Print this Article


ලක්දිව සංඝරාජ පදවිය - 2: සංඝරාජ පදවිය වෙනුවට උප සංඝරාජ පදවි පිරිනැමෙයි

ලක්දිව සංඝරාජ පදවිය - 2:

සංඝරාජ පදවිය වෙනුවට උප සංඝරාජ පදවි පිරිනැමෙයි

පොළොන්නරු යුගයේ පටන් ටීකාචාර්ය ශාරිපුත්‍ර මහාසාමි (ක්‍රි.ව. 1165 සිට 1186 ත් 1212 ත් අතර වකවානුවක්), වෛයාකරණී මෞද්ගල්‍යාන මහාසාමි (ක්‍රි.ව. 1212-1222), සංඝරක්ෂිත මහාසාමි (ක්‍රි.ව. 1212-1266), දිඹුලාගල ආරණ්‍යක මේධංකර මහාසාමි (ක්‍රි.ව. 1266- 1271),අත්තනගල්ලේ සබ්බයතිරජ ධුරන්දර අනෝමදස්සි මහාසාමි (ක්‍රි.ව. 1271-1295), පලාබත්ගල ධම්මකිත්ති මහාසාමි (ක්‍රි.ව. 1295-1337), ගඟතලා කරඹවළානේ කුල ශ්‍රීවන්ත විල්ගම්මුළ මහාසාමි සංඝරාජ (ක්‍රි.ව. 1337-1351), අමරගිරිවස වාසී දෙවනගල වනරතන මහාසාමි සංඝරාජ (ක්‍රි.ව.1351-1369), සීලවංස ධම්මකිත්ති මහාසාමි සංඝරාජ (ක්‍රි.ව. 1369- 1385), ශ්‍රී දේවරක්ෂිත ජයබාහු ධර්මකීර්ති මහාසාමි සංඝරාජ (ක්‍රි.ව. 1386-1417), ජයවර්ධනපුර වනරතන මහාසාමි සංඝරාජ (ක්‍රි.ව. 1417-1450), සිද්ධාර්ථ ධම්මදින්නාචාර්ය විමලකීර්ති ධර්මකීර්ති මහාසාමි සංඝරාජ(ක්‍රි.ව. 1450-1464), ෂඩ්භාෂා පරමේශ්වර ත්‍රිපිටක වාගීශ්වර ගලතුරුමුළ මේධංකර මහාසාමි සංඝරාජ (ක්‍රි.ව. 1464-1467), ෂඩ්භාෂා පරමේශ්වර ත්‍රිපිටක වාගීශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල මහාසාමි සංඝරාජ (ක්‍රි.ව. 1467-1480), වීදාගම ශ්‍රී මෛත්‍රෙය මහාසාමි සංඝරාජ (ක්‍රි.ව. 1480-1490),පැපිලියානේ සුනේත්‍රාදේවි පරිවේණාධිපති මංගල මහාසාමි සංඝරාජ (ක්‍රි.ව. 1490-1501), කෑරගල පද්මාවති පරිවේණාධිපති වනරතන මහාසාමි සංඝරාජ (ක්‍රි.ව. 1501-1521), ගඩලාදෙණියේ ධර්මකීර්ති මහාසාමි සංඝරාජ (ක්‍රි.ව. 1521-1548), අස්ගිරි ගණනායක ගුණදාහේ මහාතෙරසාමි (ක්‍රි.ව. 1548-1564), දෙවනගල රතනාලංකාර මහතෙරසාමි (ක්‍රි.ව. 1564-1592) ශ්‍රී ලංකාවේ සංඝ සමාජයේ උත්තරීතර ඨානාන්තරය වූ සංඝරාජ පදවිය හොබවන ලද මාහිමිවරුන් ලෙස සඳහන් කළ හැකි ය.


මල්වතු විහාරයේ පෝයගෙය තුළ දක්නට ඇති වැලිවිට ශ්‍රී සරණංකර හිමියන්ගේ සිතුවම

යුරෝපීය ආක්‍රමණ, දේශීය රාජ්‍ය තාන්ත්‍රික ආරවුල් ආදී හේතුනිසා මෙයින් පසු සංඝරාජ පදවිය කලක් නොපැවති බව උපකල්පනය කළ හැකි ය. නැවත සංඝරාජ පදවිය ලක්දිව පිහිටුවන්නේ ස්‍යාමොපසම්පදාවනේ පසුව ය.

ව්‍යවහාර වර්ෂ 1698 දී තුම්පනේ වැලිවිට උපත ලබා සූරියගොඩ විහාරයේ දී පැවිදි වූ වැලිවිට සරණංකර හිමියන් පරිහානි තත්වයේ පැවති සම්බුදු සසුන දැක සංවේග උපදවා යළි චිරස්ථිතිය පිණිස කටයුතු කිරීම අරඹන ලදි.

