Print this Article


නිවැරැදිව සංඝික දානයක් දෙන්නේ මෙහෙමයි

නිවැරැදිව සංඝික දානයක් දෙන්නේ මෙහෙමයි

තරගකාරී දාන නොව තමන්ට හැකි උපරිම අයුරින් සැකසීම ප්‍රමාණවත් වේ. දුන් දානයේ විපාක දනිමු යන පිරිසුදු වූ සිතින් පූජා බුද්ධියෙන් යුතුව දානය හා ඒ හා බැඳී හැම කටයුත්තක් ම අනුන්ලවා නොව තමන් ම මැදිහත් ව පිළියෙළකොට කරන්නේ නම් එය සකසා දන්දීම“ යනුවෙන් ද කියැවේ.

දන්දීම බොහෝ ශාස්තෘන් වහන්සේලාගේ දහම් තුළ හඳුන්වා දී ඇත. එහෙත් ඒවායේ පරමාර්ථ විවිධ ය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ දේශනා කොට ඇත්තේ දන් දෙන්නා සතු යම් වස්තු තිබේ ද සාධාරණව උපායගත් ඒවා කෙරෙහි ඇති ලෝභකම ටිකෙන් ටික තුනීකර ගැනීමට දන් දිය යුතු බව ය.

මක්නිසා ද? ලෝභකම හෙවත් ආසාව - තණ්හාව - තෘෂ්ණාව යමෙකුට දුකට හේතුවන බවත් දන්දීම සැපයට කාරණයක් වන බවත් සලකා ය. එහෙයින් සියල්ලෝ සැපයට කැමැති වන හෙයින් බුද්ධ දේශනාවේ පින්කම් අතර “දානය“ ප්‍රථම ස්ථානයෙහිලා දේශනා කළ සේක.

බුද්ධෝත්තමයකු වසර කල්ප කෝටි ගණනකට වරක් මිනිස් ලොව පහළවන්නේ, ලැබූ ජීවිතය පුරා හෝ සසර පුරා හෝ මිනිසුන් විඳීන කිසියම් දුකක් වේ ද ඒවායින් මුදවා ගෙන සැප ලබාදෙන දහම් ඇතුළත් අනුශාසනා කියාදීමට ය. එසේ දේශිත ධර්මයේ උත්තම සැපය වනුයේ නිවන් සැපය ම වේ. යමෙකු මේ පරමනෂ්ඨාවට (අන්තිම කෙළවර) යාමට සිත ඇත්තේ නම් පළමු කොට කළ යුත්තේ යහපත් අරමුණු ඇතිව දන්දීම පුරුද්දක් කර ගැනීම ය. දන්දීමට කැමැත්තක් - පුරුද්දක් නැත්තේ නම් කය - වචනය සංවර කරගන්නා ශීලය නොරැකේ. දාන - සීල දෙක නැත්තේ නම් කෙනෙක් භාවනා කළත් සිත සන්සුන් කිරිමට උත්සාහ කළත් එය පහසු නොවේ.

බුද්ධ දේශනාවේ ඇති අනුපිළිවෙල කථාවේ ද අංක එක වනුයේ දාන කථාය. ත්‍රිපිටක දේශනාව පුරාම ඒ ඒ අවස්ථාවන්ට හා පුද්ගලයන් අරභයා බුදුරජාණන් වහන්සේ දේශනා කළ දාන කතා ඇතුළත් විවිධ දේශනා රාශියක් ඇතිමුත් දැන් අපි මාතෘකාවට අදාළ සරල කෙටි සටහනක් මෙසේ දක්වමු.

බුදුරජාණන් වහන්සේගේ කිරි මව් මහා ප්‍රජාපතී ගෝතමිය වරක් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ම සිවුරු පිළියෙළ කිරීමට සුදුසු අලුත් වස්ත්‍ර දෙකක් තමා විසින් ම කපු ගෙනවිත් නූල් සාදා ගැනීමේ පටන් ම වියා ගොතා සකසා ගෙනවිත් මට අනුකම්පා පිණිස පිළිගන්වා” සේක්වා‘යි බුදුරජාණන් වහන්සේට පූජා කළා ය.

