Print this Article


දුටුගැමුණු මහ රජතුමා - 45: එළාර රජු විශ්වාස කරන්නේ සොළී සේනාවේ ශක්තිය යි

දුටුගැමුණු මහ රජතුමා - 45:

එළාර රජු විශ්වාස කරන්නේ සොළී සේනාවේ ශක්තිය යි

මිත්‍ර මහ සෙනෙවිගේ සිත තුළ සිරිනාග කෙරෙහි තිබූ කළකිරීම දවසින් දවස වැඩිවන්නට විය. ඊට ප්‍රධානතම හේතුව වුයේ තමා මහත් ඕනෑකමින් ලබා දුන් නිල නිවාසයට ඔහු මෙතෙක් පදිංචියට නොපැමිණි නිසා ය. ඒ වගේම සිරිනාග දැන් තමන්ගෙන් දුරස් වෙමින් දීඝජන්තුගේ උපදෙස් මත කටයුතු කිරීම ඉවසුම් නොදෙන්නක් විය. සිරිනාග විජිතපුර බලකොටුවට ගොස් දීඝාභය කුමරු සමඟ පැය ගණනක් කතා බහ කරමින් සිටි බව දැන ගත් පසු වඩාත් කෝපයට පත් විය.

මිත්‍ර සෙනෙවි කල්පනා කළේ සිරිනාග හුදෙකලාව හමුවී සාකච්ඡා කිරීම කඩිනමින් කළ යුතු බව ය. ඒ අනුව ඔහු එදින හවස සිරිනාග තමන්ගේ නිවසට ගෙන්වා ගත්තේය.

මිත්‍ර සෙනෙවි හදිසියේ ම තමා කැඳවන්නේ කුමක් නිසාදැයි තීරණය කර ගත නොහැකි වුවත් සිරිනාග එහි ගියේ ය. තමන්ගේ නිල කාමරයට කැඳවූ මිත්‍ර සෙනෙවි බැරෑරුම් සකච්ඡාවකට සූදානම් විය. ඒ බව අවබෝධ කරගත් සිරිනාග පරිස්සමින් කතා කිරීමට හිතට ගත්තේය.

"දීඝාභය කුමරු අනුරාධපුර රාජධානියේ චරපුරුෂ සේවයක් පවත්වාගෙන ගිය බව මට නොකියා දීඝජන්තු මහ සෙනෙවිට පැවසුවේ මක්නිසා ද ? එය ඔබ විසින් කළ ලොකු වරදක්. ""ඔබතුමාට කියන්නයි හිටියේ. ආරක්ෂාව පිළිබඳ සම්මන්ත්‍රණය පැවති දවසේ රාත්‍රියේ දීඝජන්තු මහා සෙනෙවිතුමා මා නැවතී සිටි තැනට පැමිණියා. එසේ පැමිණ තිබුණේ රජතුමාගේ නියෝගයක් අනුවයි. රජතුමා කීවා ලු ඒ පිළිබඳ සම්පුර්ණ විස්තරය මගෙන් දැන ගෙන එන්න යි කියලා."

"දිඝජන්තුට තිබුණේ එම කාර්යය මට පවරන්නයි."

"මමත් ඒක පිළිගන්නවා මහ සෙනෙවිතුමනි, අපෙන් අපමණ සේවය ලබා ගත්තත් , රජතුමා විශ්වාස කරන්නේ සොළී නිලධාරීන් කෙරෙහි පමණක් බව "

"එය රාජ ද්‍රෝහී සිතිවිල්ලක්. එළාර රජතුමා එවැනි කෙනෙක් නොවෙයි. දීඝජන්තු මා දිහා බලන්නේ ඊර්ෂ්‍යාවෙන්, සැකෙන්. රජතුමා මට මහ සෙනෙවිකම දුන් දවසේ ඉඳලා ඔහු ඊර්ෂ්‍යා කරනවා. ඔහුට වුවමනා කරන්නේ ප්‍රධාන මහ සෙනෙවි වෙන්න. එහෙත් සිංහල සේනාව රැඳී සිටින්නේ මා නිසයි. සිංහල සේනා බලය මගෙන් ගිලිහුණොත් ඔවුන් විනාශයි. යුද්ධයේ දී වැඩි බලය තිබෙන්නේ සිංහල සේනාව අතේය කියන එක එළාර රජතුමාත් තේරුම් අරගෙන තියෙන්නේ. අපිත් ඒ බව අඟවන්නට ඕනේ. ඔබට පැවරී තිබෙන වැඩ ඉවර වුණාට පසුව මාත් සමඟ වැඩ කරන්නට එන්න."

