Print this Article


ජීවිතයට පිළිවෙළක් තිබෙනවා නම් ඕනෑම අභියෝගයක් පහසුවෙන් ජය ගන්නට පුළුවන්

ජීවිතයට පිළිවෙළක් තිබෙනවා නම් ඕනෑම අභියෝගයක් පහසුවෙන් ජය ගන්නට පුළුවන්

දරුවා අපේ බැවින් යම් නිශ්චිත කාල සටහනක් සකසා දී ඔහු මෙහෙයවීම මව්පියන් ගේ යුතුකමක්. එමෙන් ම දරුවන්ට ගුණධර්ම කියා දිය යුතුයි. අම්මට,තාත්තට කතා කරන හැටි, සහෝදර සහෝදරියන් සමඟ සමඟියෙන් ජීවත් වන හැටි, අනුන්ට කරදරයක් නොවී ජීවත් වන හැටි කියලා දෙන්නට කාගේවත් උපකාර අවශ්‍ය වන්නේ නෑ. අම්මා තාත්තට ඒ දේ කරන්න පුලුවන්.

අද අපි මුහුණ දී තිබෙන වසංගත රෝග තත්වය හමුවේ වැඩිහිටියන් ගේ පමණක් නොවෙයි, තරුණ තරුණියන් ගේ, පාසල් දරුවන් ගේ පවා අනාගත සැලසුම් යම් ආකාරයකට පසුබෑමකට ලක්ව තිබෙනවා.

ඒ ත් රටක් ලෙස මේ තත්වයට අප සියල්ලෝ ම මුහුණ දිය යුතු වෙනවා. ඒ, රටක අනාගතය රැඳී ඇත්තේ මේ දෙකොටස ම මත නිසයි. මෙහි දී අප ඇත්තට මුහුණ දිය යුතු ම යි. එහි දී, ව්‍යසනයට ඔරොත්තු දෙන ආකාරයෙන් සිත ශක්තිමත් කර ගත යුතු යි. ඒ අනුව ක්‍රියාත්මක විය යුතු යි. අම්මා, තාත්තා, දූ දරුවන්ගෙන් පටන් ගෙන ඉහළ සිට පහළට සෑම සමාජ සමාජිකයෙක් ම ධෛර්ය සම්පන්න ව ඒ අභියෝගය වෙනුවෙන් වෙහෙසිය යුතු යි.

ඒ ජයග්‍රාහී මාවතේ දී

* සියලු දෙනා ම තමන් ගේ වගකීම තේරුම් ගැනීම

* තරුණ වියේ ඇත්ත ස්වභාවය තේරුම් ගෙන එයට වටිනාකම් ලබා දීම

* ආධ්‍යාත්මික දියුණුව සකසා ගැනීම

* ඉලක්ක ජය ගැනීමට දරුවන්ට මඟ පෙන්වීම

* නිසි සෞඛ්‍යයක් පවත්වා ගෙන යාමට පුළුල් ව සියල්ලෝ ම දායක වීම

* ජීවිතයේ වටිනාකම අවබෝධ කර දීම යන කරුණු පිළිබඳ අවධානය යොමු කළ යුතු වනවා.

සියලු දෙනා මේ ගැන අදහසක් ඇති කර ගන්නවා නම්, අභියෝග, අභියෝගයක් වන්නේ නෑ. එහෙත්

ඒ වෙනුවෙන් සියල්ලෝ ම කැපකිරීම් සිදු කිරීම අවශ්‍යය වනවා.

බෝසතාණන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීම වෙනුවෙන් මොන තරම් කැපකිරීම් සිදු කළා ද? ප්‍රමාණය කළ නොහැකි තරම් වූ ඒ කැපකිරීම්වල ප්‍රතිඵලය නිසයි ලෝකයට මිල කළ නොහැකි අර්ථවත් දර්ශනයක් ලැබුණේ. උන්වහන්සේ ආදර්ශයෙන් පෙන්වා දුන්නේ අභියෝගවලට මුහුණ දෙන ආකාරය යි.