“ගෞතමි මෑණියනි. එය සංඝයාට පූජා කරන්න. සංඝයා විෂයෙහි දුන් කල එය මට ද පුදන ලද්දෙමි වෙමි'යි. සංඝයාට ද පුදන ලද්දේ වේ යැයි, වදාළ සේක. ස්වාමිනී, වස්ත්‍ර යුගල භාග්‍යවතුන් වහන්සේ ම උදෙසා මවිසින් ම වියන ලද්දකි. මට අනුකම්පා පිණිස එය පිළිගන්නා සේක්වායි“ දෙවන වරද සැල කළාය. බුදුරජාණන් වහන්සේ දෙවන වරද පළමු සේ ම වදාළ සේක. තෙවන වරද එසේ ම වූයේ ය. මෙසේ වූයේ මක් නිසා ද? ඒ පළමු සුළු මෑණියන්ට වැඩියෙන් පින් රැස් කර ගැනීම සඳහා ය. නැතිනම් එය පුද්ගලික දානයක් වී ලැබෙන පින් අඩුවෙන බව බුදුරජාණන් වහන්සේ අපට කියාදුන් තැනකි මේ.

මෙය ද සිහිපත් කළේ අපි දෙන බොහෝ සාංඝික දාන දැන් පුද්ගලික දාන බවට පත් වී ඇති බව දන් දෙන ශ්‍රද්ධාවත් බහුතරයක්නොදැන සිටින බව පෙන්වා දීමට ය. ඒ කෙසේ ද? තමන් නිවෙසට වඩම්මවා සංඝගත දක්ෂිණාවක් දීමේ දී බොහෝ දෙනා කැමැති තමන් දන්නා හඳුනන සමීප ව අසුරු කරන ස්වාමීන් වහන්සේලා, ඒ දානයට වැඩියොත් හොඳ යන්න ය.

මේ අතර තමන් නොදන්නා ස්වාමීන් වහන්සේලා, පුංචි සාමණේර ස්වාමීන් වහන්සේලා මෙන් ම තමා පුද්ගලිකව දැන සිටින සිල්වත්කමින් අඩු ස්වාමීන් වහන්සේලා තමන්ගේ නිවසේ දානයට වැඩමකර සිටී නම් ඔහු කළකිරීමට පත්වේ. මෙයින් වන්නේ පුද්ගලික දානයක් කොට අඩුකර ගත් පින තවත් අඩු කර ගැනීම ය.

එහෙයින් මෙහි දී ද බුදුරජාණන් වහන්සේගේ දේශිත ධර්මයෙහි සඳහන් වන්නේ ඔබේ නිවසට ආරාධිතව දානයට වැඩම කරන්නේ බුදු පියාණන්ගේ බුද්ධ පුත්‍ර රත්නයක් සේ සලකන ලෙස ය. එසේ ඔබ සලකා දන් දුනහොත් ඔබ ඔබේ දානවස්තු පූජා කොට ඇත්තේ රහතන් වහන්සේ නමකට ය. එවිට අපට ලැබෙන පින අතිමහත් ය.

බුදුරජාණන් වහන්සේ ඇයි මෙසේ අනුශසනා කොට ඇත්තේ? වසර පන්දහසක් කල් පවතින මේ බුද්ධ ශාසනය බුදු වී වසර 45 වැඩ සිටි බුදුරජාණන් වහන්සේ පිරිනීවීමෙන් පසු තුන් කල් හිම ආරක්ෂා කරන්නෝ බුද්ධ චීවරය නම් වූ අරහත් ධජය දරන මේ බුද්ධ පුත්‍රයෝම ය. අනෙකක් නැත.

