Print this Article


සුව ගෙනදෙන ආත්ම දමනය

සුව ගෙනදෙන ආත්ම දමනය

පින්වතුනි,

සැවැත්නුවර ඉසුරුමත් පවුලක දෙමාපිය දෙපළක් අගසවු සැරියුත් මහරහතන් වහන්සේට සිව්පසයෙන් නිති උපස්ථාන කරති. ඔවුනට පිනැති පුත් රුවනක් ලැබිණ.

එම කුමරු මව්කුස පිළිසිඳගත් තැන් පටන් නිවසෙහි වෙසෙන සියලුදෙනා ම සුව සම්පතින් පිනා ගිය හ. දුක් දොම්නස් රෝග පීඩා යනාදී බාධක දුරු විය. මෙම කුමරු උපන් පසු ඔහුට නම් තැබීම සඳහා සැරියුත් මහරහතන් වහන්සේට ආරාධනා ලැබිණ. කුමරු මව්කුස පිළිසිඳගත් දා පටන් පවුලේ සියලුදෙන සුව සේ වැඩුණු බව දත් උන් වහන්සේ කුමරුට “සුඛ කුමාර” යන නම තැබූ හ.

යහතින් වැඩෙන කුමරු සත් හැවිරිදි වියේ දී පැවිදිවීමට කැමැත්තක් දැක්වීය. සැදැහැවත් දෙමාපියෝ සැරියුත් මහතෙරුන් වහන්සේ ගේ ශිෂ්‍යයකු ලෙස කුමරු පැවිදි කර වූ හ.

පැවිද්දෙන් පසු පණ්ඩිත සාමණේර නම ලෙස හැඳීන්විණ. දිනක් සැරියුත් මහතෙරුන් සමඟ පණ්ඩිත සාමණේර නම පිඬුසිඟා වඩිමින් සිටිය හ. අතරමග දී ඇළ මාර්ග ඔස්සේ ඒ ඒ තැන් කරා දිය ගෙන යන්නන් පිරිසක් සාමණේර නමට දැක ගැන්මට ලැබුණි. මොවුහු කුමක් කරත් දැ යි, සැරියුත් තෙරුන් ගෙන් විමසී ය. මොවුන් කුඹුරු වගාවන් සඳහා ඒ ඒ තැන් දක්වා ජලය ගෙනයන බව සැරියුත් තෙරණුවෝ වදාළ හ.

තවත් මද දුරක් ගමන් කරන විට සාමණේර හිමියන්ට දැකගත හැකි වූයේ ඊතල ගින්නෙන් තවමින් ඇස් අගින් බලා ඇද හරින හී වඩුවන් පිරිසකි.

තවත් මද දුරක් ඉදිරියෙන් ලී දඬු නැවීම්, ඇද හැරීම් යනාදී සියුම් වැඩ මගින් රථවල නිම්වළලු සකස් කරන පිරිසක් දැකගත හැකි විය.

පසුව පිණ්ඩපාත ගමන නතර කළ සාමණේර හිමි විහාර ගෙය තුළට පිවිසියේ ය. මග දී දුටු මෙම සිද්ධි තුන නිමිති වශයෙන් ගෙන තමා ම තමන් දමනය කරගත යුතු ආකාරය නුවණින් මෙනෙහි කිරීමට තරම් උන් වහන්සේ ප්‍රඥාවන්ත වූ හ.

සිත් පිත් නැති ජලය වැනි ඉතා සියුම් දේත් යකඩ, ලී දඬු වැනි ඉතා තද දේත් කීකරු කොට ඒ ඒ කාර්යයෙහි යොදා ඉන් ප්‍රයෝජන ලබන අයුරු නුවණින් මෙනෙහි කළ හ.

සිත නොයෙක් අරමුණු කරා විසිර යා නොදී එක් අරමුණක තබා ගත් හ. සහජයෙන් ම නුවණැති උන් වහන්සේ තමා ගේ සිත තමා විසින්ම පාලනය කරන ලදුව මාර්ගඵලාවබෝධය ලැබූ හ.

මෙම අපූර්ව සිදුවීම නිමිති කරගත් බුදුරජාණන් වහන්සේ දම් සභා මණ්ඩපයේ දී මෙසේ වදාළ හ.

උදකං හි නයන්ති නෙත්තිකා
උසුකාරා නමයන්ති තෙජනං
දාරුං නමයන්ති තච්ඡකා
අත්තානං දමයන්ති පණ්ඩිතා

දියාලුවෝ (වාරිමාර්ගකරුවෝ) තමන් රිසි තැනට දිය පමුණුවති. හී වඩුවෝ හී ඇද හරිති. ලී වඩුවෝ ලී දඬු තමන් රිසි අතකට නමති. නුවණැත්තෝ තමන් දමනය කරති.

