Print this Article


රාගය

රාගය

සමහරු ඇඟ සනීප ඇති ලස්සන බලු පැටියකු දැක , ඌ වඩාගනිති. කවති, පොවති. බොහෝ ආදරය දක්වති. එහෙත් ඒ අය ම මයිල් වැටුණු, ඇඟ පුරා කුෂ්ටයෙන් වැසුණු, වණ තුවාල සහිත, ඇඟෙන් දුගඳ හමන, කැහැටු බලු පැටවකු දැක එළවා දමති. සමහර විට ගලින් මුලින් ගසා අහලකටවත් එන්නට නොදෙති. මෙසේ ඔවුන් එක බලු පැටවකුට ආදරයත්, තව එකකුට අනාදරයත් දක්වන්නේ මන්ද?

මෙහි රහස තව දුරට සිතා බැලුවා ම වැටහෙයි. ඔවුන් ආදර දක්වන ඒ ලස්සන බලු පැටියා ම, ලොම් වැටී, කුෂ්ට හැදී අවලස්සන වුවොත් , ඔවුන් එදා ඌට සලකන්නේ දෙවැනි කී කැහැටු බලු පැටවාට සලකන අන්දමට ම හෝ එයට ටිකක් කිට්ටු තරමින් ය.

මෙසේ එක ම සතාට අවස්ථා දෙකේ දී දෙ සැටියෙකින් සලකති. මෙයින් හැඟෙනුයේ කිමෙක් ද? ඔවුන් ආදරය දක්වන්නේ ඒ බලු පැටවාගේ ලස්සන ගතියට බවයි. එ බැවිනි ඌ ම අවලස්සන වූ විට ඔවුනට අප්‍රිය වන්නේ.

තිරිසනුන් ගැන පමණක් නො වැ, මිනිසුන් ගැනත් බොහෝ දෙනා ගේ ආදරය ඔවැනි යි. රූපය ලස්සන වැ ඇති කාලයෙහි ආදරය කරති. අවලස්සන වූ විට දකින්නට වත් කැමති නො වෙති.

ඉතින් මේ දක්වන මේ පෙරැළෙන ආදරය හොඳ ගතියෙක් ද? කුසලයෙක් ද?

මෙය හොඳ ගතියක් හැටියට, කුසලයක් හැටියට මෝඩයෝ සිතති. සත්‍යය නම් මෙය කුසලයක් නො වේ. හොඳ ගතියක් නො වේ. මෙය නම් පිටට පෙනෙන රූපයට රැවැටී එයට සිතින් වාල් වීමෙකි. සිතින් එයට ඇදී යාමෙකි. ඒ ගතිය කුසලයක් නො වේ. අකුසලයකි. සිතේ මහත් ම දුබල බවෙකි. රූපයේ ලස්සන පමණක් නො වැ කට හඬේ මිහිරිකම ආදී තවත් දැය නිසා ද සමහරු අන් අයට ඇලුම් කරති. මෙයට ප්‍රේමය, ස්නේහය, ආදරය කියා නම් කරති. එහෙත් මෙය නම් රූප ශෝභාදිය නිසා සිතේ ඇති වන ලොල් බව යි, රාගය යි. තණ්හාව යි. ගුණදහමෙක් නො වේ. අකුසලයකි.

බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් ගේ බුද්ධ භක්තිය කෘතියෙනි