Print this Article


පින් ලබා දීම අර්ථවත් ද?

පින් ලබා දීම අර්ථවත් ද?

පින් අනුමෝදන් කිරීම පටු සීමාවක, පියවි ඇසට පෙනෙන මානයෙන් සිදු විය යුත්තක් සේ අප නො සැලකිය යුතු ය. උදාහරණයක් ලෙස දේහය සමීප ව තබා ගෙන පාංශුකූල වස්ත්‍රය පූජා කිරීම හෝ දේහය නැතිව එම කාර්යය සිදු කිරීම යන අවස්ථා දෙක ම සමාන ය. පින් ලැබීම හෝ නො ලැබීම සිදු වන්නේ ඒ මත නොවේ.

බුදු දහමට අනුව පින් අනුමෝදන් වීම සහ අනුමෝදන් කිරීම යන අවස්ථා දෙක ම පින්කම් ය. වර්තමාන ජීවිතයේ දී බොහෝ කෙනකු සිත් තැවුලට පත් කරන කාරණය වන්නේ තම මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට ඇති ප්‍රායෝගික ගැටලුවයි. විශේෂයෙන් මෙම වසංගතය හමුවේ දී බොහෝ ආගමික චාරිත්‍ර, පුණ්‍යානුමෝදනා පෙර සේ සිදු කිරීම ගැටලුවකි.

ඒ මත ඇතැමෙක් ඉච්ඡා භංගත්වයට, මානසික පීඩාවට පත්ව ඇත. ඇතැම් විට එය එසේ වනුයේ පින්දීම පිළිබඳ යතාර්ථය නිවැරැදි ව අවබෝධ නොවීමෙනි.

පින් අනුමෝදන් කිරීම පටු සීමාවක, පියවි ඇසට පෙනෙන මානයෙන් සිදු විය යුත්තක් සේ අප නො සැලකිය යුතු ය. උදාහරණයක් ලෙස දේහය සමීප ව තබා ගෙන පාංශුකූල වස්ත්‍රය පූජා කිරීම හෝ දේහය නැතිව එම කාර්යය සිදු කිරීම යන අවස්ථා දෙක ම සමාන ය. පින් ලැබීම හෝ නො ලැබීම සිදු වන්නේ ඒ මත නොවේ.

සාංඝික දානය වූව ද නිවැසියන් ම එකතු ව තම නිවසේ ම සිදු කිරීමේ අවශ්‍යතාවය හෝ දින හතෙන් ම සිදු කිරීමට අත්‍යවශ්‍ය නොවේ. පින් ලැබීම නොලැබීම ඒ මත තීන්දු නොවේ. එහි නියම ධර්මානුකූල පැත්ත මනාව තේරුම් ගැනීම වර්තමාන සමාජයට ඉතා වැදගත් ය. කාල, දේශ, අවස්ථා අනුව කටයුතු සංශෝධනය කර ගැනීම දියුණු දර්ශනයක ස්වභාවය යි.

බුදුරදුන් නිරන්තර ව දේශනා කළේ ලෝක වජ්ජය, පඤ්ඤත්ති වජ්ජයට යටත් විය යුතු බව ය. මෙහි දී ලෝක වජ්ජය යනු රටක මූලික ප්‍රධාන නීතියයි. පඤ්ඤත්ති වජ්ජය යනු ආගමික ඉගැන්වීම්, අනෙක් පැනවීම් ආදිය යි. මෙ වැනි ව්‍යසනයක දී සම්ප්‍රදාය පවත්වා ගෙන පැමිණි සිරිත් සංශෝධනය කර ගත යුතු ය. බුදු දහම එවැනි නම්‍යශීලි ඉගැන්වීමක් බව අමුතුවෙන් පැහැදිලි කර දිය යුතු නොවේ. වර්තමාන භාවිතය තුළ ලෝකයට ම එය සක්සුදක් සේ පැහැදිලි ය. මෙවන් ශ්‍රේෂ්ඨ වූ දර්ශනයක පින් අනුමෝදන් වීම පිළිබඳ පැහැදිලි ඉගැන්වීමක් ඇතුළත් ය.

මෙහි දී වැදගත් වන්නේ පින් අනුමෝදන් කරන ආකාරය නොවේ.

අ. නි. ප්‍රේත දාන හෙවත් ජානුස්සෝණිය සූත්‍රයේ දී මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් සිදු කෙරේ.

ජානුස්සෝණිය බමුණා බුදුරදුන් සමීපයට පැමිණ විමසුවේ, තථාගතයන් වහන්ස, අපි බ්‍රාහ්මණයෝ වෙමු. මේ දානය පරලොව ගිය ඥාති හිතවතුන්ට පින් ලැබේවා යි පරිත්‍යාග කරනු ලැබේ. එම දානයෙහි ආනිසංස ඔවුන්ට ලැබෙන්නේ ද? යනුවෙනි. එහි දී තථාගතයන් වහන්සේ දේශනා කළේ ස්ථානයෙහි ලැබේ. අස්ථානයෙහි නොලැබේ යනුවෙනි. මෙහි දී ජානුස්සෝණිය ස්ථානය මොකක් ද, අස්ථානය මොකක් ද යනුවෙන් ප්‍රශ්න කිරීමේ දී පින් ලැබෙන නො ලැබෙන අවස්ථා ගණනාවක් දේශනා කළහ.

