Print this Article


යළි පිබිදෙන කූරගල පුදබිම : අසහාය නිමැවුමක් ජාතියට අභිමානයක් හෙට දිනේ සිල් සුවඳ හමා යන පින්බිමක්

යළි පිබිදෙන කූරගල පුදබිම :

අසහාය නිමැවුමක් ජාතියට අභිමානයක් හෙට දිනේ සිල් සුවඳ හමා යන පින්බිමක්

මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය ලේක්හවුස් ආයතනයෙනි

වසර දහස් ගණනක ඉතිහාසයකට නෑකම් කියන කූරගල මහා පුදබිම පිහිටා තිබෙන්නේ සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කූරගල ග්‍රාම නිලධාරී වසමේ ය. ක්‍රි.පූ. දෙවැනි සියවසට අයත් ශිලා ලේඛන මෙම පුදබිමේ පෞරාණික බව හා ශාසනික සම්බන්ධතාවය මොනවට හෙළි කරයි.

කාලයේ වැලිතලාවෙන් වැසී යන්නට ගිය, අන්‍ය ලබ්ධිකයන් පිරිසකගේ ග්‍රහණයට හසුව බෞද්ධ උරුමයන් විනාශ වෙන්නට ගිය උදාරතර පින්බිමක් යළිත් ප්‍රතිනිර්මාණය වී සැදැහැවත් බොදු දනන්ගේ වන්දනාමානයට පත්වන දිනය, දම් සුවඳින්, සිල් සුවඳින් සුගන්ධවත් වන දිනය වැඩි ඈතක නොවේ. ඒ, මහා වන බිමක, වසර දෙදහස් දෙසීයකටත් එහා ප්‍රෞඪ ඉතිහාසයකට උරුම කියන කූරගල මහා පුදබිමයි.

සසුන් වැඩ කැමැති සංඝ පීතෘන් වහන්සේගේ, බෞද්ධ ගිහි සුධීමතුන්ගේ අප්‍රතිහත ධෛර්යයෙන් හා කැපවීමෙන් මේ මහා පුදබිම් යළි පිබිදෙමින් සිටී. එහි වත්මන් නියමුවාණන් වහන්සේ, නෙල්ලිගල හාමුදුරුවන් වහන්සේ ලෙස අප හඳුනන අපේ වතුරකුඹුරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ ය.

තරුණ භික්ෂූන් වහන්සේ නමක් ලෙස උන්වහන්සේගේ එඩිතර බව, උනන්දුව, ඕනෑකම හා කැපවීම නොවන්නට කූරගල පුදබිමට යළි පිබිදෙන්නට ඉඩක් නොවන්නට තිබුණි.

මහා වගකීමක්, අසීරු කාර්යභාරයක් හිස මත දරා ගනිමින්, පැවිදි ගිහි පිරිස් ඒකරාශී කර ගනිමින් උන්වහන්සේ මේ මහා කර්තව්‍ය දෑතට ගෙන තිබේ. නිරන්තරයෙන් මුව මත රැඳුණු කාරුණික සිනහව, පි‍්‍රය වචනය, නිරහංකාර බව සේ ම උන්වහන්සේගේ ප්‍රතාපවත් බවද මහා කළුගල් සමඟ පොරබදිමින් මේ පින්බිම ගොඩනඟන්නට ශ්‍රමය කැප කරන, ධනය කැප කරන සියලු දෙනාට උද්‍යෝගය, ශක්තිය සේ ම හෙට දිනයේ මල්ඵල ගැන්වෙන උදාරතර නිමැවුමකට බලාපොරොත්තු ගෙන දෙන්නේ ය.

බ්‍රාහ්මී අක්ෂරයන්ගෙන් යුතු ශිලා ලේඛන ඇතුලු ඓතිහාසික උරුමයන්ගෙන් පිරුණු කූරගල පුදබිම ඈත අතීතයේ මහරහතන් වහන්සේ සමාධි සුවයෙන් වැඩ සිටි පින්බිමකි. එමෙන්ම ‘අගත අනගත චතු දිශ සගස දිනේ’ ආදී වශයෙන් අතීත, අනාගත සතර දිශාවෙන් පැමිණියා වූ ද, නොපැමිණියා වූ ද මහා සංඝයා වහන්සේට මෙම පින්බිම පූජා කළ බව ශිලා ලේඛන වලින් කියැවෙන්නේ ය.

