Print this Article


දුටුගැමුණු මහ රජතුමා - 43: දීඝාභය කුමරු ගැන එළාර රජු පැහැදෙයි

දුටුගැමුණු මහ රජතුමා - 43:

දීඝාභය කුමරු ගැන එළාර රජු පැහැදෙයි

චරපුරුෂ සේවය සඳහා මාගමට යැවූ සිරිනාග ආපසු පැමිණ සිටියේ ය. ඔහුට අනුරාධපුර ඇතුළු නුවරින් නිවසක් ලබා දීමට මිත්‍ර සෙනෙවිට හැකි විය. සිරිනාග ඒ පළිබඳ සිය ස්තූතිය පල කළේ ය. එහෙත් ඔහුගේ ප්‍රධාන අරමුණ වන අනුරාධපුර රාජධානියේ වෙසෙන ආගන්තුකයන් පිළිබඳ සොයා බැලීමෙන් පසුව නව නිවසේ පදිංචියට යන බව මිත්‍ර සෙනෙවිට පැවසී ය. එහෙත් ඒ තීරණය පිළිබඳ ඔහුගේ කැමැත්තක් නොවීය.

"සිරිනාග ඔබට තනතුර ලැබුණු වහාම නිල නිවාස භාරගත යුතුයි. තනතුර බබළන්නේ සුදුසු පරිසරයක සිටිනා විටයි".

"මහා සෙනෙවිතුමනි, ඉතා ඉක්මණින්ම මා නිල නිවසේ පදිංචියට යනවා. මා දැනට නතර වී සිටින්නේ ජයනාථ සිටුතුමා ළඟයි. එතුමා මට තාත්තා කෙනෙකු වගෙයි. එකවරම එතුමාගේ නිවසින් ඉවත්වීමට මගේ හිතට හොඳ මදි."

මිත්‍ර සෙනෙවි අමනාපයෙන් ඉවත බලා ගත්තේ ය. තමාගේ රූපයෙන් මදකුත් වෙනස් නොවන මේ කඩවසම් තරුණයා තමා වෙත රඳවා ගන්නට බැරි ඇයිදැයි කල්පනා කළේ ය. ඔහුට අතීතය සිහිපත් විය.

සිරිනාගගේ මව වූ විමලී කුමරිය තමාගේ අවන්හලේ පාලන කටයුතු සඳහා උදව් කිරීමට කැඳවාගත් ආකාරය මතකයට නැගිණි. අවන්හලේ අයිතිය ඇයට පවරන බව ප්‍රකාශ කර ඇයව මුළාකර තමන්ගේ වසඟයට ගත් ආකාරය මනසේ නාට්‍යයක් මෙන් රඟ දැක්වෙන්නට විය.

කුමරියගේ කුසෙහි දරුවකු පිළිසිඳුණු පසු බියට පත් වූ තමා ඒ කිසිවක් නොපවසා ජයනාථ සිටුතුමා මඟින් ඇය බෝධිනාගට සරණපාවා දෙන්නට යෝජනා කළේ ය. මේ බව ආරංචි වූ විමලී කුමරිය සියදිවි හානිකර ගැනීමට තීරණය කර තිබිණි. විමලී කුමරියගේ පියා වූ සුමන මහා සිටුතුමා මේ නිසා බොහෝ අසරණ තත්ත්වයට පත්විය.

අවසානයේ සුමන මහා සිටුතුමා වෙනුවෙන් විමලී කුමරියගේ ආරක්ෂකයා වීමට බෝධිනාග කැමැත්ත ප්‍රකාශ කළේ ය. මහත් උත්සාහයකින් ඇගේ කැමැත්ත ද ලබා ගැනිණි. චාම් උත්සවයකින් සරණ මංගල්‍යය පැවැත්විණි.

මේ සිදුවීමෙන් පසුව තමාගේ නොමනා ක්‍රියාවන් බෝධිනාග මාර්ගයෙන් අනාවරණය වෙතැයි බියට පත් වූ නිසා ඔහු කෙරෙහි තමා තුළ පැවති වෛරය තවත් වැඩි වූ බව සිහිපත් විය. තමාගේ තවමත් පවතින දූෂිත මිලේච්ඡ පැවැත්ම ගැන කල්පනා කළ මිත්‍ර සෙනෙවි ඉදිරි කටයුතු වලදී සිරිනාග දුරස්ව තබා ගත යුතු යැයිද එහෙත් ඔහුගෙන් හැකිතරම් ප්‍රයෝජනය ගත යුතු යැයිද තීරණය කළේ ය.

"සිරිනාග, ඉක්මණින් වැඩ ඉවර කරන්න. මට නම් හිතෙන්නේ සැක කටයුතු ආගන්තුක පිරිස් දැන් අනුරාධපුරයේ නැහැ."