අවසානයේ දී බුදුරදුන් දේශනා කළේ පින් අනුමෝදන් නොවුණ ද කරන ලද පින් නො නැසෙන බව ය. එනම් පින් කරන ලද කෙනාට එය පිහිට පිණිස පවතී යනුවෙනි. මෙහි දී පින් ලැබෙන නො ලැබෙන තැන් තථාගතයන් වහන්සේ විස්තර කළහ. මේ ලෝකයෙහි යමකු සතුන් මරන්නේ ද, නුදුන් දේ ගන්නේ වේ ද, කාමයෙහි වරදවා හැසිරෙන්නේ ද, බොරු, කේලාම්, පරුෂ වචන, ප්‍රලාප දොඩන්නේ වේ ද, දැඩි ලෝභකම ඇත්තේ වේ ද, කෝප වූ සිත් ඇත්තේ වේ ද, මිත්‍යාදෘෂ්ටික වේ ද, එවන් අය මරණින් පසු නරකයෙහි උපදී. නරකයෙහි සත්වයන්ගේ යම් ආහාරයක් වේ ද හෙතෙම ඉන් යැපෙයි. ඔවුනට ලබා දෙන පින් අනුමෝදන් නොවේ. මෙය අස්ථානය යි.

එමෙන් ම පෙර සඳහන් කරන ලද සියලු පාප කර්මයන් සිදු කර ඇතැමෙක් මරණින් පසු තිරිසන් අපායට වැටේ. තිරිසන් යෝනියෙහි සත්වයන්ට යමක් ආහාර වේ ද ඔවුන් ඉන් යැපේ. ඔවුන්ට ලබා දෙන පින් අනුමෝදන් නොවේ.

ඉහත දැක් වූ සියලු අකුසල කර්මවලින් ඉවත් ව, පෙර යම් පිනක් මත යමකු මිනිසත් බවයක් ලබා ගනී. එසේ වූව ද ඔවුනට එම පින් අනුමෝදන් නොවේ. එය ද අස්ථානයයි. ප්‍රාණඝාතය, නුදුන් දේ ගැනීම ආදී අකුසල වෙනුවට කුසල සම්පත්තීන් දියුණු කොට මරණින් පසු දෙවියන් අතර උපදී. එහි දී දෙවියන්ට යමක් ආහාර වේ ද ඉන් හෙතෙම යැපෙයි. ඔවුනට ලබා දෙන පින් අනුමෝදන් නොවේ. මෙය ද අස්ථානයයි.

යමෙක් මේ ලෝකයෙහි දස අකුසල් සිදුකොට මරණින් පසු ප්‍රේත ලෝකයෙහි උපදී.

ප්‍රේත යනු අනුන්ගේ පින මත යැපෙන පිරිසකි. එහෙයින් එවන් අයට ඔහුගේ මිත්‍රයෙක්, ඥාතියෙක් ලබා දෙන පින් අනුමෝදන් විය හැකි ය. එය ස්ථාන යයි. ඔවුන් ද පින් නො ලබන්නේ නම්, වෙනත් ප්‍රේත කොටස් අනුමෝදන් වේ. එසේ ද අනුමෝදන් නොවූණ ද දායකයාට ඒ පින් නිෂ්ඵල නොවේ.

තව දුරටත් මෙහි දී තථාගතයන් වහන්සේ දේශනා කළේ ඇතැමෙක් ප්‍රාණඝාත ආදී පාප කර්ම සිදු කර ජීවිතය ගෙන ගිය ද ඒ අතර ශ්‍රමණ බ්‍රාහ්මණාදී දන් ලබාදිය යුතු පිරිස් වෙනුවෙන් විවිධ පූජාවන් සිදු කිරීමේ ප්‍රතිඵල මත ඇතුන් අතර උපදී. එහි දී ආහාරපාන නොයෙක් මල්මාලා පූජාවන් හිමිවේ. එය වර්තමාන ජීවිතයේ දී ද ඉතා හොඳීන් දැකිය හැකි ලක්ෂණයකි. විශේෂයෙන් නැදුන්ගමුවේ රාජා, ඉන්දිරාජා, වැනි හස්තීන් දෙස බැලීමේ දී ඒ තත්ත්වය පැහැදිලි වේ.

ඉහත දැක් වූ පාප කර්ම සිදු කොට ඒ අතර පින්කම් සිදු කිරීම මත අශ්වයන් අතර උපදී. එහි දී විවිධ ගෞරව සත්කාර ලැබෙනු ඇත. මේ ආකාරයෙන් ගවයන්, සුනඛයන් වී උපදී. අනෙක් ගවයන්ට සුනඛයන්ට වඩා ඒ තුළ බොහෝ සැප පහසුකම් විඳීමට පෙර පින ඒ සත්වයන්ට මග හෙළි පෙහෙළි කර දීම දැකිය හැකි ය. එසේ ම යම් මිනිසකු දස කුසල ධර්මවල යෙදීමත් සියලු පාපයන් දුරු කිරීමත් මත ශ්‍රමණ බ්‍රාහ්මණාදීන්ට විවිධ දානමාන සිදුකිරීම තුළින් මිනිසුන් අතර උපදී. එහි දී අන්‍ය මිනිසුන්ට වඩා සැප පහසුකම් සහිත ව උපත ලැබීමට ඔවුන් සමත් වේ. එමෙන් ම මෙවන් යහපත් දෑ සිදු කොට දාන ධර්මාදිය සිදු කිරීම නිසා ඇතැමෙක් දෙවියන් අතර උපදී. එතන දී අනෙක් දෙවියන්ට වඩා මහේශාක්‍ය දෙවියකු ව කටයුතු කිරීමේ භාග්‍ය උරුම වේ. මේ කුමන තත්වයක දී වූ ව ද කරන ලද පින් අනර්ථකර නොවේ. අර්ථ සම්පන්න වේ.