Print this Article


ඉතිහාසයේ රසබර තොරතුරු කියන අභිලේඛන සාහිත්‍යය

ඉතිහාසයේ රසබර තොරතුරු කියන අභිලේඛන සාහිත්‍යය

ලංකාවේ එවකට අපරාධ අවම කරලීම සඳහා රජවරුන් දැඩි දඬුවම් පනවා තිබුණු අයුරු අභිලේඛන පෙන්වා දෙයි. වේවැල්කැටිය පුවරු ලිපිය මෙයට ඉතා වැදගත් ම නිදසුන වෙයි. එල්ලා මැරීම , අත්පා කැපීම, හංවඩු ගැසීම, රත් කළ යකඩ පාවහන් පැළඳවීම, දඩගැසීම හා පිටුවහල් කිරීම වැනි දඬුවම් නියම කර තිබුණි.

අභිලේඛන උරුමය පිළිබඳ විමසා බලද්දී ශී‍්‍ර ලංකාවේ අතීත සමාජය පිළිබඳ හමුවන විශ්වසනීය තොරතුරු රාශියකි. එක්තරා යුගයක සමාජය විමසන සමාජ විද්‍යාත්මක මූලාශ්‍රයක් ලෙස ද අභිලේඛන හැදෑරීමට ගත හැකි ය. විශේෂයෙන් පැරැණි ලක්දිව පැවති විවිධ සමාජ සංවිධාන පිළිබඳවත්, සමාජය මෙහෙය වූ විවිධ බලවේග මෙන් ම සමාජ සිරිත් විරිත් පිළිබඳවත් වටිනා කරුණු රාශියක් විමසීම මෙහි දී සිදු කෙරෙයි.

පැරැණි පුරාවිද්‍යාත්මක කැණීම් රාශියක් අනාවරණය කළ වැදගත් කරුණක් වන්නේ ලංකාවේ ඉපැරැණි රෝහල් සම්බන්ධ තොරතුරු ය. රෝහල් පිළිබඳ තොරතුරු කැණීම්වලින් හමුවෙද්දී ඊට අදාළ වෘත්තීන් පිළිබඳ තොරතුරු අභිලේඛනයන්හි දැක්වේ.

දහ වන සියවසට අයත් කිරිබත් වෙහෙර ටැම් ලිපිය පෙන්වා දෙන්නේ රෝහලේ නඩත්තුව සඳහා ඉඩකඩම් පවරා දී තිබූ බවයි. එමෙන් ‘වෙද්හල්‘, ‘බෙහෙත් ගේ,‘ ‘මහවෙද්නා‘, සුළු වෙද්නා, ‘වෙද්හල් සම්දරුවන්, ‘වෙද්හල් කැමියන්, වෙද්හල් දසුන්‘ වැනි වෛද්‍ය වෘත්තියට අදාළ ස්ථාන සහ තනතුරු නාම රාශියක් ම බොහෝ අභිලේඛනවල හමු වීමෙන් පෙනෙන්නේ පැරණි සමාජයේ සෞඛ්‍ය සම්පන්න බව කෙරෙහි සමාජයේ පැවති ආකල්පයයි.

ජලය හා බැඳුණු සංස්කෘතියක් පැවති අයුරු බොහෝ අභිලේඛන පෙන්වා දෙන කරුණකි. දිඹුලාගල සමීපයෙන් සොයාගත් මෝලාහිටියවෙලේගල ගිරි ලිපියෙන් අනාවරණය කරන්නේ “සොවණ කොතුරු නියතෙ“ යනුවෙන් ස්වර්ණ වූ කෙණ්ඩියකින් ජලය වත් කොට විහාර නඩත්තුව පිණිස ඇළක් භික්ෂූන්ට පූජා කළ බවයි. මෙම සම්ප්‍රදාය වත්මන තුළ අපට දැකිය හැකි වන්නේ, දේපළක් විහාරාරාම සන්තකව පූජා කිරීමේ දී මෙම ක්‍රමය අනුගමනය කිරීමෙනි.

