Print this Article


මිය ගිය ඥාතීන් වෙනුවෙන් ලබා දිය යුතු අග්‍රතම තිළිණය

මිය ගිය ඥාතීන් වෙනුවෙන් ලබා දිය යුතු අග්‍රතම තිළිණය

යම් සේ ගංගාවන් පිරී ගිය කල වහා ගලා ගොස් මහ සමුදුරට වදී ද එසේ ම මෙතැනින් වෑහෙන ජලය ගලා යන සේ එහි සිටින මිය ගියවුනට ඵලදායි වේවා උස් තැනින් වැගුරූ මේ ජලය පහළට වැගිරී යන සේ මේ දුන් පින එහි සිටින ජීවීන්ට අත්වේවා

යම් කිසිවකුට පිරිනැමිය හැකි මහඟු තිළිණය ලෙස බුදු රජාණන් වහන්සේ වදාරා ඇත්තේ මිය ගිය ඥාතීන් වෙනුවෙන් පින්දහම් කිරීම හා එම පින අනුමෝදන් කරවීමයි.

තව ද පින් අනුමෝදන් කරන්නා එ මඟින් තවත් පින් රැස් කර ගන්නා බව ද උන්වහන්සේ වදාළ සේක. කුසල් කිරීමේ යෙදුණු විශේෂයෙන් ම “මහණ බමුණන්ට දන් දීමේ යෙදුණු අයට එම කුසල් තම මිය පරලොව ගිය ඥාතීනට අනුමෝදන් කරන ලෙස බුදුරදුන් ඔවුනට උපදෙස් දී ඇත. දන් දීමේ දී මියගිය ඥාතීන් වෙනුවෙන් දන් දීමට ද, දන් දෙනවිට මෙසේ සිහිපත් කරන ලෙස ද උන්වහන්සේ උනන්දු කළ සේක. එනම් ඔහු ජීවත් ව සිටිය දී ඔහු මෙවන් සම්පත් මට දී ඇත. ඔහු මේ දේ මා වෙනුවෙන් කර ඇත. ඔහු මගේ අසවල් ඥාතියා ය. මගේ හවුල්කරු ය. යනාදී වශයෙනි.

තිරෝකුඩ්ඩ සූත්‍රය ඛුද්දකපාඨ

ඇඩීමෙන් පලක් නැත. දොම්නස් වැළපීම්, ළතෝනි දීම්වලින් මළගියවුනට කිසිදු යහපතක් නො වන්නේ ය. මළගිය ඥාතීන් වෙනුවෙන් පින් අනුමෝදන් කරවීමේ පොදු විශ්වාසය පදනම් වී ඇත්තේ කෙනකු මිය ගිය විට ඔහු ගේ පින් පව් එකිනෙක ගෙන තුලනය කිරීමෙන් ඔහු ගේ ඉරණම තීරණය කිරීම ගැන ය. ඔහු ගේ ක්‍රියා කලාපය ඔහු යහපත් ස්ථානයක ප්‍රතිසන්ධිය ලබා ගනී ද, අයහපත් රාජධානියකට වැටේ ද යන්න තීරණය කරත් ම මිය ගිය අය ගේ ආත්මය, අනික් මිය ගිය අයගේ ආත්ම ඇති ලෝකයකට ගමන් කරන බව සමහර අයගේ විශ්වාසයකි.

පහත් ලෝකවල උපදින අයට අලුතෙන් පින් රැස්කර ගැනීමට නො හැකි ය. මෙලොව දී උපයා ගත් පින් මහිමයෙන් එහි ජීවත් විය යුතු ය. අනුනට හානි නො කර ජීවිත කාලය තුළ දී කුසල් රැස් කර ගත් අය නිරායාසයෙන් පහසු ස්ථානයන් හි උපත ලබන්නට වාසනාව ලබති. එවැනි අයට ජීවත් ව සිටින ඥාතීන් ගේ ආධාරය අනවශ්‍ය යි. කෙසේ වෙතත් සුවදායක ස්ථානයන් හි ඉපදීමට තරම් අවස්ථා නැති අය ජීවත් ව සිටින ඥාතීන් ගේ පින් ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින්නේ තමන් ගේ ඌණතාව සපුරා ගෙන සතුටුදායක වාසස්ථානයක ඉපදීමට හැකිවීම සඳහා ය.

අවාසනාවත් ආත්මභාවයන්හි පුනරුත්පත්තිය ලැබූවන් ඔවුන් ගේ වේදනාකාරී තත්වයන් ගෙන් මුදවාගත හැක්කේ තම මිතුරන් ඥාතීන් කරන්නා වූ කුසල කර්මයන්ගේ පින පවරා දීමෙන් හෙවත් අනුමෝදන් කිරීමෙනි. මිය ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ බෞද්ධ මතය පැරැණි යුග සිසාර පැමිණි හින්දු සමයේ චාරිත්‍රයක අනුරූපයකි. මිය ගිය ඥාතීන් ගේ ආත්මයට සාමයෙන් ජීවත්වීමට විවිධ උත්සව පවත්වමින් ආධාර කරති. මේ චාරිත්‍රය ඇතැම් බෞද්ධ රවවල ද සමාජ ජීවිතයේ මහත් බලපෑමක් කෙරෙයි. කිසියම් යහපත් වැඩක් කළ කල්හි මිය ගිය අය සිහි කරති. බොහෝ විට එය කරනු ලබන්නේ ඔවුන් ගේ ජීවිත හා සම්බන්ධ අවස්ථාවල දී ය. එනම් උපන් දිනය හෝ අභාවය ස්මරණය කරන සංවත්සරවල දී ය. එවැනි අවස්ථාවල සාමාන්‍යයෙන් පවත්වනු ලබන පුද පූජා ද වෙයි. පවරන්නා හෙවත් අනුමෝදකයා යම් භාජනයකින් ජලය ගෙන වෙනත් භාජනයකට වත් කරමින් පාලි ගාථා කියයි. එහි අන්තර්ගත අදහස මෙසේ ය.