"දීඝජන්තුගේ කෘර දඬුවම් වලට බයේ සියලු දෙනාම පැනලා ගිහින්"

"හොඳයි, වැඩ ඉවරවුණු ගමන්ම මම නිල නිවාසයට යන්නම්. එතනට සපයා ඇති ඇතැම් ගෘහ භාණ්ඩ ගැන මගේ එතරම් සතුටක් නැහැ. පන්සල්වලින් කොල්ලකාපු ගෘහ භාණ්ඩවලට නම් මම කොහෙත්ම කැමති නැහැ."

"ඒක පැරණි සිටුවරයෙකුගේ ගෙයක්. ඔහු පරිහරණය කළ උපකරණ දැනුත් තියෙන්නේ මේල්දේව මහ සෙනෙවියාගේ නිල නිවසේ. ඔහුගේ මරණයෙන් පසුව එය ලැබෙන්නේ සිරිනාගටයි. ඔබ එහි පදිංචියට ගිය පසු නවීණ ගෘහභාණ්ඩ කිහිපයක් ගෙන්වා දෙන්නට පුළුවන්."

අනුරාධපුර යුද සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිටදී හමු වී කතාබහේ යෙදුනු දෙදෙනා වෙනස් වී ගියේ හොඳ හිතකින් නොවෙයි. මිත්‍ර සෙනෙවි සම්මන්ත්‍රණ ශාලාව දෙසටත් සිරිනාග ශ්‍රී මහා බෝධිය දෙසටත් ගමන් කළහ.

ඒ සමගම මහමෙවුනාව දෙස සිය අසු වේගයෙන් මෙහෙය වන දීඝාභය මහා සෙනෙවි, ශ්‍රී මහා බෝ මළුලු තුළට යන සිරිනාග දුටුවේ ය.

අසු නතර කර ඔහු දෙස බලා සිටි දීඝාභය එදා යුද්ධ මණ්ඩල රැස්වීමේදී ඔහු දුටු බවත්, ඉන්පසුව ඔහුව හමුවීමට උත්සාහ ගත් සෑම අවස්ථාවකදීම එය අසාර්ථක වූ බවත් කල්පනා කළේ ය. ඒ සෑම තැනකදීම ඔහු තමා වෙතින් පැන යෑමට උත්සාහ ගැනීම දිඝාභයගේ සැකයට හේතු විය.

"අද මෙතැනදී මොහු සමඟ කතා කිරීම වඩාත් හොඳයි. පැනයන්නට නොදී කෙසේ හෝ හමුවන්ට ඕනේ." සිතූ දීඝාභය කුමරු අසු මත හිඳගෙනම බලා සිටියේ ය.

බෝ මලුව තුළට ගිය සිරිනාග බෝධීන් වහන්සේට වැඳ නමස්කාර කර බෝමලුවෙන් පිටතට පැමිණ අසු පිටට නගින්නට සුදානම් වුවා පමණි. එතැනට පැමිණි දීඝාභය මහා සෙනෙවි අසු පිටින් බසිත්ම කතා කළේ ය.

"සිරිනාග"

දීඝාභය මහා සෙනෙවි මුණ නොගැසී පැන යන්නට සිතුවත් එයට අවස්ථාවක් නොලැබෙන බව වැටහිණි. මද සිනහවකින් යුතුව දිඝාභයට ළං විය.

"මහා සෙනෙවිතුමනි, රාජකාරි බොහොමයක් ඇති නිසා යන්නටයි සූදානම් වුණේ. ඔබතුමා රජ වාසලට යන ගමන්ද ?"

"නැහැ, සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ආරක්ෂාව තර කිරීමේ සාකච්ඡාවට යන ගමන්"

"එහෙනම්, මිත්‍ර මහා සෙනෙවිතුමාත් මහවැලි ගං ඉවුර දෙසට ගියේ ඒ නිසා වෙන්නට ඇති."

"ඔව් ඒ සඳහා මහවැලි ගං තීරයේ ආරක්ෂක සෙනෙවිවරුත්, මහා සෙනෙවිවරුන් කිහිප දෙනාත් පමණයි සහභාගී වෙන්නේ.

"මහ සෙනෙවිතුමනි, මට යන්නට අවසර "

"සිරිනාග, නුඹ සමග කතා කිරීමට මා කිහිප වරක් උත්සාහ ගත්තත් නුඹ මා කෙරෙන් පලා යන බවක් මට හැඟුණා."

"නැහැ, මහා සෙනෙවිතුමනි, මටත් ඔබතුමා හමු වී කතාබහ කිරීමේ වුවමනාව තිබුණා. නමුත් "

"ඇයි සිරිනාග, කතාව අතරමැද නැවතුණේ ?"

සිරිනාග කිසිවක් නොකියා බලා සිටියේ ය.

"නුඹ, දුටුගැමුණු සේනාංකයට බැඳී සිටිනවාද?"

"ඔව්, එය මිත්‍ර සෙනෙවිගේ යෝජනාවක්"

"නුඹ , මාගමට ගියේ "සිවනාග " නමින් නේද ?