එහි දී ජලය හුවමාරු සංකේතයක් ලෙස පිළිගැනේ. අනුරපුර පෙරුමියම්කුලම් ගිරි ලිපියෙහි දැක්වෙන්නේ “දකපති‘ සහ ‘මජිබක‘ යනුවෙන් රජුට හිමි ජල බද්ද සහ මාළු බද්ද භවනා ගෘහයක් ප්‍රතිසංස්කරණය සඳහා විහාර සන්තක කළ බවයි. ජලය සංස්කෘතික මෙන් ම ආර්ථික සම්පතක් වූ අයුරු එයින් පෙනෙයි.

ලංකාවේ එවකට අපරාධ අවම කරලීම සඳහා රජවරුන් දැඩි දඬුවම් පනවා තිබුණු අයුරු අභිලේඛන පෙන්වා දෙයි. වේවැල්කැටිය පුවරු ලිපිය මෙයට ඉතා වැදගත් ම නිදසුන වෙයි. එල්ලා මැරීම , අත්පා කැපීම, හංවඩු ගැසීම, රත් කළ යකඩ පාවහන් පැළඳවීම, දඩගැසීම හා පිටුවහල් කිරීම වැනි දඬුවම් නියම කර තිබුණි. මෙහි දී මිනීමැරීමේ වරදට දඬුවම් පනවා ඇතත් එය තීරණය කළ යුත්තේ දසගම් ප්‍රධානීන් එකතු වී සාකච්ඡා කොට නඩුව විචාරා සියලු තොරතුරු ලියා තැබීමෙන් පසුව ය.

රාජ නියෝගයකින් මරණ දඬුවම කි‍්‍රයාත්මක නොවූ බව එයින් පෙනේ. සොරකමට දඬුවම කි‍්‍රයාත්මක නොවූ බව එයින් පෙනේ. සොරකමට දඬුවම නඩුව අසා නියම කරවා අයිතිකරුට අයත් කොට ද සොරු එම ගමින් නෙරපා හැරීමයි. මේ නිසා අපරාධකරුවන්ට සැඟවී සිටීමට නොහැකි විය.

මිනී මැරීමට අනුබල දීම මිනීමැරීම තරම් බරපතළ වරදක් සේ පිළිගැනුණි. ඔහුට රත්‍රං කලං පනහක් දඩ ගැසිය යුතු වූ අතර එය ගෙවිය නොහැකි වූ විට ගෙය රාජ සන්තක කිරීමට හෝ අත් කපා දැමීමට හෝ නියෝග කර තිබුණි.

ගවයා පැරැණි යුගයේ වටිනාම ආර්ථික සම්පතක් සේ පිළිගැනුණු අතර ගවයා මැරීම මරණ දඬුවම ලැබීමට තරම් වරදක් ලෙස වේවැල්කැටිය ලිපියෙහි නියෝගකර තිබෙයි. ගවයින් සොරකම් කරන්නන් අල්වා කිසිල්ලේ හංවඩු ගැසීමට නියෝග කර තිබීමෙන් පෙනෙන්නේ ගව සම්පත ආරක්ෂා කර ගැනීම කෙරෙහි තිබූ රාජ්‍ය මැදිහත් බවයි.

මෙම නීති උල්ලංඝනය කළවුන් අල්වා රත් කළ යකඩ පාවහන් පැළඳවීමට නියම කර තිබීමෙන් පෙනෙන්නේ නීතියේ තිබූ දැඩි බවයි. නීතිය ලිහිල්ව ගිය සමාජයක සාමකාමී සහජීවනය අපේක්ෂා කළ නොහැකි බවට පැරැන්නන් තුළ පැවති විශ්වාසයේ අගය වර්තමානය හා සමඟ සසඳා බලද්දී අපට පෙනෙයි.

පෝෂණීය ආහාර වේලක තොරතුරු තෝනිගල ගිරි ලිපියෙන් පෙනෙයි. මෙයට අනුව වී, උඳු, මුං, කව්පි, තල ආදිය ප්‍රධාන නිෂ්පාදිතයන් වූ අතර ජනතාවගේ ප්‍රධාන ආහාර වේල බවට මේවා පත් විය.