අද හෝ හෙට හෝ නොවෙයි. මෙවැනි අභියෝගාත්මක අවස්ථා ඉදිරියේ දී ත් ඇති විය හැකියි. බොහෝ දෙනෙක් පුරුදු වී සිටින්නේ තමන් මුහුණ දෙන කරදර, අභියෝගවල වගකීම අනුන් වෙත පැවරීමට යි. මේ රෝග උවදුරේ දී ත් එය පැහැදිලිව ම දකින්නට ලැබෙනවා. මෙහි දී වැඩි දෙනෙක් චෝදනා කරන්නේ රජයට යි. එහෙත්

සියල්ල රජය විසින් සිදු කර දිය යුතු ය යන මතයෙහි නොසිට තම තමන් ගේ වගකීම් සිදු කළ යුතු යි. සියල්ලෝ ම තමන් ගේ කාර්යය සිදු කිරීමට වෙහෙස මහන්සි වන්නේ නම්, අනුන්ගෙන් ඉල්ලා ගෙන කන තත්වයට පත් වන්නේ නෑ. ඉතා අපහසු අවස්ථාවක යම් විවේකයන් ලැබූවත්, තමන් හෝ, තමන් ගේ දරුවන් හෝ අන්ත දිළිඳු බවට පත් වන්නේ නෑ .

උපයා ගන්නා සුළු ප්‍රමාණයෙන් වු ව ද කොටසක් ආපදා අවස්ථාවක දී ගැනීමට ඉතිරි කරන ලෙස අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මේ අවිනිශ්චිත බව නිසයි.

තමන් විසින් කළ යුතු දෙය නො කොට, අනෙකා ගේ කොටසෙහි අඩුලුහුඩුකම් බැලීම නොකළ යුතු දෙයක්. එහෙත් බොහෝ දෙනෙක් පුරුදු වී සිටින්නේ ත් එසේ කාලය ගෙවා දැමීමට යි. අපේ තරුණ දරුවන්ට හොඳ කායික ශක්තියක් තිබෙනවා. ඒ වගේ ම හොඳ මානසික ශක්තියක් තිබෙනවා. ඒ ජවය ත්‍රීරෝද රථයකට හෝ පහසු ආදායම් මාර්ගයකට යොමු කිරීම වැදගත් වන්නේ නෑ. මෙවන් කාලයක දී එහි ආදීනව බොහෝ තරුණයන් අත්විඳීනවා. බොහෝ දෙනෙක් රැල්ලට යනවා. ඒ කියන්නේ අනුකරණයට පෙළඹෙනවා. හොඳ අනුකරණය අගය කළ යුතු යි. එහෙත් බොහෝ දෙනෙක් තමන් ගේ හැකියාවන් හඳුනාගෙන ඇති බව පෙනෙන්නේ නෑ. සමහරු අනවශ්‍ය ලෙස කාලය කා දමනවා. ඉතින් වැඩ අතපසු වෙනවා. කාලය කා දැමීමට මඟක් සොයන්නේ ජීවිතවලට අරමුණු නැති වූ විටයි. හොඳ අරමුණක් නැති කමත් පිරිහීමට හේතුවක්.

බොහෝ ගැටලුවලට ප්‍රධාන ම හේතුව වන්නේ ආධ්‍යාත්මික සංවර්ධනය නැති බවයි. සරල ව පැහැදිලි කරනවා නම්, හොඳ සිතිවිලි නැතිකම යි. සමහර අයට ඉවසීම නෑ. සිහිය නෑ. ආගම, දහම ගැන අවබෝධයක් නෑ. තමන් කුමන දහමක් විශ්වාස කළ ද යම් පුංචි ම හෝ කාලයක් දෛනික ව ඒ වෙනුවෙන් යෙදවීම ඉතා වැදගත් බව බාල, මහලු හැම දෙනා ම තේරුම් ගන්නට ඕනෑ. අප තුළ යහපත් සිතිවිලි ගොඩනැඟෙන්නේ එවිට යි. යම් ලෙඩක්, දුකක දී, කරදරයක දී සත්‍ය ක්‍රියාවක් මඟින් හෝ සහනයක් ලබා ගන්නට නම් ආධ්‍යාත්මික ශක්තියක් තිබිය යුතු යි. ධර්මපාල ජාතකයේ දී දිසාපාමොක් ආචාර්ය තුමා රජතුමාට පවසා සිටියේ හදිසියේ රජතුමා ගේ පුත් කුමරු මිය ගිය බවයි. එහෙත් රජු එය කිසිසේත් පිළි නො ගනියි. උපහාසයෙන් බැහැර කරයි. රජු කියන්නේ තමන් ගේ රටේ මිනිසුන් අඩු වයසින් නො මැරෙන බව යි. ඊට ප්‍රධාන හේතුව පස් පව් නොකිරීම යි. එවන් ආධ්‍යාත්මික පිරිසුදු බවක් අප තුළ ද වර්ධනය කර ගත හැකි වන්නේ නම්, එතරම් සුවයක් තව ඇත්තේ නෑ. එය අපහසු දෙයක් යැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන්. ඒ ත් පව අත් හැරීම අපහසු දෙයක් නොවේ. පව අත් හැරීමේ පහසු ම ක්‍රමය ජීවිතයේ ඇත්ත තේරුම් ගැනීම යි. ජිවිතය පිළිබඳ හොඳීන් තේරුම් ගන්නට අවශ්‍ය කමටහන් ඕනෑ තරම් මේ දිනවල අප දකිනවා. අසනවා. ආධ්‍යාත්මික ශක්තිය ඇති කර ගත්තේ නම්, ඉදිරියේ දී හෝ මෙවන් තත්වයකට පහසුවෙන් මුහුණ දීමට මඟ හෙළි කර ගන්නට පුළුවන්.