එමෙන් ම අපේ ගමේ පන්සලේ අද වැඩ සිටින කුඩා සාමණේර හා උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් වේ ද කුමන අඩුපාඩු තිබුණත් මේ සියල්ලෝ බුද්ධ පුත්‍ර කොණ්ඩඤ්ඤ - සාරිපුත්‍ර - මොග්ගල්ලාන අරහත් සංඝ පරම්පරාවේ අවිචින්න නියෝජනය දරන්නාහු ය.

මේ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, ඔබේ නිවසට දානයට වැඩමකර සිටින්නේ රහතන් වහන්සේ නමක් සේ සලකා උපස්ථාන කරන්නේ නම් අපට ලබා ගත හැකි පුණ්‍ය සම්භාරය බෙහෝ වන බව වදාළේ ය.

මෙසේ ගත් විට වැඩම කළ භික්ෂූන් වහන්සේගේ සිල්වත් - දුසිල්වත් බව දන් දෙන්නාට අදාළ නැත. ඒවායේ ආනිසංස උන්වහන්සේලා සතු ය. බුදුරජාණන් වහන්සේ වදාළේ දන්දෙන දායකයාට වැඩි ආනිසංසයක් ලැබෙන අයුරු වේ.

අපි මෙතෙක් කතා කළේ සාංඝික දානයක් දීමට පෙර හෝ දීමට තීරණය කරගත් දින සිට අපගේ සිත සකසා ගත යුතු අයුරු ය. එය දාන කතා විස්තරවල පූර්ව චේතනාව ලෙස සඳහන් වේ.

දන් දෙන අවස්ථාවේ දාන වස්තු කෙරෙහි තමාගේ තිබූ ලෝභකම්. ආසාව අත්හැරීම මුඤ්චන චේතනාව ලෙසත් දානය දීමෙන් පසු ඇති කරගත යුතු සිත අපර චේතනා ලෙසත් නම් කර ඇත.

අප සංඝගත දක්ෂිණාවක් දීමේ දී දිනයක් තීරණය කොටගෙන ගමේ පන්සලට ගොස් විහාරාධිපති ස්වාමීන් වහන්සේ හමුව සතුට දනවන කෙටි පිළිසඳරකින් පසු බුලත් කොළ 10 කට වැඩි ප්‍රමාණයක් පිළිගන්වා වැඳ දිනය දන්වා අවශ්‍ය ස්වාමීන් වහන්සේලා ගණන කියා තම නිවසේ දානයට ආරාධනා කළ යුතු ය. එතැන් සිට දාන දිනය දක්වා තමන්ට හැකි උසස් ම අයුරින් ඒ සඳහා සූදානම් විය යුතු ය.

මෙසේ දානයක් දීමේදී වස්තු සම්පත් තුනක් මැදිහත් වේ. . දන් ලබන්නා, දන් පුදන්නා, දාන වස්තු වශයෙනි.

ඔබෙන් දන් ලබන්නා, කවරෙක් ද යන්න පිළිබඳ ඔබේ සිත සකස් කර ගත යුතු අයුරු ආරම්භයේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළෙමු. එහෙයින් තමාට හැකි අයුරින් උසස් ම පූජාර්හ පූජාවකට දානයේ පූර්ව කටයුතු සඳහා සූදානම් විය යුතු ය. දාන වස්තුව (දෙය්ය ධම්ම) මෙහිලා ඉතා වැදගත්වන අතර එය සාධාරණ ව උපයාගත් ධනයකින් පිළියෙල වූවක් වීම ද පින මහත්වීමට උපකාරක වේ.