"එසේය , මහා සෙනෙවිතුමනි"

"ඔබ මා වෙත කුණ්ඩල බ්‍රාහ්මණ තුමා එවුයේ කුමන කරුණක් නිසාද?"

දීඝාභය කුමරුනි, සමාවනු මැනවි. එය එක්තරා පිරිසකගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් "

"මා එය දැනගතහොත් ඔබට ගැටලුවක් වේවිද?

" දැන් ඔබතුමා අපේ පිලේ නිසා භයක් නැහැ."

"එසේනම් තොප මාගම රාජධානියට යාමේ හේතුව චරපුරුෂ සේවයද?"

"කුමාරයාණනි, දුගී මගී වෙස් ගෙන අපේ චර පුරුෂයන් දහස් ගණනක් මාගම රාජධානියේ සිටියා. දුටුගැමුණු කුමාරයාගේ මෙහෙයවීමෙන් නන්දිමිත්‍ර යෝධයා ඇතුළු කිහිප දෙනෙක් ඔවුන්ට හිරිහැර කළා. ඇතැමුන් සිරකර තොරතුරු දැන ගත්තා. මේ නිසා මිත්‍ර මහා සෙනෙවිතුමා නැව් දෙකක් කිරින්දට යවා ඒ සියලු දෙනාම ගෙන්වා ගත්තා."

"ඔහුගේ කීම මත මම කුණ්ඩල බ්‍රාහ්මණතුමා හමුවුණා. හමු වී එළාර රජුගේ සේනාංකයේ උප සෙනෙවියා බව පැවසුවා. නමුත් සොළී නිලධාරින් සිංහලයන්ට කරන අකටයුතුකම් හා ශ්‍රී මහා බෝධියට කරන නිග්‍රහ නිසාත් තමා සොලින් කෙරෙහි කලකිරී සිටිනා හෙයින් දුටුගැමුණු කුමාරයාට සේවය කිරීමට කැමති බවත් කීවා."

"එතුමා මගේ කීම විශ්වාස කළා. කුණ්ඩල බ්‍රාහ්මණතුමා ඔබ වෙත මා එවුයේ එයින් පසුවයි. උත්තර මහා ඇමතිතුමා ඔබේ නිර්දේශය මත මා නන්දිමිත්‍ර මහා සෙනෙවිතුමාට භාර කළා. "

"මා චුලන්ගණියේ සේවය කරන විට අශ්වයකු පිට නැගී යුද කඳවුරුවලට අවි කම්හල්වලට යමින් යුද්ධ සම්මන්ත්‍රණ වලට කන් දෙමින් තොරතුරු එක්රැස් කළා. ඒ තොරතුරු පරෙවියකු මගින් මිත්‍ර සෙනෙවිතුමාට දැන්වුවා."

"ඉතින් නුඹ ආපසු ආවේ ඇයි ?"

"මා අනවසරයෙන් යුද්ධ සම්මන්ත්‍රණයකට කන්දෙමින් සිටින විට සුරනිමලගේ අතටම අසුවුවා. නන්දිමිත්‍ර බොහෝ කාලයක සිට මා ගැන විමසිල්ලෙන් ඉඳ තිබෙනවා. මට චෝදනා රාශියක් එල්ල වුණා."

"ඒ චෝදනා බොරුද ?"

"නැහැ සියල්ලම සත්‍ය"

"ඔබ තුළ ගැමුණු කුමාරයා කෙරෙහි කලකිරවන්නට කේලාම් කීම සඳහා පුද්ගලයන් පස් දෙනෙකුට මුදල් දුන්නා"

"තිස්ස කුමාරයා කළකිරවීමටත් මේ ආකාරයෙන්ම උපායක් යෙදුවා. නමුත් අවසානයේදී ඒ සඳහා ඔබතුමාව යොදා ගන්නට අප තීරණය කළා."

"නුඹෙන් මට තවත් කරුණක් දැනගන්නට වුවමනායි. අනුරාධපුරයේ චරපුරුෂ සේවය මගෙන් සිදුවුණු බව නුඹ දැන ගත්තේ කෙසේද?"

"මාගම යුද්ධ සම්මන්ත්‍රණ ශාලාවේදී නන්දිමිත්‍ර වේළුසුමන දෙදෙනාගේ සාකච්ඡාවකට රහසේ කන්දී අසන්නට ලැබුණු තොරතුරු අනුව ඒ මට ඇති වූ සැකයක් පමණයි."

"නුඹ වෙන මොනවාද දන්නේ ?"

"මාගම රාජ්‍ය ඔබතුමාට ලබා දෙන්නයි එළාර මහරජතුමාට වුවමනා කරන්නේ. මහවැලි ගඟෙන් එතෙර කඳවුරු තරකොට රුහුණට පිටවෙන්නට ක්‍රමෝපායක් යොදන්නෙත් ඒ නිසායි."