Print this Article


සමාදන් වූ සිල් බිඳීමෙන් පව් සිදුවෙනවා ද?

සමාදන් වූ සිල් බිඳීමෙන් පව් සිදුවෙනවා ද?

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්ම මාර්ගයේ පදනම සීලයයි. පැණවත් මිනිසකූ සීලයේ පිහිටා සමාධිය, ප්‍රඥාව වඩමින් සියලු අවුල් නිරවුල් කරන්නේයැ’යි සිදු කළ දේශනාව පදනම් ව ආචාර්ය බුද්ධඝෝස අටුවාචාරීන් වහන්සේ රචිත විසුද්ධි මග්ගය සීලය පිළිබඳ ථේරවාදී සවිස්තර අර්ථ කථා අතරින් උසස් ම කෘතියයි.

මෙම දේශනයට පදනම් වු ගැටලුව ගැන නොසලකා සීලය පිළිබඳ විස්තර වශයෙන් දැක්වීම ප්‍රයෝජනයක් නැත. බුද්ධිමත් , උගත් , දෙවියෙක් ව්‍යවහාරික භාෂාවෙන් බුදුරජාණන් වහන්සේගෙන් ඇසූ ගැටලුව සංයුක්ත නිකායේ දේවතා සංයුත්තයේ 23 ජටා සූත්‍රයේ සඳහන් ය.

අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා
තං තං ගෝතම පූචඡාමි කෝ ඉමං විජටයේ ජටං.

ඇතුළත අවුල් ය. පිටත අවුල් ය. ප්‍රජාව (මිනිස්සූ) අවුල්වලින් වෙළී සිටිති. ගෞතමයන් වහන්ස, කවරෙක් මේ අවුල නිරවුල් කර ගත්නේ ද ? ඒ අනුව මිනිසාට බලපාන සන්තානගත ගැටලු සහ සමාජගත ගැටලු මෙහි “ජටා” නම් වෙයි . ඒ සියල්ල විසඳීමට සීලය පදනම් වන බව ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ පෙන්වා දීමයි.

මහාචාර්ය වල්පොල රාහුල ස්වාමින් වහන්සේ මෙසේ ලියති. සීලය වනාහී බුදුන් වහන්සේගේ ධර්මයේ පදනම වන අප්‍රමාණ මෛත්‍රියත් , මහා කරුණාවත් මත ගොඩනඟන ලද්දකි. බුද්ධ ධර්මය ගැන කතා කරන , පොත් පත් ලියන බොහෝ උගතුන් උන්වහන්සේගේ ධර්මයේ මේ උතුම් අදහස අමතක කර දමා ශූෂ්ක දාර්ශනික විචාරවලට බැසීම සංවේග ජනක ය.

මේ ප්‍රකාශයෙන් හෙළිවනුයේ දැඩි අන්තවාදී හා දුෂ්කර චර්යාවන් ලෙස සීලය පිළිබඳ විස්තර ඉදිරිපත් කිරීම සීලය සඳහා සිත යොමු කරන සැදැහැවතුන් තවත් අවුලකට පත් කරන බවයි. කරුණාවෙන් හා මෛත්‍රියෙන් තොර කිසිම ආධ්‍යාත්මික සංවර්ධනයක් නැත .

සීලය යනු, කය වචන තුළ ඇති කරන හික්මීමයි. මෙහි දී ලෞකික සීල, ලෝකෝත්තර සීල නම් ප්‍රභේදයක් වෙයි. කෙලෙස් සහගත ප්‍රථග්ජනයන් සඳහා අදාළ වන්නේ ලෞකික සීලයයි. සමාජගත ගැටලු සහ මානසික ගැටලු විසඳාලීමේ ලා ලෞකික සීල පිළිබඳ දැනුම ඉතා අවශ්‍ය වෙයි. වාරිත්‍ර සීල හෙවත් යමකින් වැළකීමේ ප්‍රඥප්ති සඳහා වූ සීල පංච සීලය , ගෘහස්ථ දස සීලය , ආජීව අට්ඨමක සීලය, සාමණේර දස සීලය ආදී ‘වේරමණී සික්ඛා පදං සමාදියාමි’ ලෙස සමාදන්වන සීලයන් වාරිත්‍ර සීලයි. මේ දේ නොකළ යුතුය යන්නයි. උපසම්පදා සීලයේ වේරමණී යන පාඨය නොකීවත් එය ද වාරිත්‍ර සීලයකි.

චාරිත්‍ර ශීල සහ ආභිසමාචාරික සීල යනු, උසස් මනූෂ්‍ය හැදියා දක්වන , සමාජයේ ප්‍රියමනාප ව හා චරිතවත් ව ජීවත්වීමට ලබා දෙන උපදේශයි. ඒවා ශික්ෂාපද ලෙස නොකියන ලද මුත් භාවිතයට ගැනීම ගිහි පැවිදි දෙපක්ෂයට ම අත්‍යවශ්‍යයි.

