Print this Article


ශ්‍රී ලංකාවෙන් ලෝකයට දිය හැකි අනර්ඝතම වස්තුව නිර්මල බුදුදහම යි

ශ්‍රී ලංකාවෙන් ලෝකයට දිය හැකි අනර්ඝතම වස්තුව නිර්මල බුදුදහම යි

උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ තායිවානයේ ප්‍රධාන සංඝනායක ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ සංස්කෘතික අංශයේ අධ්‍යක්ෂ කැලණිය මානෙල්වත්ත ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ නිර්මාතෘ සහ උපකුලපති කැලණිය මානෙල්වත්ත විහාරාධිපති ආචාර්ය බෝදාගම චන්දිම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

දෙස් විදෙස් සම්භාවනාවට පාත්‍ර වූ කීර්තිමත් ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් ජාතික සහ ජාත්‍යන්තරව සුවිසල් කාර්ය භාරයක් ඉටුකරන බව ප්‍රකටයි. කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයේ නිර්මාතෘවරයා වශයෙන් යමකු විස්මයට පත්වන තරම් මේ සා විශාල කාර්යභාරයක් සිදුකිරීමට ශක්තිමත් වුණේ කොහොම ද ? නායක හාමුදුරුවනේ,

මහනුවර වැලිවිට සංඝරාජ කෟතුකාගාර විහාරාධිපති කන්දක්කුලමේ නායක හාමුදුරුවන් වහන්සේ මානෙල්වත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා මට බාර කළා. හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධන මහතා සහ එළීනා ජයවර්ධන ආර්යාව තමන්ගේ දේපළ මහනුවර වැලිවිට සංඝරාජ කෞතුකාගාර විහාරස්ථානය වෙත පූජා කර තිබෙනවා. ඒ වගේම මෙම මානෙල්වත්ත ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයක් කළ යුතු බවත්,සතර දිගින් වඩින මහා සංඝ රත්නයට උපස්ථාන කළ යුතු බවත්, නවාතැන් පහසුකම් සැපයිය යුතු බවත්, එය අංග සම්පූර්ණ විහාරස්ථානයක් කළ යුතු බවත් තඹ පත්වල සඳහන් කර තිබෙනවා.

එහෙත් එම කාර්යය ඉටු කර ගැනීමට නායක හාමුදුරුවන්ට අවස්ථාව ලැබිල නැහැ. උන්වහන්සේ මැලේසියාවට වැඩම කළ අවස්ථාවක මැලේසියාවේ සංඝනායක කිරින්දේ ශ්‍රී ධම්මානන්ද නායක හාමුදුරුවන් වහන්සේට මානෙල්වත්ත පිළිබඳව දන්වා තිබූ අදහස් අනුව කිරින්දේ ධම්මානන්ද නායක හාමුදුරුවන් වහන්සේ එම තොරතුරු මා වෙත දන්වන්නට යෙදුණා. ඒ අවස්ථාවේ මම තායිවානයේ වැඩ සිටියේ. ලංකාවට වැඩම කළ වහාම කන්දක්කුලමේ ධම්මකිත්ති නායක හාමදුරුවන් වහන්සේ බැහැ දැකපු අවස්ථාවේ උන්වහන්සේ එම භාරදූර කාර්යය මා වෙත පවරන්නට යෙදුණා.

2003 වර්ෂයේ දී මානෙල්වත්ත බාර ගන්නා විට වසර 20 ක් පුරා මහා කැලෑවකින් වැසී තිබුණ විශාල භූමි භාගයක්. ඒ වන විට එම ප්‍රදේශයේ සිටින සර්පයන්, සුනඛයන් වැනි සතුන් එම කැලෑබද ප්‍රදේශයට රැගෙනවිත් දමනවා. මම එම ස්ථානයට වැඩම කළ අවස්ථාවේ දී ම සමස්ත ලෝකයටම බුදු දහම බෙදා දෙන ප්‍රධාන බෞද්ධ මධ්‍යස්ථානයක් කරනවා යන හැඟීමෙන් අධිෂ්ඨානයක් ඇති කරගත්තා. එහිදී වසර දහසකට පෙර ඉන්දියාවේ පැවතුණ නාලන්දා විශ්ව විද්‍යාලය මගේ මතකයට නැඟුණා. ඒ් වගේ විශ්ව විද්‍යාලයක් මෙතෙක් ලෝකයට බිහිවෙලත් නැහැ. ලෝකය පුරා වැඩ සිටින ථේරවාද, මහායාන,වජ්‍රයාන යන සියලුම උගත් ස්වාමීන් වහන්සේලා බිහිවුණේ නාලන්දා විශ්ව විද්‍යාලය තුළින්.