රෝග උවදුර නිසා දරුවන් ගේ පාසල් අධ්‍යාපනය බිඳවැටී තිබෙනවා. බොහෝ මව්පියන් තමන් ගේ වගකීම් අමතක කොට අනුන්ට ම දොස් කියනවා. අප මුහුණ දී සිටින්නේ සොබා දහම විසින් ලබා දුන් දරුණු දඬුවමකට යි. එවැනි පසුබිමක රෝගයට හෝ ගුරුවරුන්ට දොස් කීම නිරර්ථකයි. ඒ වෙනුවට මව්පියන් ස්වයං වැඩපිළිවෙළකට යා යුතු වනවා. පන්තිභාර ගුරුවරු දුරකතනයෙන් සම්බන්ධ කොට ගෙන පෞද්ගලික මට්ටමින් මඟ පෙන්වීම ලබා ගත හැකියි. දරුවාට පෙළපොත් ලැබී තිබෙනවා. අවශ්‍ය ඔබේ කැපවීම සහ දරුවා ගේ උනන්දුව පමණයි. එය සියයට සියයක් ම සාර්ථක නොවූණ ද දරුවාගේ දැනුම මොට නොවී පවත්වා ගත හැකි වනවා. කිසිම ගුරුවරයකු එසේ උදව් කිරීමට අකමැති වන්නේ නෑ. ගුරුවරු දරුවන්ට ඒ යුතුකම් මනාව ඉටු කරනවා. ඒ අය ගේ වෘත්තීය අරගල හෝ අඩුපාඩු හෝ ඔබ ප්‍රශ්නයක් කර ගත යුතු නෑ. ඒ මන්දයත් සියල්න් ගේ ම ජීවිත, ජිවිත වන නිසයි.

දරුවා අපේ බැවින් යම් නිශ්චිත කාල සටහනක් සකසා දී ඔහු මෙහෙයවීම මව්පියන් ගේ යුතුකමක්. එමෙන් ම දරුවන්ට ගුණධර්ම කියා දිය යුතුයි. අම්මට,තාත්තට කතා කරන හැටි, සහෝදර සහෝදරියන් සමඟ සමඟියෙන් ජීවත් වන හැටි, අනුන්ට කරදරයක් නොවී ජීවත් වන හැටි කියලා දෙන්නට කාගේවත් උපකාර අවශ්‍ය වන්නේ නෑ. අම්මා තාත්තට ඒ දේ කරන්න පුලුවන්. හැබැයි ඔවුන් දෙදෙනා පළමු ව නිසි මඟ ගමන් කරමින් දරුවන්ට හොඳ ආදර්ශයක් ලබා දෙන්නට ඕනෑ.

උදේ ම අවදිවීමට දරුවා හුරු කරවන්න. තමන් ගේ ආර්ථිකය, ජිවන බර දරුවන්ට අවබෝධ කර දෙන්න. අනාගතයේ දී ඇති විය හැකි ව්‍යසයන ගැන මේ වෛරස රෝග උවදුර ම උදාහරණ කොට ගනිමින් පැහැදිලි කොට දෙන්න. පොළොවෙහි පය ගසා ජීවත් වීමේ අගය කියා දෙන්න. ජීවිතයේ වටිනාකම දැනෙන්නට ඉඩ හරින්න. හොඳ පොතක් කියවන්ට පුරුදු කරන්න. දරුවන් ගැන හොඳ අවබෝධයෙන් ඉන්නා බව ඔවුන්ට දැනෙන්නට ඉඩ හරින්න. මේ පිළිවෙළ තුළ අනාගතයේ දී ඔවුන් ජීවිතයේ කවර අභියෝගයක් වු ව ද පහසුවෙන් ජය ගන්නවා ඇති.