ජනප්‍රවාදයකට අනුව තථාගතයන් වහන්සේ තෙවැනි ලංකාගමනයේ දී දිවා විහරණය කළ දිවාගුහාව වන්නේ ද මේ පුණ්‍ය භූමියයි. පැරැණි රජ දවස තණ්ඩල්‍යෙය පබ්බත හා දන්ත ශෛල පබ්බත යන නාමයන්ගෙන් ව්‍යවහාර වූයේ ද කූරගල පුද බිමයි. අනුරාධපුර යුගයෙන් පසුව සිදු වූ සතුරු ආක්‍රමණ නිසා මේ භූමිය මිනිස් වාසයෙන් තොර වූ බව කියැවේ. නැවත අවධානයට ලක් වනුයේ විකිළියේ ශ්‍රී නාරද නාහිමිපාණන් වහන්සේගේ සහ රාජකීය පණ්ඩිත විමලකීර්ති ධම්මරතන වටද්දර ශ්‍රී ඤාණිස්සරාභිධාන නාහිමිපාණන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයේ හා කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස ය.

හැත්තෑව දශකයේ මුල් භාගයේ පමණ වටද්දර ඤාණිස්සර නාහිමියන්ට අදහාගත නොහැකි සිදුවීමක් දක්නට ලැබුණි. ඒ කොළඹ දෙස සිට බලංගොඩට පැමිණෙන අන්‍ය ආගමිකයන් රැගත් විශාල බස්රථ ප්‍රමාණයකි. උන්වහන්සේ මේ ගැන වඩාත් විමසිලිමත් වූහ. එහිදී මේ පිරිස් බලංගොඩ කූරගල පුදබිමට එක්රොක් වී මහා උත්සවයක් පවත්වන බව දැන ගත්හ. ඒ අනුව වහාම සංවිධානය වී අන්තවාදී පිරිස්වල ග්‍රහණයෙන් කූරගල බෞද්ධ උරුමය සුරක්ෂිත කිරීමෙහිලා ජාතික ව්‍යාපාරයක ආරම්භය සිදුවුණි. පසුව උන්වහන්සේගේ වයෝවෘද්ධ බව හා කාර්ය බහුලත්වය නිසා ඉදිරි කටයුතු පැවරෙන්නේ ශාස්ත්‍රවේදී පණ්ඩිත දෙල්ගොඩ ධම්මජෝති හිමියන්ට ය. උන්වහන්සේ වසර දහයක පමණ කාලයක් බොහෝ වෙහෙස වී පුදබිමෙහි අභිවෘද්ධිය වෙනුවෙන් ඇප කැප වූහ. ඒ අනුව නිතිපතා පිරිත් සජ්ඣායනය කිරීම, වස් සමාදන්වීමට සුදුසු පරිදි වටද්දර ලෙන පිළියෙළ කිරීම, කඨින චීවර පූජා මහෝත්සව පැවැත්වීම, පහත මලුවේ සිට දාගැබ දක්වා පියගැටපෙළක් නිර්මාණය කිරීම ආදී බොහෝ සේවාවන් සිදු කළ බව පැවසේ.

කූරගල මහා පුදබිම ප්‍රතිනිර්මාණය කොට මතුපරපුරට දායාද කිරීමේ උදාර අරමුණෙන් එහි භාරකාරත්වය මහනුවර අස්ගිරි මහා විහාරවාසී නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ට පැවරෙන්නේ මේ වසරේ පෙබරවාරි මස හතරවැනිදා, නිදහස් දිනයේ දී ය. ඉන්පසු එළඹි මැදින් පුර පසළොස්වක පොහෝ දා තෛ‍්‍ර නිකායික මහා නායක, සානුනායක මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් කූරගල මහා පුදබිමේ අසදිසි ශාක්‍ය සුගත මහා සෑරදුන් වහන්සේ ඉදිකිරීමට මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිදු කෙරිණි.

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ අවධියේ කූරගල පුදබිම අන්තවාදී පිරිස්වල දැඩි ග්‍රහණයට හසුව පැවතිණි. ඒ අනුව එතුමා මෙහි තිබූ අනවසර ඉදිකිරීම්වලින් 80%ක් ඉවත්කර ශුද්ධ කොට පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස අපේ බෞද්ධ ජනතාවට නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව සලසා දුන්නේ ය.

වර්තමානයේ පින්බිමේ අක්කර 85 ක භූමි ප්‍රමාණයක වෙහෙර බිමකට අවැසි සියලු විහාරාංග නිමාවෙමින් තිබේ. වඩාත් සුවිශේෂී වන්නේ ගෙවුණු වසර 700 -800 ක පමණ කාලය තුළ සියලු විහාරාරාම සහිත ව එකවර ගොඩනැඟෙන ලංකාවේ දැවැන්තම හා එකම පුදබිම කූරගල පුදබිම වීමය.


කර්මවාගාචාර්ය
වතුරකුඹුරේ ධම්මරතන හිමි

වතුරකුඹුරේ ධම්මරතන හිමියන් පවසන්නේ “මේ බිම කාලයකට ඉහත සත්ව ඝාතනය කළ මුඩු බිමක්. අද සුපිරිසුදු බෞද්ධ පූජනීය ස්ථාන ඉදිකරන වැඩ බිමක්.” යනුවෙනි. උන්වහන්සේ පවසන ලෙස සියලු විහාරාරාංග ඉදි කෙරෙන්නේ පුරාවිද්‍යා සාධක නැති කළුගල් මත පමණි. යළි පුරාවිද්‍යාත්මක කැණීම් කිරීමට හැකි පස් පමණක් තිබෙන ස්ථානවල නව ඉදිකිරීම් සිදු නොවන බව ය.

