Print this Article


අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ ශ්‍රී පඤ්ඤාසීහ මහා නාහිමිපාණෝ

අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ ශ්‍රී පඤ්ඤාසීහ මහා නාහිමිපාණෝ

මෙ සියවස තුළ පහළ වූ, සඟ සසුන් කෙත සඟ රජ සිරි හෙබවූ, මහරගම, සිරි වජිරඤාණ ධර්‍මායතනාධිකතෘ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක , අමරපුර ශ්‍රී ධර්‍මරක්‍ෂිත මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත, විද්‍යා විශාරද අති පූජ්‍ය මඩිහේ ශ්‍රී පඤ්ඤාසීහ මහා නායක මාහිමියන් වහන්සේ ගේ විශිෂ්ට වූ චරිතාපදානයෙන් ලේශමාත්‍ර ගුණයක් මෙයින් ඔබ හමුවට ගෙන එන්නේ උන්වහන්සේ ගේ අපවත් වීමෙන් 2021 සැප්තැම්බර් මස 08 වන දිනට වසර දහඅටක් ගතවීම නිමිත්තෙනි.

දක්‍ෂිණ ලංකාවේ මාතර නගරාන්තර්ගත මඩිහ නම් වූ ග්‍රාමවරය උන්වහන්සේ ගේ ජන්ම භුමිය වී ය. භක්ති ප්‍රේමයෙන් යුත් ශුද්ධකුලාභිජාත ජේම්ස් කරොලිස් පූජිත ගුණවර්‍ධන මහතාණෝ පිය වූ හ. බෙලා ඇන්ජලීනා ධීරසේකර උපාසිකාවෝ දිනිතිය වූ හ. ධීර වීර ගුණ නැණ සමුදායක උල්පතක් හා සමාන වූ මේ චරිත කතා නායකයාණෝ ක්‍රි.ව: 1913 ක් වූ ජූනි මස 21 වැනි දින ටෙනිසන් විල්මට් පූජිත ගුණවර්‍ධන නමින් මනුලොව දිනූ සේක.

දුටුවන් සිත් වසී කරවන රුචිර වූ දේහ ශ්‍රී සොභාවෙන් හා අනූන වූ ධන්‍ය පුණ්‍ය ලක්‍ෂණයෙන් ශෝභිත වූ මෙ කුමරුන් කෙළි දෙළෙන් පිනපිනා දෙමාපියන් ගේ සෙනෙහස නමැති කිරි මුහුදට පුරපස සඳ මෙන් නිරුපද්‍රිත ව වැඩෙන්නේ, අකුරු කරවීමට නිසි කල් වයස් පැමිණියෙන් ස්වකීය සහෝදරියන් අධ්‍යයනයෙහි නියුතු ව සිටි සාන්ත තෝමස් ඉංග්‍රීසි විද්‍යාලයට ඇතුළත් කරනු ලැබී ය. එහි දි උපතින් වසර දහයක් පමණ වන තෙක් අධ්‍යයන කටයුතුවල නිරත වූ කුඩා විල්මට් ඉන් අනතුරු ව ස්වකීය පියතුමන් මුල්ගුරු ලෙස කටයුතු කළ මෙතොදිස්ත විද්‍යාලයට ඇතුළත් විය.

කුඩා කල සිට ම මිශ්‍ර ආගමික පරිසරයක හැදී වැඩුණු විල්මට් ස්වකීය නිවසට පැමිණෙන පන්සලේ හාමුදුරුවන් වහන්සේ ගේ සේ ම, පල්ලියේ පාදිලි උන්නාන්සේ ගේ දර්ශනය අමුත්තක් නොවී ය. එහෙත් සංසාරගත පෙරුම් දමක මහිමයෙන් දෝ කුඩා විල්මට් ගේ සිත ඇදී ගියේ පල්ලියට නොව පන්සලට ය. ඒ අනුව ගුණින් නැණින් මෝරන මෙ කුමරු කඹුරුගමුවේ දේවගිරි පුරාණ මහා විහාරස්ථානයේ දී 1926 ජූනි 24 දා තත් විහාරාධිපති ව වැඩ විසූ, සිරිසද්ධම්මජෝතිපාල කවිධජ විනයාචරිය ගෞරවාර්හ වේරගම්පිට රේවත මහා ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ ගේ උපාධ්‍යායත්‍වයෙන් හා ගෞරවාර්‍හ පැලෑනේ ශ්‍රී වජිරඤාණ මහා නාහිමිපාණන් වහන්සේ ගේ ආචාර්‍යත්‍වයෙන් , මඩිහේ පඤ්ඤාසීහ , නමින් පැවිදි දිවියට ඇතුළත් විය. ස්වකීය උපාධ්‍යායන් වහන්සේ ගේ පා සෙවනෙහි උගත යුතු මූලික පිරිත් බණ දහම් ආදිය මාස හයක් පමණ ප්‍රගුණ කළ නවක සාමණේරයන් වහන්සේ ස්වකීය ආචාර්‍යපාදයන් වහන්සේ ගේ කැඳවුම පරිදි බම්බලපිටියේ වජිරාරාමයේ නේවාසික වීම සඳහා අගනුවරට වැඩම කළහ. එහි දී කුඩා පඤ්ඤාසීහ සාමණේරයන් වහන්සේ ගේ ආරක්‍ෂකයා වූයේ උගත් ධර්‍මධර, විනයධර විචිත්‍ර ධර්‍මකථික මාහිමි නමකි. මෙහි දී පැලෑනේ වජිරඤාණ මහා නාහිමියන් පිළිබඳ යමක් සඳහන් නොකළ හොත් එය අඩුවකි. ඒ දේශීය විදේශීය ධර්‍මදූත ව්‍යාපාරය සඳහා සාකල්‍යයෙන් ම උචිත දේශක පිරිසක් බිහිකිරීමේ ගෞරවය ලැබිය යුත්තා උන්වහන්සේ වන බැවිනි. වජිරාරාම සම්ප්‍රදාය හඳුන්වාදුන් උන්වහන්සේ ලෝක ප්‍රකට ධර්‍ම දේශකයන් වහන්සේ ලෙස නමක් දිනූ වජිරාරාමවාසී නාරද, පියදස්සී, මෙතෙය්‍ය, සෝම, ඛෙමින්ද වැනි යතිවරයන් වහන්සේ බිහිකළා සේ ම අම්පිටියේ රාහුල, කඹුරුගමුවේ මහානාම, දෙණිපිටියේ සුමනසිරි වැනි තවත් දක්‍ෂ පක්‍ෂ සිසු පිරිසක් ඇති කළහ.

