ධර්ම දේශනයක් පවත්වමින් වැඩ සිටියා. කවදත් ලෝක සත්වයා සසරෙහි බැඳ තබා ගන්නට වෙර දරන මාරයා ඒ වෙලාවේ දී එම ස්ථානයට පැමිණියා. දහම් අසන අයට බාධා වන අයුරින් ගාථාවක් ප්‍රකාශ කළා. ඒ ගාථාවේ සරල අදහස තමයි, යම් හෙයකින් අනුන්ට අනුශාසනා කරනවා ද, එය ඔබට සුදුසු නොවෙයි. එහෙම අනුශාසනා කිරීමෙන් රාග, පටිඝ කියන දෙකෙහි ගැලෙන්න එපා කියල යි මාරයා බුදුපියාණන් වහන්සේට ප්‍රකාශ කළේ.

මේ විදිහට මාරයා ක්‍රියා කළේ පිරිස ඉදිරියෙහි බුදුපියාණන් වහන්සේ අධෛර්යයට පත් වේවි කියලා හිතාගෙන යි. මාරයා හිතුවා ශ්‍රාවක පිරිස අතරේ ඇතැමෙක් සාධුකාර දේවි, ඇතමෙක් වෙන වෙන කතාවල යෙදේවි, එවිට දේශකයා තුළ රාගයත්, ක්‍රෝධයත් ඇති වේවි කියලා.

මේ වෙලාවේ බුදුපියාණන් වහන්සේ මා මුලින් මාතෘකාව වශයෙන් තබා ගත් “හිතානුකම්පි සම්බුද්ධො” කියන ගාථාව දේශනා කොට වදාළා. එහි අදහස තමයි, “යම් හෙයකින් සර්වඥ වූ බුදුපියාණන් වහන්සේ ලෝක වාසීන් කෙරෙහි අනුකම්පාවෙන් ධර්මය දේශනා කරන සේක් ද, ඒ බුදුපියාණන් වහන්සේ රාගයෙන් හා ද්වේෂයෙන් විශේෂයෙන් මිදුණු කෙනෙක් ය ” කියන වග.

පින්වත්නි, ලෝකයේ ස්වභාවය තමයි, තමන්ට හිතවත්, තමන් කැමති පරිදි කටයුතු කරන, තම සිත්ගන්නා සුළු යම් වස්තුවක් හෝ සත්වයෙක් වේ නම්, එයට ඇලුම් කිරීම. අප බුදුපියාණන් වහන්සේ එය හැඳීන්වූයේ අනුරෝධය කියලා. එහෙමත් නැත්නම් රාගය, ආදරය, ආශාව, කියන වචනත් එයට පාවිච්චි කරන්න පුළුවනි. ඒ වගේම තමයි. තමන් ගේ සිතැඟිවලට, එහෙම නැත්නම් ආශාවන්වලට එරෙහි ව යම් වස්තුවක් හෝ සම්බන්ධයක් තියෙනවා නම්, එයට විරුද්ධ වීමත් පුහුදුන් මිනිසුන්ගේ ස්වභාවයක්. අපි ඒකට කියනවා “පටිඝ” කියල. පටිඝ කියල කියන්නේ විරුද්ධ වූ අරමුණු සමඟ ගැටෙනවා කියන එකයි.

ඒ නිසා අපි තේරුම් ගන්න ඕන රාගයත්, පටිඝයත් කියන කෙලෙස් ධර්ම දෙක මනුෂ්‍යයා ගේ සිතෙහි අඩු වැඩි වශයෙන් පවතින ලක්‍ෂණ දෙකක් බව. එහෙම වුණත් පින්වතුනි, අප සම්මා සම්බුදු පියාණන් වහන්සේ වැනි උත්තමයකු ගේ සිතේ මේ කෙලෙස් ධර්මවල නැඟී සිටීමක් කවදාවත් ඇති වෙන්නේ නෑ.

