Print this Article


දුක් කරදරවලට මුල තමන් ගේ සිතිවිලි ම ය

දුක් කරදරවලට මුල තමන් ගේ සිතිවිලි ම ය

මට පුතුන් ඇත මට ධනය ඇත
සිතා අනුවණ දනෝ වෙහෙසෙත
කවර පුත්තු ද? කවර ධනය ද?
තමන් පිහිටට තමන්වත් නැත

සැවැත් නුවර ආනන්ද නම් ඉතා ධනවත් සිටුවරයෙක් විසී ය. ඔහුට අසූ කෙළක් ධනය තිබුණ ද කිසිවකුට කිසිවක් දෙන්නට මැළි විය. තම පුතු මූලසිරි අමතා ඔහු නිතර ම කීවේ,

"මේ මහා විශාල ධනයකැයි නොසිතන්න. ඔබට ඇති කිසිවක් , කිසිවකුට නොදිය යුතු ය. ඔබ කළ යුතු ධනය තව තවත් වැඩි කිරීම යි. නැතහොත් ඉතා ඉක්මනින් මේ ධනය නිම වනු ඇත. නිවෙසේ බිම රන් පිරවූ මැටි බඳුන් පහක් නිදන් කරගෙන සිටි ඔහු මිය ගියේ ඒ වා තිබුණු බවක් වත් කිසිවකුට හෝ නොපවසමිනි.

මිය ගිය ආනන්ද සිටුවරයා සැවැත් නුවරට ආසන්නයේ එක් සිඟන පිරිසක උපන්නේ ය. ඔහු උපදින්නට පෙර මව් කුස සිටිය දී සිඟන්නන්ට ලැබෙන ආදායම අඩු විය. කවුරු හෝ අවාසනාවන්තයකු තමන් අතර ඇතැයි ඔවුහු සිතූහ. ඒ අනුව කණ්ඩායම කොටස්වලට බෙදමින් අවාසනාවන්තයා අයත් කණ්ඩායම තනි කරන ක්‍රමයට ඔහු ගැබ් ගත් පවුල තනි කර ගත්හ.

ඔවුන් ගමෙන් පළවා හරින ලදී. ඔහු උපන්නේ අවලස්සන විකෘති දරුවකු ලෙසිනි. ඔහු ගේ කිසිම ඉන්ද්‍රියයක් පිහිටිය යුතු තැන නියම විදිහට නො පිහිටියේ ය. බැලූ බැල්මට පාංශු පිශාචයකු බඳු වූ මේ දරුවා සමඟ සිඟා ගිය දාට කිසිවක් නො ලැබේ. තනිව ගිය විට යමක් ලැබෙයි.

එහෙත් මව තම දරුවා දැඩි දුක් විඳ ඇති දැඩි කළා ය. දරුවා තරමක් වැඩෙන තුරු පෝෂණය කොට තනි ව යමක් කර ගන්නා තරමට වැඩුණු පසු ඔහු අතට කොළපතක් දුන්නා ය.

"පුත, අප මේ ව්‍යසනයට වැටුණේ නුඹ නිසා ය. දැන් ඉතින් මම ඇති තරම් දුක් විඳ හෙම්බත් ව සිටිමි. මේ කොළපතත් අරගෙන සිඟා කා ජීවත් වන්න " යැයි පැවසුවා ය.

සැවැත් නුවර සිඟා යන අතරතුර ඔහුට හිටිහැටියේ තම පෙර ජන්මය හා ඒ ජන්මයේ නිවෙස සිහිපත් විය. ඔහු ඒ නිවෙස සොයා ගියේ ය.

ඔහු ගේ පෙර ජන්මයේ පුත් මූලසිරි ගේ දරුවෝ ඔහු දැක බියෙන් හඬන්නට පටන් ගත්හ. එහෙයින් ඔහුගේ සේවකයෝ ඔහු ගෙයින් බැහැරට එළවූ හ.

පිඬු සිඟා වඩිමින් සිටි බුදුරජාණන් වහන්සේ මේ සිදුවීම දුටුවහ. උන්වහන්සේ ආනන්ද හමියන්ලවා මූලසිරි කැඳවූ හ.

මේ හිඟන කොලුවා ඔබේ පෙර ජන්මයේ පියා යැයි බූදු රජාණන් වහන්සේ මූලසිරිට පැවසූහ. එහෙත් ඔහු එය පිළි නො ගත්තේ ය. එවිට භාග්‍යවතුන් වහන්සේ හිඟන දරුවා අමතා රන් කළ පහ වළලා ඇති තැන දක්වන්නැයි ඉල්ලා සිටියේ ය. ඒ අනුව කොලුවා රන් කළ පහ පෙන්වී ය. ඉන්පසු මූලසිරි ඒ තම පියා බව පිළිගත්තේ ය. මහත් කම්පනයට පත් ව මූලසිරි බුද්ධ ශ්‍රාවකයෙක් බවට පත් විය.

පුත්තාමත්ථි ධනංමත්ථි
ඉති බාලො විභඤ්ඤති
අත්තා හි අත්තනො නත්ථි
කුතෝ පුත්තා කුතෝ ධනං

මට පුතුන් ඇත මට ධනය ඇත
සිතා අනුවණ දනෝ වෙහෙසෙත
කවර පුත්තු ද? කවර ධනය ද?
තමන් පිහිටට තමන්වත් නැත.

මට දරුවෝ සිටිති. මට ධනය තිබේ . ආදි වශයෙන් සිතමින් අඥාන පුද්ගලයා වෙහෙසෙයි. එහෙත් අඩු ගණනේ තමන්ට තමන්වත් නැත. පුත්තු හා ධනය කෙසේ ද?

බුදු රජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කොට වදාළේ වේළුවනාරාමයේ දී ආනන්ද නම් වූ මසුරු සිටුවරයකු නිමිති කරගෙන ය.