එවැනි නාලන්දාවක් නිර්මාණය කරනවා යන අධිෂ්ඨානයෙන් යුතුව වැඩ කටයුතු ආරම්භ කළා. අපේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අගමැතිතුමා 2006 වර්ෂයේ දී ස්වාමීන් වහන්සේලා දහසකට දන් පූජා කළ අවස්ථාවේදී එම ස්ථානය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් ඉදිකරන ලෙස සමරු පළකය පිහිටවණු ලැබුවා. 2009 වර්ෂයේ දී බුද්ධ ශ්‍රාවිකා අධ්‍යාපන ආයතනය නමින් අධ්‍යාපන ආයතනයක් ලංකාවේ මෙහෙණින් වහන්සේලා වෙනුවෙන් මම ආරම්භ කළා.

එම කටයුතු ඉදිරියට කරගෙන යන අතරතුරේ 2012 වර්ෂයේ පවත්වන්නට යෙදුණ 2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් විදෙස් ගත ස්වාමීන් වහන්සේලාටත්, යුනෙස්කෝ තානාපතිවරුන්ටත් මා විසින් ආරධනා කළා.

එම අවස්ථාවේදී මෙවැනි ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමේ අවශ්‍යතාවය ඔවුන් ඉදිරියේ ප්‍රකාශ කරන්නට අවස්ථාව ලැබුණා. එහිදී එවකට ජනපතිව සිටි වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ කළ සාකච්ඡාවේ දී ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වෙනත් ස්ථානයක ඉදිනොකරන ලෙසත්, එය මානෙල්වත්තේම ගොඩනැඟීමට කටයුතු කරන ලෙසත් එතුමා ප්‍රකාශ කරන්නට යෙදුණා. එදා සිට සැලසුම් කරමින් 2013 වර්ෂයේදී මානෙල්වත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ඉදිකිරීමට මුල්ගල තැබුවා. එම කාලය තුළ මට හිතවත් විදේශීය සියලු දායකයන් මෙම භාරදූර කාර්යභාරය සඳහා උදව් උපකාර කළා.කෝටි දහසක වියදමින් විශාල ගොඩනැඟිලි 11ක්,ශිෂ්‍ය නිවාස, සම්මන්ත්‍රණ ශාලා, පන්තිකාමර එකම සැලසුමකට අනුව ඉදිකරමින් මේ වන විට විශාල වැඩ කොටසක් කර තිබෙනවා.

වර්තමානය වන විට ආචාර්ය උපාධිය ලබාදිය හැකි තත්ත්වයට පත්කළා. ශ්‍රී ලංකාවෙන් ලෝකයට දිය හැකි අනර්ඝතම වස්තුව නිර්මල බුදු දහම යි. අපි ලංකාව‍ට එන්නේ ලංකාවේ තිබෙන අනර්ඝතම වස්තුව වන නිර්මල බුදු දහම ලබා ගැනීම සඳහා මිස , තේකොළ ,මැණික්, ස්වර්ණාභරණ ගැනීමට නොවෙයි, යනුවෙන් විදේශීය දායකයන් ප්‍රකාශ කරනවා. අපේ ප්‍රධාන පරමාර්ථය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලය මුළු ලෝකයටම නිර්මල බුදු දහම බෙදා දෙන ප්‍රධාන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් බවට පත්කිරීමයි.

ජාත්‍යන්තර වශයෙන් සම්බන්ධතා ගොඩනඟාගැනීමට පසුබීම සකස්වුණේ කොහොමද? අපේ හාමුදුරුවනේ,