මෙමඟින් ඉගැන්වෙන්නේ ආත්ම දමනය පිළිබඳව යි. පාලි භාෂාවෙහි “අත්ත” යන පදයෙහි “ආත්මය” යන තේරුමක් නොමැත. එමගින් “තමා” යන සරල අර්ථය ගෙන දෙයි. සුප්‍රකට “අත්තාහි අත්තනො නාථො” යන පාඨයෙහි අදහස ද “තමා ම තමාට පිහිට ය” යන්නයි. මහා පරිනිබ්බාන සූත්‍රයෙහි එන “අත්ත දීපා විහරථ අත්තසරණා අනඤ්ඤ සරණා” යන්නෙන් කියැවෙන්නේ ද තමා දිවයිනක් හෙවත් පිහිටක් කරගෙන තමා සරණ කරගෙන අනෙකෙකු සරණ කර නොගෙන වෙසෙනු, යන්නයි. මේ අනුව විමසා බැලීමේ දී පැහැදිලි වන්නේ ඖෂධ භාවිත කිරීමෙන් රෝග සුවය සිදු වන්නාක් සේ ධර්මයෙහි හැසිරීමෙන් ම ආත්ම දමනය සිදුවන බව යි.

කෙලෙස් මැඩීම පිණිස ගන්නා උත්සාහය මෙහි දී ප්‍රධානත්වය ගනියි. කාම රාගය දුරු කිරීමට කායගතාසතිය හෙවත් පිළිකුල් භාවනාවත්, ක්‍රෝධය දුරු කිරීමට මෛත්‍රී භාවනාවත්, ඊර්ෂ්‍යාව දුරු කිරීමට මුදිතාවත් මෙහි දී මහෝපකාරී වෙයි. ආත්ම දමනයේ විශේෂ ලක්‍ෂණය ඉවසීමයි.

සුනාපරන්තයේ පුණ්ණ හිමි බුදු රදුන් සමඟ කළ සංවාදය ඊට වැදගත් ම නිදසුනකි.

දිනක් පුණ්ණ හිමි ස්වකීය ගමට යනු කැමැතිව බුදුරදුන් වෙත ගොස් භාවනා කිරීමට කමටහන් ඉල්ලා සිටියේ ය. එවිට බුදුරදුන් විමසූයේ, පුණ්ණ, සුනාපරන්තවාසීන් ඉතා නපුරු ය. චණ්ඩ ය. එහි දී ඔවුහු ඔබට බනිත් නම්

තර්ජනය කරත් නම් කෙසේ සිතන්නෙහි ද?

එවිට පුණ්ණ තෙරණුවෝ මෙසේ පැවසූ හ.

ස්වාමීනි, මට ඔවුන් බැන්නත්, තර්ජනය කළත් අතින් පයින් නොගසනු ඇත. එහෙයින් ඔවුන් හොඳ මිනිසුනැ යි, මම සිතමි.

බුදුරදුන් : ඔවුන් අතින් පයින් ගැසුවොත් කෙසේ සිතනවා ද?

පුණ්ණ හිමි : අතින් පයින් ගැසුවත් ගල් මුල්වලින් නොගසනු ඇත. එහෙයින් ඔවුන් හොඳ මිනිසුනැ යි, සිතමි.

බුදුරදුන් : ගල් මුල්වලින් ගැසුවොත් කෙසේ ද?

පුණ්ණ හිමි : එසේ වුවත් ඔවුන් මට පොලුවලින් නොගසනු ඇත. එහෙයින් ඔවුන් හොඳ මිනිසුනැ යි, සිතමි.

බුදුරදුන් : පොලුවලින් ගැසුවොත් කෙසේ ද?

පුණ්ණ හිමි : ආයුධ වලින් පහර නොදෙනු ඇත. එහෙයින් ඔවුන් හොඳ මිනිසුනැ යි, සිතමි.

බුදුරදුන් : ආයුධවලින් පහර දුන්නොත් කෙසේ ද?

පුණ්ණ හිමි : ආයුධවලින් පහර දුන්නත් ඔවුන් මා නො මරනු ඇත. එහෙයින් හොඳ මිනිසුනැ යි, සිතමි.

බුදුරදුන් : මැරුවොත් මරණ විට කෙසේ සිතනවා ද?

පුණ්ණ හිමි : භාග්‍යවතුන් වහන්ස, ශරීරය හා ජීවිතය ගැන කළකිරී දිවි නසා ගැනීමට ආයුධ සොයන පැවිද්දෝ ද බුදු සසුනෙහි සිටිති. මට එය නො සොයා ම ලැබුණේ යැයි, සිතමි.

එම පිළිතුරු අසා ඉමහත් ප්‍රසාදයට පත් බුදුරජාණන් වහන්සේ සාධු නාද දී “මෙතරම් ඉවසීමක් ඇති ඔබට සුනාපරන්තයෙහි විසිය හැකි වන්නේ යැ” යි වදාරා සමුදුන් හ. පුණ්ණ තෙරණුවෝ ස්වකීය ගම වූ සුනාපරන්තයට ගොස් වස් වසා උවැසි උවැසියන් දහසක් පමණ ඇති කොට බවුන් වඩා රහත් වූ හ. ඒ ආත්ම දමනයෙහි බලය යි.