සුරු සුරු ගාමින් කෑම නොකන්න. සුරු සුරු කාරකං භුඤ්ජිස්සාමිති සික්ඛා කරණීයා) චපු, චපු ගාමින් තඟළුමරමින් ආහාර නොගන්න . (න චපු චපු කාරකං භුඤ්ජිස්සාමිති සික්ඛා කරණීයා) ආහාර ගන්නා විට ලෙව නොකන්න (න හත්ථ නිල්ලේහකං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණීයා) මේ උසස් හැසිරීම් ලෙස සලකන ආභිසමාචාරික වත් ය.

ඇඳුම්, ගමන් බිමන් යෑම ආදී සියලු චර්යාවලට අදාළ මෙවැනි සංස්කෘතික හැසිරීම් මේ ගණයට අයත් වෙයි.

බෞද්ධ ඉගැන්වීම් අනුව ප්‍රකෘති සීලය නම් පංච ශීලයයි. අප සමාජයේ බහුලව ම සමාදන්වන සීලය පංච සීලයයි. ගිහි පිරිස් පොහෝ දිනවල අට්ඨාංග සීලය හෝ දස සීලය රකිති . සමහරු නිති ආජීව පාරිශූද්ධ සීලය රකිති.

මේ සීලයන්හී ප්‍රභවය බුද්ධ කාලයට වඩා පැරණි ය. ඊට හේතූ දෙකකි. එකක් බුදුවරු පිරිනිවන්පෑවත් උන් වහන්සේලාගේ සමහර දහම් කරුණු නොනැසී පැවතීමයි.

දෙවැනි කරුණ බුද්ධිමත්, කෙලෙස් අඩු,සමාජයේ යහ පැවැත්ම අගය කරන, මිනිසුන් අතර ඇතිවන සාකච්ඡා මගින් සමාජ ගිවිසුම් ඇතිවීමයි. දීඝනිකාය අග්ගඤ්ඤ සූත්‍රය මේ සමාජ සාකච්ඡා පැහැදිලි කරයි.

මහා මායා දේවිය අටසිල් සමාදන් ව සිටිය දී සිදූහත් කූමරු මවු කූස පිලිසිඳගත් බව සඳහන් ය. චක්කවත්ති සීහනාද වැනි සූත්‍රවල සක්විති දහම ලෙස දක්වා ඇත්තේ බෞද්ධ පංචශීලයේ විරති අංශයයි. බෞද්ධ පංච ශීල ඉගැන්වීමේ ක්‍රමවේදය අනුව විරිත් හා සිරිත් අංග දෙකම එම සීලයන්ට බද්ධ වෙයි.

අද සීලය පිළිබඳ ඇති ගැටලුවක් නම් සමාදන් වූ සිල් බිඳීමෙන් පවක් සිදුවේ ද? එය අපායට යෑමට හේතු වේද? යන කරුණයි. ලංකාවේ සංස්කෘතියට වඩාත්ම බලපෑ අංග අතර පංච සීලය එකකි. එනිසා නිබඳව, නිරන්තරව, ගිහියෝ පන්සිල් සමාදන් වෙති. එහෙත් එය නොරකිති. මෙය සාමාන්‍ය ලක්‍ෂණයක් වී ඇත. පංච සීලය යනු සතර කර්ම ක්ලේශ පදනම් ව සකස් වු චර්යා රටාවකි. එනම් ප්‍රාණඝාත, අදත්තාදාන, කාමේසුමිච්ඡාචාර, මුසාවාදා යන කර්ම ක්ලේශයන් ගෙන් ඈත් වීමයි. සිඟාලෝවාද සූත්‍රයේ (ගිහි විනය) ගෘහපතියා සතර කර්ම ක්ලේශවලින් ඈත් විය යුතු බව නිර්දිෂ්ටයි. මේ වැරදි සිල් සමාදන්ව හෝ නැතිව හෝ සිදුකළ හොත් එය වරදක් මතු නොව පාපයක් ද වෙයි.

සතුන්ට හිංසාකිරීම හෝ මැරීම පවකි. සෑම සමාජයක ම පාහේ පීඩනයට පත්වන සත්වයා මිනිසකු නම් ඔහු මැරීම හෝ හිංසාව රාජ නීතියට ද එරෙහි වෙයි. ඒ අනුව පංච සීලය සමාදන්ව හෝ නැතිව මනුෂ්‍ය ඝාතනය, පීඩාව වරදකි. පවකි. මානවහිතවාදය මතු නොව සර්වසත්වහිතවාදී බුදු දහම කුරා කුහුඹුවාගේ පටන් ඕනැම සතකු පීඩාවට පත් කිරීම වරදක් පමණක් නොව පවක් ලෙස සැලකේ.

සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී යන සික්‍ෂාව තමා විසින් තමන්ට අහිත දේ කිරිම ද අකුසලයකි යන න්‍යායට අනුව වරදක් ද පවක් ද වේ.