අගනුවරට සැපත් දිනයේ සිට ම පැලෑනේ මහා නාහිමි සෙවණේ බණ දහම් සේ ම ගුණ දහම් හදාළ පඤ්ඤාසීහ සාමණේරයන් වහන්සේ විසි වයස් සම්පූර්ණ ව උපසම්පදාර්හ ව සිටි හෙයින් වර්‍ෂ 1933 දී පැලෑනේ ගංගාරාමස්ථ උදකුක්බේප සීමාමාලකයේ දී ගෞරවාර්‍හ වේරගමපිට සිරි රේවත මහා ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ ගේ උපාධ්‍යායත්‍වයෙන් සහ ගෞරවාර්‍හ පැලෑනේ වජිරඤාණ, පොල්වත්තේ ධම්මතිලක, අහංගම පඤ්ඤාලෝක යන මාහිමිපාණන් වහන්සේ ගේ කර්‍මාචාර්‍යත්‍වයෙන් උපසම්පදාව ලැබූහ.

උපසම්පදාවෙන් පසු උසස් අධ්‍යාපන කටයුතු සඳහා ද යොමු වූ උන්වහන්සේ ප්‍රාචීන භාෂොපකාර සමාගම මගින් පැවැත් වූ පරීක්‍ෂණවලට ස්වොත්සාහයෙන් පෙනී සිටි අතර වර්‍ෂ 1941 දී මහාචාර්‍ය ජී.පී. මලලසේකර සූරීන් විසින් ලංකා විශ්වවිද්‍යාල කොලීජියෙහි ආරම්භ කරන ලද , විද්‍යා විශාරද උපාධි පාඨමාලාවට පෙනී සිට 1944 දී පවත්වන ලද එහි අවසාන පරීක්‍ෂණයෙන් උත්තීර්ණ ව විද්‍යා විශාරද , උපාධිය ලැබී ය.

උසස් අධ්‍යාපන කටයුතු අවසන්වීමත් සමඟ ආගමික, සමාජීක, සංස්කෘතික මහ මෙහෙවර උදෙසා ස්වකීය දායකත්‍වය දැක්වීම සඳහා උත්සුක වූ උන්වහන්සේ ධර්‍ම ප්‍රචාරක කටයුතු සඳහා ඉන්දියාව - නේපාලය, චීනය, හොංකොං ආදී රටවල සංචාරය කළ අතර වර්‍ෂ 1953 දී බුරුමයෙහි පවත්වන ලද - ඡට්ඨ සංගායනාව සඳහා ශ්‍රී ලාංකීක නියෝජිත පිරිසේ සාමාජිකයකු ලෙස ද සහභාගී විය. 2500 බුද්ධ ජයන්තියට සමගාමී ව, මහාචාර්‍ය ජී.පී. මලලසේකර සූරීන් ගේ මෙහෙයවීම මත, සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය මඟින් පිහිටුවන ලද බෞද්ධ තොරතුරු පරීක්‍ෂක සභාවෙහි සාමාජික තනතුරකට පත්කර ගනු ලැබූ විද්‍යා විශාරද මඩිහේ පඤ්ඤාසීහ ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ මුළු රට පුරාම සංචාරය කරමින් බෞද්ධ ප්‍රභූන් ඇතුළු එකී සමිති සමාගම්වල සාමාජික සාමාජිකාවන් හමුවෙමින් ඔවුන් ගේ ප්‍රශ්න පිළිබඳ නිරවුල් අවබෝධයක් ලබා ගත්හ. පසු කාලීන ව මහා නාහිමියන් නිතර ප්‍රකාශ කළ , මිනිසා හදා ගම හදමු. ගම හදා රට හදමු , යන තේමා පාඨයට මෙකී සංචාරය උන්වහන්සේට යම් පිටුබලයක් වන්නට ඇතැයි සිතිය හැකි ය.