සැබැවින්ම කූරගල පුදබිම අද මහා වැඩ බිමකි. යුද හමුදාවේ, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ශ්‍රම දායකත්වයෙන් සේ ම රටේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන සැදැහැති පිරිස්වල ශ්‍රමයෙන් ගලින් ගල ගොඩනැඟී මහා පුදබිමක් නිමැවෙමින් තිබේ.

බෞද්ධයකු ලෙස පළමු වතාවට හෝ ඒ දසුන නැරඹිය යුතු ම ය. ජීවිතයේ තවත් අවස්ථාවක් ඒ පින්බර අවස්ථාව උදාකරගත යුතුම ය. ඒ මේ විස්කම් නිමැවුම් අවසානයේ ය.

මෙහි එක් විශ්ව කර්මයක් වන්නේ පුදබිමට පිවිසෙන ලැගුම්ගල පාමුල සිට ඉදිවන අඩි 25 ක් පළල අඩි 100 ක් උස දැවැන්ත පියගැටපෙළ ය. එහි ආරම්භයේදීම පියගැටපෙළ මධ්‍යයේ ඉදිවන සිංහ රුවකි. ඒ 1971 වසරේ සිට 2021 වසර දක්වා කූරගල පුදබිම රැක ගැනීමට ඇප කැප වූ සංඝ පීතෘන් වහන්සේ හා ගිහි බෞද්ධ පින්වතුන් සිහිවීම පිණිස ය.

අසදිසි ශාක්‍ය සුගත සුගන්ධ කුටිය (ධාතු මන්දිරය) ප්‍රදේශයේ ඉදිවන විශාලතම අසදිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ, බෝධි මණ්ඩපය, එක්වර එක්දහස් පන්සියයකට දෙදහසකට පමණ සිල් සමාදන් විය හැකි දම් සභා මණ්ඩපය, සංඝාවාසය ඇතුළු විහාර සංකීර්ණයේ වැඩ කටයුතු සිදු කෙරෙමින් පවතින්නේ තවත් මාස දහයක පමණ කෙටි කාලයකින් වැඩ නිමකොට බොදු ජනයාට උරුම කර දීමට ය. ඒ අනුව ලබන වසරේ රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට යෝජිත වන්නේ ද කූරගල පුණ්‍ය භූමියේ සිට ය.

ඉහත විහාරාරාම සංකීර්ණයට අමතරව වැවක් හා උද්‍යානයක් ඉදි කිරීමට ද නියමිත ය. තන්ජන් තැන්න විද්‍යාලයේ පුස්තකාලය ප්‍රතිනිර්මාණය කිරීම, අවට පිහිටි දුෂ්කර විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම, ප්‍රදේශයේ පිහිටි අෂ්ටඵල බෝධීන් වහන්සේගෙන් එක් නමක් වන සඳගිරි බෝධිය නැවත ප්‍රතිසංස්කරණය කිරීමට ද කටයුතු යොදා තිබේ.

"මේ රටේ ඉදිරි සංඝ පරම්පරාවට, බෞද්ධ ජනතාවට යළි කූරගල වෙනුවෙන් අරගල කරන්නට ඉඩ හරින්නේ නෑ. අපි ආගමික සහජීවනය කවදත් අගය කරනවා. පාරම්පරික මුස්ලිම් ජනතාවට ඔවුන්ගේ විශ්වාසයත් සමඟ වන්දනා කිරීමට අවස්ථාව ලැබෙනවා."

කූරගල මහා පුදබිමේ නිර්මාතෘ වතුරකුඹුරේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ පවසන්නේ එලෙසිනි.

මේ පුණ්‍ය භූමියේ සියලු ඉදිකිරීම් සිදු කෙරෙන්නේ රට පුරා පරිත්‍යාගශීලීන්ගේ උපකාරයෙනි. පින්කැමති ධනවත් ව්‍යාපාරිකයන්, රාජ්‍ය නිලධාරීන්ගේ දායකත්වයෙන් ද මේ වන විටත් බොහෝ නිර්මාණ ඉදිවෙමින් තිබේ. මේ මහා පින්බිමට වැලි කැටයකින් හෝ දායක වන්නට පින්වත් ඔබට ද අවස්ථාව හිමි ය. ශ්‍රම දායකත්වයෙන්, මූල්‍යමය වශයෙන්, අමුද්‍රව්‍ය ලබාදීමෙන් ඒ සඳහා දායක විය හැකි ය. මේ පිළිබඳ වැඩි විස්තර 011 7373731 දුරකථන අංකයට ඇමතීමෙන් ලබාගත හැකි ය.