විකාල භෝජනා වේරමණී යන බ්‍රහ්මචර්යාව සමාදන්වූ අයකූ විකාලයෙන් හෙවත් ඉර හැරීමෙන් පසු ආහාර නොගනිමී යන ශික්‍ෂාව සමාදන් වෙයි. එය යමකූ අතින් බිඳූනොත් එය වරදකි. එහෙත් පවක් නොවේ. එබැවින් සතර කර්ම ක්ලේශවලට අයත් නොවන චර්යාවන් සහිත ගිහියන් සමාදන් වන සීලයන් හී සීල් බිඳීම අපාගත වීමක් නොවේ.

දැන දැන ශික්ෂාව බිඳීමේ වරදට එය අයත් වෙයි.

පාපය වන්නේ අනුන්ට ත් තමන්ට ත් දෙපක්‍ෂයටමත් බාධාවන් ඇති කරවන කාය ,වාග් මනෝචර්යායි. ආභිසමාචාරික වත්වල දැක්වෙන සීලය බිඳීමෙන් පව් සිදු නොවේ . ඇවිද ඇවිද බත් කෑමෙන් , බත් කඩල කන්නා සේ උඩ දම දමා කෑවත් ඉන් සිදූවන පවක් නැත. එහි පුද්ගල පෞරුෂය බිඳවැටෙන නිසාත් , අසංවරය නිසාත් කෞශල්‍යයේ පිරිහීමක් ඇත . එහෙත් අපායට යන පව් නොවේ.

ගැටලුව ඇත්තේ දැන දැන සිල් පද හිතා මතා කැඩීම පිළිබඳවයි. භික්‍ෂුව සම්බන්‍ධව මෙය දැඩි ස්වරූපයක පවතී. සත්‍ය වුවත් කතා නොකළ යුතූ අවස්ථා ඇති බව අභයරාජ සූත්‍රයේ සූත්‍රයේ බුදුහිමියෝ වදාළහ. ඒ අනුන්ට තමන්ට හිරිහැර වන්නේ නම් ය.

මේ විග්‍රහය භික්‍ෂුන් වහන්සේලා සඳහා එ ලෙසම අදාළ නොවේ. භික්ෂු විනයේ පාරාජිකාව යනු, භික්‍ෂුත්වයේ පැරදීමයි. එසේ වූ අයෙක් මේ සසුන තූළ චීවරධාරී ව සිටින්නේ නම් ඔහුට මහා අකුසලයක් අත් වෙයි. මහා කාරුණික හා මහා මෛත්‍රිය බුදුරජාණන් වහන්සේ තම ශිෂ්‍යයන් වහන්සේලාට පරාජය නොවී සිටීමට අවශ්‍ය ලෙස නීති පනවා ඇත. සංඝාධිසේසයන්ට පත් වුව ද අබ්භාන ආදී විනය කර්ම වලින් පසු පිරිසිදු භාවයට පත් විය හැකි ය. සියලු අනෙක් ආපත්ති දිනක් තුළ දෙසා ගැනීමෙන් පිරිසිදු වේ. පිරිසිදු වුවත් අකූසලයක් නම් පවින් මිදීමක් භික්ෂුවට නැත. දැන දැන බොරු කීම, පවිතියකි. එහෙත් බොරු කීම අපාගත වන පවක් බැවින් ඒ පවින් භික්‍ෂුව නොමිදේ. එහෙත් ආපත්ති දේශනය කර පැවිද්දට පිළියම් ලබා ගත හැකි ය.

සීලය ප්‍රඥප්තියක් ලෙස සිතන සමහරු නඟන තර්කය නම් සිල් බිඳී නැති නම් නැවත නැවත සිල් සමාදන් විම නිශ්ප්‍රයෝජන බවයි. ශ්‍රී ලංකාවේ පහළ වූ සැදැහැවත් පුරවැසියකු වන ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම් මැතිතුමා ද මේ මතය දැරීය. ඔහු ඉතාමත් සිල්වත් වූ අයෙකි . එහෙත් සමාදානය සහ සීලය අතර ඇත්තේ ගැඹුරු දර්ශනයකි. මම සතූන්ට හිංසා නොකරමි, නොමරමි, මේ සිතුවිල්ල ම මහා කාරුණික වෙයි. මෛත්‍රි සහගත වෙයි. එය නිබඳව සිතීම භාවනාවකි.

අට්ඨාංග සීලය සමාදන් වන්නෝ බොහොමයක් එය අදාළ දිනයේ නොකඩවා රකිති. එසේ නැවත ද සවසට සිල් අලුත් කරගනිතී. නැවතත් සීල සමාදන් වෙති. පසු දින නැවත උදැසන සිල් අලුත් කර ගනිති. මේ නිසා නිතර සිල් ආවර්ජනය කිරීමේ පින ද භාවනාමය පින ද ලබති.

විරති සිල් දැන දැන කැඩීම අකූසලයකි. වරදකි. එම සිල් තමන් නොදැන කැඩෙන්නේ නම් ගිහියන්ට අකූසල නොවේ. වරද නොවේ. භික්‍ෂුන්ට සම්මා සතිය මුල්වන බැවින් සතියෙන් තොර සිල් කැඩෙන්නේ වුව ද එය වරදකි.

චේතනාහං භික්භවේ කම්මං වදාමි.

එය බුදු දෙසුමයි.