2500 බුද්ධ ජයන්තිය නිමිත්තෙන් ශ්‍රී ලංකා ජනරජයේ අනුග්‍රහයෙන් පාලි ත්‍රිපිටක පොත් වහන්සේ හුදී ජනයාට තේරුම් ගැනීමට පහසුවන පරිදි සිංහල භාෂාවට පරිවර්තනය කර මුද්‍රණය කිරීමට කටයුතු කළ අතර, එකී ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ සාමාජිකයකු ලෙස ද මඩිහේ මහා නාහිමියෝ කටයුතු කළහ.

අමරපුර ශ්‍රී ධර්‍මරක්‍ෂිත මහා නිකායේ මහා නායක ධුරය හොබවමින් වැඩ සිටි ස්වකීයාචාර්‍ය ගෞරවාර්‍හ පැලෑනේ වජිරඤාණ නායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ 1955 සැප්තැම්බර් මස 21 දින අපවත් වූයෙන් හිස් වූ අමරපුර ශ්‍රී ධර්‍මරක්‍ෂිත මහා නිකායෙහි මහා නායක ධුරය මඩිහේ පඤ්ඤාසීහ ස්වාමීන්‍ද්‍රයන් වහන්සේට පත්කරන්නට තත් නිකායික වෘද්ධතර නාහිමිවරු පසුබට නොවූහ.

මෙම මහනායක ධුර ප්‍රාප්තිය ධර්‍මරක්‍ෂිත මහා නිකාය පමණක් ලැබූ භාග්‍යයක් පමණක් නොව සමස්ත අමරපුර පාර්ශවීයයන් ලැබූ භාග්‍යයක් බව පසක් වූයේ 1956 වර්‍ෂයේ අගභාගයේ දී බම්බලපිටියේ වජිරාරාමයට වැඩම කළ අමරපුර නිකායෙහි සියලු පාර්ශවවල මහා නායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ ගේ එකඟතාවයෙන් සමස්ත ලංකා අමරපුර මහාසංඝ සභාව පිහිටුවා ගැනීමේ ඓතිහාසික අවස්ථාවෙනි. එකී සද්කාර්‍ය උදෙසා මුලික වී ක්‍රියා කළ උන්වහන්සේට පසුව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක පදවිය ද පිරිනැමී ය.

වර්‍ෂ 1958 අප්‍රේල් මස 21 වන දින මහරගම සිරි වජිරඤාණ ධර්‍මායතනය ස්වකීය පැවිදි සහෝදර අම්පිටියේ රාහුල නායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේගේ ද අනුග්‍රහය ලැබ පිහිටූ වී ය. ඒ තුළින් වජිරාරාම සම්ප්‍රදාය චිරස්ථායී වූවා පමණක් නොව දේශීය විදේශීය ධර්‍මදූත සේවාවෙහි නියැළිය හැකි උගත් තරුණ යතිවරුන් රාශියක් බිහිවිය. ඒ අතර මහරගම ධම්මසිරි නාහිමි, අමරපුර ශ්‍රී ධර්‍මරක්‍ෂිත මහා නිකායේ මහා නායක, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, තිරිකුණාමලේ ආනන්‍ද මහා නාහිමි, අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමි, පණ්ඩිත හක්මන සුමනසිරි හිමි, මහාචාර්‍ය ධම්මවිහාරී හිමි, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, තලල්ලේ චන්දකිත්ති හිමි ආදී යතිවරුන් වෙසෙසින් සඳහන් කළ හැකි ය.

ජාතික ප්‍රශ්නවල දී මඩිහේ මහා නායක මාහිමියන් දැක් වූ අදහස් සෘජු බවින් යුක්ත විය. කිසිවිට කිසිවෙකුට පක්‍ෂග්‍රාහී නොවූහ. මෙරට යළිත් ධර්‍ම ද්වීපයක් කිරීමට නම් ජනතාව සිල්වත් ව විසිය යුතු බවත් ඒ සඳහා සතර පොහොය නිවාඩු දින බවට පත් කළ යුතු යැයි යෝජනා කළේ ද එහෙයිනි. හැම ඉරියව්වෙහි ම දුටුවන් ප්‍රසාද කර වූ ශ්‍රමණාකල්පය නොඅඩුව පැවැත්තේ ය. අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහාභිධාන අමරපුර මහා නිකායෙහි උත්තරීතර මහා නායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ 2003 සැප්තැම්බර් මස 08 දින අපවත් වී වදාළහ. උන්වහන්සේ ගේ දහඅට වන ගුණ සැමරුම මේ වන විට රටේ පවතින තත්වය සැලකිල්ලට ගනිමින් මාර්ගගත ක්‍රමයට 2021 සැප්තැම්බර් 12 වන දින රාත්‍රී 7ට අතිපූජ්‍ය මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ගේ සහ පින්වත් සාධූන් ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට නියමිත ය.