එනිසා තරගකාරී දාන නොව තමන්ට හැකි උපරිම අයුරින් සැකසීම ප්‍රමාණවත් වේ. දුන් දානයේ විපාක දනිමු යන පිරිසුදු වූ සිතින් පූජා බුද්ධියෙන් යුතුව දානය හා ඒ හා බැඳී හැම කටයුත්තක් ම අනුන්ලවා නොව තමන් ම මැදිහත් ව පිළියෙළකොට කරන්නේ නම් එය සකසා දන්දීම“ යනුවෙන් ද කියැවේ.

දානය දිනයේ දී විහාරයේ බුදුගෙට බුද්ධ පූජාව නිවසින් සකස් කොටගෙන ගොස් ස්වාමීන් වහන්සේ නමක් මුල්කොට එම පූජාව පවත්වා, ගෞරව පෙරදැරිව හැකිනම් උඩුවියන් සහිතව සර්වඥ ධාතු සහිත කරඬුව පෙරටුකොට මහ සඟ රුවන පෙරහරින් නිවසට වැඩම කළ යුතු ය.

නිවස සමීපයේ දී හෝ අනිවාර්යයෙන් උඩුවියන් - පාවඩ සූදානම් කොට ගෙහිමියා පෙර මඟට ගොස් වැඳ වැඩම කරන ස්වාමීන් වහන්සේලා පිළිගෙන පා සෝදා අසුන් ගැන්විය යුතු ය. උඩුවියන් - පාවඩ - මුතුකුඩ - පන්සලෙන් ලබා ගත හැක.

අනතුරුව මෙය බුද්ධ ප්‍රමුඛ දානයක් ලෙස සලකා වඩම්මවාගත් කරඬුව විශේෂ ආසනයක වඩා හිඳවා පිළියෙල කළ දානයේ අග්‍ර කොටස ලෙස බුදුරජාණන් වහන්සේ වෙත ශ්‍රද්ධා සිත් ඇතිව ආහාර සහිත පරිෂ්කාර පූජාව ප්‍රථමයෙන් පූජා කළ යුතු ය. අනතුරුව නිතර දන් දී පුරුදු අයගේ සහාය ලබාගෙන ස්වාමීන් වහන්සේලා වෙත අනුපිළිවෙළින් පූජා වස්තු පිළිගැන්වීම සිදු කළ යුතු ය.

බුද්ධ කාලයේ බොහෝ දන් දෙන ගෙවල්වලට අනේ පිඬු සිටුතුමා හෝ විශාඛාවෝ හෝ කැඳවාගත් බව සඳහන් ව ඇත. සැරියුත්, මුගලන් අරහත් මහ සඟ පරපුරේ වර්තමාන නියෝජනය ගෙදරට වැඩම කළ එක් සාමණේර භික්ෂුවගෙන් වුව පරිපූර්ණ වේ. එනමුත් සම්මත වශයෙන් සිවු නමක්වත් දානයට වැඩම කර සිටීම ප්‍රමාණවත් වේ.

මෙසේ ශ්‍රද්ධා සිත් ඇතිව දාන කටයුතු පිරිකර පූජා කොට අවසන් කිරීමෙන් පසු එක් ස්වාමීන් වහන්සේ නමක් භුක්තානු මෝදනා දහම් දෙසා දුන් දෙයට විපාක ඇති අයුරු දක්වමින් දානානිසංස දක්වා වදාරති. මනාව එයට සවන් යොමු කොට සිත් සතුටු කර ගැනීමට දන් දුන් දායකයා වග බලා ගත යුතු ය.

මේ සතුට මරණය තෙක් නැවැත නැවැත සිහිපත් කිරීමෙන් කරගත් පින්කම ටිකෙන් ටික වැඩි දියුණු වේ. අවසානයේ දී සෙත් පිරිත් දෙසා පිටත් ව යන ස්වාමීන් වහන්සේලා පසු පස මද දුරක්වත් ගොස් ගෞරව කිරීම තමන්ට පින් රැස් කර ගැනීමට කළ උපකාරයට කෘතවේදී වීමක් සේ සැලැකේ.