"එහෙත් දීඝජන්තු මහ සෙනෙවිතුමා නිතරම උත්සාහ කරන්නේ ඔහුගේ ආධිපත්‍ය තුළ මා රඳවා ගන්නටයි"

"සිරිනාග" මෙවර මිත්‍ර සෙනෙවි කතා කළේ තරමක් ශබ්දයෙනි. ඔහුගේ මුහුණේ රැඳුණු කෝපය ද පෙනෙන්නට විය.

"සිරිනාග, තොප කවුරු ද යන්න හොඳීන් තේරුම් ගන්නට ඕනෑ. අද නුඹ විඳීන වරප්‍රසාද සියල්ල ලැබුණේ කවුරු නිසා ද? අනාගතයේ නුඹට මහ සෙනෙවිකමක් ලැබෙන්නේ කවුරුන් නිසා ද?"

"ඇත්ත, මහ සෙනෙවිතුමනි, සිරිනාග කෙනකු ජිවත් වන්නේ ඔබතුමා නිසායි. ඒ සියල්ල මට මතකයි. මගේ අතීතයේත්, වර්තමානයේත්, අනාගතයේත් සාර්ථකත්වය රැඳී ඇත්තේ ඔබේ අතේ බව මම දන්නවා. "

"ඒ පිළිබඳ ව මගේ හෘදයාංගම කෘතඥතාව පිරිනමනවා"

"නුඹගේ මව ආරක්ෂා කළේ මම යි. සුමන මහ සිටුතුමා ඝාතනය කළ අවස්ථාවේ එම ඝාතකයන් සොයා වෙහෙසුණේ මම. සුමලී සිටු කුමරිය එළාර මහ රජතුමාට සරණ පාවා දීමට කටයුතු කළේ මම. නමුත් ඇතැමුන් පැවසුවේ මම සුමන සිටුතුමාගේ දේපළ හිමි කර ගන්න උත්සාහ කරනවා කියලයි.

"ජයනාථ සිටුතුමාට වෙළඳ කටයුතුත්, ගොවිතැන් කටයුතුත් නැවත ආරම්භ කිරීමට උපකාර කළේ මමයි. බෝධිනාගට විමලී කුමරිය සරණ පාවා දෙන්නට සියලු කටයුතු කළේ මම. ඇය සතු ව විශාල ධන සම්භාරයක් තිබුණා. ඇය මියගිය පසුව බෝධිනාග ජීවත් වුණේ සිටුවරයෙක් වගෙයි. "

"මගේ පියා මට මේ සියල්ල පවසා තිබෙනවා, මහ සෙනෙවිතුමනි "

"නුඹේ පියා කවුරු ද?"

මිත්‍ර සෙනෙවි දැඩි ස්වරයෙන් ප්‍රශ්න කළේ ය.

එය නොඇසිය යුතු ප්‍රශ්නයක් බව තේරුම් ගත් ඔහු නොසන්සුන් විය. සිරිනාග ද අවස්ථාවේ බැරෑරුම්කම තේරුම් ගත්තේ ය.

"බෝධිනාග මගේ පියා. නමුත් ඔහු මට සැලකුවේ දරුවකු හැටියට නොවෙයි. සතුරකු හැටියට. අම්මා ඉදිරිපිට දී මට පෑ ආදරය අනික් අවස්ථාවල දී තිබුණේ නැහැ. අම්මාත් ඒක තේරුම් අරගෙන හිටියා. නමුත් ඇය සිතින් දුක් වින්දා. තාත්තා කෙනකුගේ ආදරය දරුවකුට නොලැබෙන විට අත්විඳීන වේදනාව මමත් වින්දා. ඔබතුමා ළඟට මා එවන්නට ඇත්තේ ඒ හින්දා. එයින් මට හොඳක් වුණා. නැති නම් මා අනාථයෙක් වීමට ඉඩ තිබුණා."

"බෝධිනාග මහා කපටියෙක්. ඌ විමලීට වස දීලා මරල දැම්මා. ඇගේ වස්තුව, සුමන මහ සිටුතුමාගේ වස්තුව සියල්ල අරගෙන පැනල ගියා. සුමන මහා සිටුතුමාගේ මරණය පිටුපස බෝධිනාග ඉන්නවා කියලා මම දන්නවා. ඔහු මෙහෙන් අරගෙන ගිය වස්තුව වියදම් කරලා මාගම ලොකු ගෙයක් අරගෙන ඉන්නවා කියලා ආරංචියි. සිරිනාගට එහෙදි ඔහු හමු නොවුණු එක පුදුමයි."