ඒ නිසා, අප තේරුම් ගත යුතු දේ තමයි, සත්වයා සසරේ බැඳ තබා ගන්නට ඉවහල් වන මේ සංයෝජන (රැහැන්) අවබෝධයෙන් සිඳලා බිඳලා දාන්න. රාගයත්, ද්වේෂයත් සිතේ බලපවත්වනකම් අපිට පුළුවන් කමක් නෑ සසරින් අත්මිදෙන්න. ඒ විතරක් නෙමෙයි, ලෞකික ජීවිතය අවුල් වියවුල්වලින් තොරව පවත්වා ගෙන යාමට පුළුවන් වෙන්නෙත් නෑ.

රාගය හා ද්වේෂය පුද්ගලයා තුළ හටගත්තම මනා සිහිනුවණ කියන දේ නැති වෙලා යනවා. ඇත්ත-නැත්ත, යුක්තිය-අයුක්තිය තේරුම් ගැනීමට බැරි අන්ධයකු බවට පත්වෙනවා. ඒකට හොඳම නිදසුනක් තමයි, බෝසත් වුවත් කුස රජතුමා පබාවතිය කෙරෙහි බැඳගත් ආලය නිසා, එයින් අන්ධවෙලා රජකම පවා අමතක කරලා සත් මසක් අරක්කැමියෙක් හැටියට කටයුතු කරපු ආකාරය. ඒ නිසා අප රාගයෙන් මිදී විරාගී වීම සසරින් මිදෙන්නට තියෙන මූලික සුදුසුකමක් බවයි. බුදුපියාණන් වහන්සේ අපට උගන්වා වදාළේ.

ඒ වගේම තමයි ද්වේෂය. රාගය තරම් ම ද්වේෂයත් බලවත් පින්වතුනි. එය වෛරයක් වීමෙන් ආත්ම සිය ගණනක් වුවත් අප පසුපස එන්න පුළුවන්. ද්වේෂයෙන් දූෂිත වූ සිතකට යහපත් දෙයක් ඉස්මතු වෙන්නේ නෑ. හොඳ දෙයක් සිතන්නේ නෑ. හොඳ දෙයක් කියන්නේ නෑ. හොඳ දෙයක් කරන්නේ නෑ. ක්‍රෝධයෙන් අන්ධවෙලා බාහිර සමාජයට හිරිහැරයක් ම යි කරන්න පෙළඹෙන්නේ.

මෙම සූත්‍රයේ එන කරුණුවලට අනුව පැහැදිලි වෙනවා තථාගතයන් වහන්සේ ස්වකීය ශ්‍රාවකයන් කෙරෙහි මධ්‍යස්ථ ප්‍රතිපදාවක් අනුගමනය කළ බව. උන්වහන්සේ විරාගී චරණයක් පුරුදු කර තිබූ බව මෙයින් පැහැදිලි වෙනවා. සර්වඥයන් වහන්සේ ධර්ම දේශනා කළේ ලෝක සත්වයා කෙරෙහි අප්‍රමාණ අනුකම්පාවෙන් ම යි. උන්වහන්සේ ගේ එකම අභිප්‍රාය වුණේ දුකට පත් සියලු සත්වයින් මුදවා ගන්න යි.

ඒ නිසා පින්වත්නි, අප බුදුපියාණන් වහන්සේ අපට උගන්වා වදාළේ, මහණෙනි, ලෝකයා, මටත් ධර්මයටත්, සංඝයාටත් දොස් පවරන අවස්ථාවේ ඔබ එයට එරෙහි නොවිය යුතු ය. ද්වේශ නොකළ යුතු ය. අප කෙරේ ගුණ කියන විට උද්දාමයට පත්විය යුතු ද නැත. යමෙක් රාග ද්වේෂ දෙකෙන් යුතු ව අදානග්‍රාහී ව කටයුතු කරන්නේ වේ ද, එයින් ම ඔහු විනාශයට පත් වෙන බව යි.

මේ සූත්‍රයෙන් කියැවෙන්නේ තථාගතයන් වහන්සේ රාග, ද්වේෂ දෙකෙන් මිදී ලෝක සත්වයා වෙත දයානුකම්පාවෙන් යුතු ව අනුශාසනා කරනු ලබන බව යි. මෙසේ වදාළ කල, මාර තෙම එහි ම අතුරුදන් වුණා. එකී බුද්ධ වචනය සිහියට ගෙන අප ද රාග ද්වේෂාදීන්ගෙන් මිදී නිවන්පුර දොරටුව විවර කර ගමු.