ධර්ම ශාස්ත්‍රීය උභය අංශයෙහි ම සිදු වී ඇති පරිහානිය දැක ඉමහත් ආයාසයකින් ස්වකීය ශාස්ත්‍රොද්ග්‍රහණ කටයුතු සිදු කොට ඒ වන විට ගෘහස්ථ ජීවිතයක් ගත කරමින් සිටි ගණින්නාන්සේ නම් දුසිල් පිරිසක් බවට පත්ව සිටි සංඝ සමාජය යළිත් සුපේෂල ශික්ෂාකාමීත්වයෙහි පිහිටුවාලීමට සිල්වත් සමාගම නම් සංවිධානය අරඹන ලදී.

ගණින්නාන්සේලාගේ විවිධ වූ බාධා කිරීම් මධ්‍යයේ වුවද ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ, ශ්‍රී විජය රාජසිංහ සහ කීර්ති ශ්‍රී රාජසිංහ යන රාජ යුගයන්හි දී අවස්ථා කිහිපයක් බුරුමය හෝ තායිලන්තයෙන් උපසම්පදාව නැවත මෙරටට ගෙන ඒම පිණිස උත්සාහයන් රාශියක් සිදු කළ බව සඳහන් ය.

වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සංඝරාජයාණන් වහන්සේගේ මෙහෙයවීම මත කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජතුමාණන්ගේ රාජානුග්‍රහයෙන් ව්‍යවහාර වර්ෂ 1753 ඇසළ පුර පසළොස්වක පොහෝ දින මහනුවර මල්වතු මහා විහාරයීය රාජපූජිත මංගල උපෝෂථාගාරයේ දී ස්‍යාම ජාතික උපාලි මහ තෙරුන් වහන්සේ වරප්‍රමුඛ දශ වර්ගික මහා සංඝ රත්නය වෙතින් මල්වතු විහාරයේ කොබ්බෑකඩුව, වැලිවිට, හුලංගමුවේ,බඹරදෙණියේ සහ තිබ්බටුවාවේ සාමණේරයන් වහන්සේලා ද, අස්ගිරි විහාරයේ නාවින්නේ සාමණේරයන් වහන්සේ ද උපසම්පදා ලැබීමෙන් පසු යළිත් ලක්දිව උපසම්පදා කටයුතු ඇරඹීමෙන් පසු දිවයිනේ සතර දිග්භාගයෙන් ම උපසම්පදාපේක්ෂක ව සිටි සාමණේරයන් වහන්සේලා සාමණේර භාවයෙන් ඉහළ තලයට ඔසවාලමින් අධිශීල ශික්ෂා සංඛ්‍යාත සුපරිශුද්ධෝපසම්පදාවට පමුණුවාලන ලදි.

ස්‍යාමෝපසම්පදාව පිහිටුවීමෙන් පසු එළඹි පසුවස් වසන දින කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමා විසින් කලක් පුරා පුරප්පාඩු ව පැවති ලක් සඟ සමාජයේ උත්තරීතර පදවිය වූ සංඝරාජ පදවිය වැලිවිට සරණංකර හිමිපාණන් වහන්සේ වෙත ද, මල්වතු මහාවිහාරයේ නායක පදවිය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ෂිත හිමිපාණන් වහන්සේ වෙත ද අස්ගිරි විහාරයේ නායක පදවිය උරුලෑවත්තේ ශ්‍රී පියදස්සි ධම්මසිද්ධි හිමිපාණන් වහන්සේ වෙත ද පුද දෙන ලදි.

මෙකී පදවි පිළිගැන්වීම වශයෙන් ඇත් දළ මිට සහිත විජිනිපත් පිළිගැන්වූ බව සහ ඒ වන විට ලංකාවේ පැවති විහාරස්ථාන හාරදහස් අටසියයක් වූ බවත්, එම විහාරස්ථාන දෙදහස් හාරසීය බැගින් මෙම මල්වතු සහ අස්ගිරි විහාර දෙක වෙත බෙදා දුන් බවත් සඳහන් වෙයි.


වැලිවිට ශ්‍රී සරණංකර හිමියන්ට සංඝරාජ පදවිය පිරිනමන ලද මල්වතු මහාවිහාරයේ රාජපූජිත උපෝෂථාගාරය

සංඝරාජ හිමියන්ගේ අභාවයෙන් පසු සංඝරාජ පදවිය ද අභාවයට පත් වී ඇත. මල්වතු අස්ගිරි උභය මහාවිහාරයේ නායක පදවිය උප සංඝරාජ පදවි ලෙස මන්දාරම්පුර පුවතෙහි සඳහන් වී ඇත.