මම මුලින්ම අධ්‍යාපන කටයුතු සඳහා තායිවානයට වැඩම කළා. තායිවානය මහායාන රටක්. මම තායිවාන විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාල පරිච්ජේදයේ දී පොත් පත් මුද්‍රණය කරන ථේරවාදී බෞද්ධ අධ්‍යාපන ආයතනයකට සම්බන්ධ වුණා. පොත් මුද්‍රණය වෙලා තිබුණේ චින භාෂාවෙන් පමණයි. ඒ අවස්ථාවේදී මගේ පූර්ණ සහයෝගය ලබාදෙමින් භාෂා 30 කින් ධර්ම ග්‍රන්ථ මුද්‍රණය කිරීම ආරම්භ කළා. සෑම වර්ෂයකදීම මුළු ලෝකයේම රටවලට වැඩම කරමින් ඒ රටවල සිටින මගේ දායකයන්ගේ ආරාධනා අනුව විවිධ භාවනා වැඩ සටහන් ක්‍රියාත්මක කරමින් , අටසිල් සමාදන් කරමින් මිනිසුන්ට යමක් ලබා දුන්නා. ඔවුන් ලංකාවට පැමිණි විට මා කෙරේ විශ්වාසයක් ගොඩනඟා ගත්තා. බුරුමය,මියන්මාරය තුළ ගෙවල් දහස් ගණනක් ඉදිකර තිබෙනවා. මේ සියලු දේ කිරීම සඳහා ඇතිකර ගත්තේ විශ්වාසය පමණයි. අපි නිවැරැදිව කටයුතු කරනවා නම් මිනිස්සු අප කෙරේ තබන විශ්වාසය තුළින් අපට සියලු දෙය ජයගත හැකියි.

වසර 35 ක් පුරා එදා සිට හිත්වත් වුණු විදේශීය දායකයන් මාත් සමඟ තවදුරටත් සිටින්නේ ඔවුන් මා කෙරේ තබා තිබෙන විශ්වාසය නිසයි. සුනාමි අවස්ථාවේ ලංකාවට ගෙවල් දහසකට අධික ප්‍රමාණයක් ඉදිකර දුන්නා. ළදරු පාසල්, අනාථ ළමා නිවාස නිර්මාණය කළා. බණ්ඩාරගම ධර්මචක්‍ර ළමා පදනම පිහිටුවා විශාල සේවා රැසක් සපයනවා. මේ සියලු දේ සඳහා මට උපකාර කරන්නේ විදේශීය දායකයන්. මම යුනෙස්කෝ වේ වසර 3ක් වෙසක් උත්සවය පැවැත්වුවා. ඒ මිනිසුන්ට අවශ්‍ය කරන නිර්මල බුදු දහම ලබා දෙනවා නම්, ඔවුන් අපට ශක්තිය ලබා දෙනවා.

ඔබ වහන්සේ ලාංකේය ශාසනික ප්‍රබෝධය පිළිබඳව කෙබඳු මතයක් දරනවාද?

ලංකාවේ ඇතැම් භික්ෂූන් වහන්සේලා කළ යුතු කාර්යය නොවෙයි කරන්නෙ. බොහොම කනගාටුයි. ලෝකයේ කොහෙවත් නැති වටිනා නිර්මල බූදු දහමක් තිබෙන අපේ රටේ මේ ධර්මය, භාෂාව නිවැරැදිව හැදෑරුවොත් අපට මුළු ලෝකයම ජය ගන්න පුළුවන්. ඇතැම් භික්ෂූන් වහන්සේලා පෙළපාලි යමින්, පාරේ ළගිමින්, කෑකෝ ගසමින්,රැවුල කොණ්ඩ වවාගෙන, භික්ෂූත්වයට නොගැලපෙන අයුරින් කටයුතු කිරීම සිවුරට කරන අගෞරවයක්.

ශාසනය විනාශ කරන්න සිදුකරන වැඩ මිසක්, ඒ හාමුදුරුවන් වහන්සේලා නොවන බවටයි අපි ලෝකයට හඳුන්වා දෙන්නේ.

මේ බුද්ධ චීවරය දරාගෙන මුළු ලෝකයම ජයගන්න පුළුවන්කම තිබියදී අපි අපට අයිති කාර්යභාරය කරන්නේ නැහැ. නිර්මල බුදුදහම ලංකවේ තිබුණත්, එය පිළිනොපැදීම තමයි තිබෙන ප්‍රශ්නය. ධර්මානුකූල ව අවංක ව කරුණාව,මෛත්‍රිය මුලික කරගෙන සියලු දේ කළ යුතු වුවත්,. වෛරය ,ක්‍රෝධය, තණ්හාව පොදිබැඳගෙන මේ රටේ තිබෙන නිර්මල බුදු දහමට හානි කරන ඇතැම් පිරිසක් මේ රට තුළ සිටිනවා.