යම් සේ ගංගාවන් පිරී ගිය කල
වහා ගලා ගොස් මහ සමුදුරට වදී ද
එසේ ම මෙතනින් වෑහෙන ජලය ගලායන සේ
එහි සිටින මියගියවුනට ඵලදායි වේවා
උස් තැනින් වැගුරූ මේ ජලය
පහළට වැගිරී යන සේ මේ දුන් පින
එහි සිටින ජීවීන්ට අත්වේවා

නිධිකණ්ඩ සූත්‍රය - ඛුද්දක පාඨ

පින් අනුමෝදන් කිරීමේ මූලාරම්භය හා වැදගත්කම ශාස්ත්‍රීය විවාදයකට විවෘත වූවකි. මෙකී පැරැණි සිරිත අද දක්වා බොහෝ බෞද්ධ රටවල පවතින නමුදු මෙය අනුගමනය කරන බෞද්ධයන් අතුරෙන් මෙම පුණ්‍යානුමෝදනාවේ අර්ථය හා යෝග්‍ය ක්‍රියා පිළිවෙළ අවබෝධ කර ගෙන ඇත්තේ ඉතා ටික දෙනෙකි. සමහරු නිකරුණේ කාලය හා ධනය, මිය ගිය අය සිහි කිරීමේ උත්සව සහ පරිසාධනයන් සඳහා නාස්ති කෙරෙති. මේ පුද්ගලයෝ අධික වියදමින් භූමදානාගාර, සොහොන් කොත් තොරණ හා වෙනත් ආම්පන්න ගොඩ නැඟීමෙන් මිය ගිය වුනට සෙතක් සැලසිය නො හැකි බැව් වටහා ගෙන නොමැත.

හදුන්කූරු සුවඳ කඩදාසි දැල්වීමෙන් පරලොව ගිය අයට ආධාර දිය හැකි ද? නැතහොත් සත්ව ඝාතනය කරමින් සතුන් බිලි පූජාවලට යොදා ගනිමින් ආහාර පානාදිය දීමෙන් මිය ගිය ඇත්තනට පිළිසරණ විය හැකි ද? තව ද දුප්පතුනට දිය හැකි මිය ගිය ඇත්තන් පරිහරණය කළ දෑ ගිනි දෙවියනට පුද කිරීමෙන් මිය ගිය අයට සැලසෙන සෙතක් නැත. එය නාස්ති කිරීමක් පමණකි. මිය ගිය අයට උදව් විය හැකි එකම ක්‍රමය නම් ඔවුන් සිහි කර ආගමානුකූල ක්‍රමයකට කිසියම් කුසල ක්‍රියාවක යෙදීම ය.

එකී පුණ්‍ය ක්‍රියාවකට දන් දීම, පාසල් ගොඩනැගිලි ඉදිකිරීම, විහාරස්ථාන, අනාථ නිවාස, පුස්තකාල, ආරෝග්‍යශාලා, දහම් පොත් බෙදා දීම වැනි කටයුතු ඇතුළත් විය හැකි ය. බුදුරදුන්ගේ අනුගාමිකයන් නැණවත් ලෙස කටයුතු කළ යුතු ය. කිසිවකු අන්ධානුකරණය නො කළ යුතු ය. වෙනත් අය මිය ගියවුන් වෙනුවෙන් යාඥා පවත්වන අතර බෞද්ධයෝ ඔවුන් ගේ මෛත්‍රී සහගත චෛතසික තරංග මිය ගිය අය වෙත පතුරුවති.

පුණ්‍ය ක්‍රියාවල යෙදෙමින් එම පින් මිය පරලොව ගියවුන් ගේ සුබ සාධනය සඳහා අනුමෝදන් කෙරෙති. මිය ගිය අය ගේ නම පැවතීමටත්, ඔවුනට සැබෑ අන්දමින් හරසර දැක්වීමටත් හොඳම ක්‍රමය එය යි. ඔවුන් සුවපත් වූ විට මිය ගිය ඇත්තනට ද ඔවුන්ගේ ජීවමාන ඥාති මිත්‍රාදීනට ද ඒ අය ගේ ආශිර්වාදය ද අන්‍යොන්‍යකරණය ද සිදු විය හැකි ය. එබැවින් ජීවතුන් අතර සිටින ඥාතින් ගේ යුතුකම වන්නේ පින් අනුමෝදන් කරවීමෙන් හා සෘජුව ම මෛත්‍රිය පැතිරවීමෙන් තම මිය පරලොව ගිය අය සිහිපත් කිරීම ය.

ආචාර්ය කේ. ශ්‍රී ධම්මානන්ද නාහිමියන් ගේ what Buddhists Believe නම් ග්‍රන්ථයේ සිංහල පරිවර්ථනය බෞද්ධ විශ්වාස විමර්ශනය කෘතිය ඇසුරිනි