මෙම ශාසනික ඨානාන්තර පිරිනැමීමේ දී වයෝවෘද්ධත්වයට වඩා සීලාදීගුණ වෘද්ධත්වය ම උසස් යැයි සැලකූ බව, පළමුව උපසම්පදාව ලත් මල්වතු විහාරයේ කොබ්බෑකඩුව හිමියන් සහ අස්ගිරි විහාරයේ නාවින්නේ හිමියන් වෙත මෙම තනතුරු ප්‍රදානය නොකොට වැලිවිට සරණංකර හිමි, තිබ්බටුවාවේ බුද්ධරක්ෂිත හිමි සහ උරුලෑවත්තේ ධම්මසිද්ධි හිමි ආදී හිමිවරුන් වෙත පුද දීමෙන් හෙළිදරව් වෙයි.

සංඝරාජ පදවිය සහ මල්වතු අස්ගිරි උභය මහා විහාරයීය නායක පදවි පිහිටුවා දස වසක් ඇවෑමෙන් කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජතුමා උභය විහාරවාසී මහා සංඝ රත්නය රජුගේ රාජ සභාව වශයෙන් පැවති දළදා මැදුරු පරිශ්‍රයේ මඟුල් මඩුවට රැස් කරවූහ.

ස්‍යාමෝපසම්පදාව පිහිට වූ ප්‍රථම වර්ෂය තුළ උපසම්පදා වූ සංඝයා අතුරින් එක් විහාරයකින් සතළිස් නම බැගින් අසූ නමක් තෝරා, ඒ අතරින් විසි නමක් කුසපත් ඇදීම මඟින් තෝරා අනුනායක පදවි පිහිටුවා කුසපත් ඇදීමෙන් තෝරාගත් භික්ෂූන් වහන්සේලා කාරක සභිකයන් වහන්සේලා ලෙස පත් කොට විංශත් වර්ගික කාරක සභා පිහිටුවා සෙසු හිමිවරුන් අනුකාරක සභිකයන් ලෙස අනුකාරක සභාවක් පත්

කොට සංඝ සමාජයේ පාලන සංවිධානය ශක්තිමත් භාවයට පත් කරවන ලදි.

රජතුමා විසින් මහානායක, අනුනායක ආදී මෙම ඨානාන්තරයන් ප්‍රදානය කළ ද එය සංඝ සම්මතයෙන් සිදු වූ බවට නිදර්ශනයකි මොරතොට ධම්මක්ඛන්ධ හිමියන් අනුනායක පදවියට පත් වීම. රජතුමා සමඟ විශේෂ හිතවත්භාවයකින් සිටි ස්වකීය ආචාර්යත්වයෙහිලා රජතුමා වෙතින් සම්මානිත වූ මොරතොට ධම්මක්ඛන්ධ හිමියන් මල්වතු මහාවිහාරයේ අනුනායක පදවියට පත් වෙතැයි රජතුමා අපේක්ෂා කළත්

අන්‍ය හිමිනමක් අනුනායක පදවියට පත් වූ පසු රජතුමා එම පදවිය පිරිනැමීම පිළිගෙන, ධම්මක්ඛන්ධ හිමියන් වෙනුවෙන් තවත් අනුනායක පදවියක් පිරිනමන ලෙස කළ ඉල්ලීම මල්වතු විහාරයීය සංඝයා වහන්සේලා ද පිළිගෙන ඇත. එතැන් සිට අද දක්වා ම මල්වතු විහාරයේ අනුනායක පදවි දෙකක් පවතී.

කීර්ති ශ්‍රී රාජසිංහ රජු අස්ගිරි මහාවිහාරයට අනුනායක හා ද්විතීය අනුනායක යනුවෙන් පදවි දෙකක් පත් කළ බවත් මෙම අනුනායක දෙකට ම ග්‍රන්ථ ධුරයට සම්බන්ධ හිමිවරුන් පත් වූයෙන් විදර්ශනා ධුරය සඳහා ද අනුනායක පදවියක් පත් කොට තිබේ.

මෙසේ මුල්ම අනුනායක පදවි සඳහා ග්‍රන්ථ ධුරය වෙනුවෙන් ඉඳවලුගොඩ ධම්මපාල, දැඹව ධම්මපාල හිමිවරු ද විදර්ශනා ධූරය වෙනුවෙන් රඹුක්වැල්ලේ රතනජෝති හිමියෝ ද පත් වී වදාළහ.

මෙම ලිපියේ ඉතිරි කොටස බුදුසරණ අමාවක පෝදා (සැප්: 06) පත්‍රයේ පළවේ.