මෙයට අමතරව දීකිරි, මීපැණි, කැවිලි වර්ග, පැනි, දුන්තෙල් හා පලාවර්ග ද බුලත් ද ආහාර වේලෙහි අංග විය. සෞඛ්‍ය සම්පන්න පෝෂණීය ආහාර වේලකට අවශ්‍ය දෑ මෙහි අන්තර්ගත ය.

දහ වන සියවස පමණ වන විට පොහොය දිනය ලංකාවේ නිවාඩු දිනයක් ව පැවති බවට බදුලු ටැම් ලිපිය අනාවරණය කරයි. පෝදා වෙළඳාම් කරන්නෙකු වෙතින් තෙල් බද්දක් දඩය වශයෙන් නියම කර ඇති අතර එම තෙල් වැය කොට මහියංගණ විහාර භූමියෙහි පහන් දැල්වීමට නියම කර තිබුණි.

දඬුවම නියම කෙරුණේ නැවත එවන් වැරැද්දක් නොවන ලෙස ආගමික පසුබිමක ගත කිරීමට ය.

තිඹිරිවැව ලිපියට අනුව රාජ කාර්යයන් සඳහා දින නියම කර තිබූ අතර පෝ දිනයෙහි කිසිදු රාජකාරියක් නියම කර නොතිබුණි. මේ අනුව පෙනෙන්නේ ආගමික කටයුතු සඳහා පොහොය දිනය වෙන්ව තිබූ බවයි.

අල්ලස් ගැනීම දහ වන සියවස වන විට මුළුමනින් ම තහනම් කර තිබුණි. බදුලු ටැම් ලිපියෙහි දැක්වෙන්නේ “ගවට් ආ රදොලන් රහමස් දී ගිතෙල් නොගන්නා ඉසා“ යනුවෙනි. එයින් කියවෙන්නේ රාජ්‍ය නිලධාරීන් ගම්වලට වැද රා මස් ආදිය අල්ලසට දී ගිතෙල් ලබා නොගත යුතු බවය.

හතර වන මිහිඳු රජු පැනවූ මිහින්තලා පුවරු ලිපියෙහි ද දැක්වෙන්නේ විහාර රාජකාරී වෙනුවෙන් ලබන වැටුප්වලට අමතරව වෙනත් කිසිවක් නොලද යුතු බවයි. අල්ලස් ගැනීමට එරෙහි ව පැරණි සමාජයේ පැවති තහංචි රාශියක් අභිලේඛන රාශියක ම දැක්වෙයි.

ලොව ඉතා සාධාරණ වෙළෙඳ ප්‍රතිපත්තියක් ශී‍්‍ර ලංකාවේ පැවති බවට තොරතුරු හෙළි කරන්නේ ද බදුලු ටැම් ලිපියකි. පාරිභෝගිකයා මෙන් ම නිෂ්පාදකයා ද ආරක්ෂා වන පරිදි එහි පැනවීම් රාශියක් කර තිබෙයි.

මෙයින් පාරිභෝගිකයා කෙතරම් ආරක්ෂා කර තිබේ ද යන්න පෙන්වා දෙන්නේ බුලත්, පුවක් වැනි ක්ෂණික ආහාර ආවරණයකින් තොරව විකිණීම තහනම් කර ඇති බැවිනි. නූතන වෙළඳ සමාජය හා සංසන්දනය කිරීමේ දී මෙවන් වෙළඳ ප්‍රතිපත්ති අතීත සමාජය කෙතෙක් සෞඛ්‍ය සම්පන්න කළා ද යන්න පෙන්වයි.

එමෙන් ම සාධාරණ කිරුම් මිනුම් ක්‍රම එකල භාවිත කිරීමට නියෝග කිරීමෙන් පාරිභෝගිකයා සුරක්ෂිත කෙරිණි. “ගණ ලහස්සෙන් මිසැ සෙසු ලහසියෙන් නොමනනු“ යන නියෝගය තුළ පෙනෙන්නේ සම්මත ලාසුවෙන් ම ධාන්‍ය මැනිය යුතු බවයි. හොර තරාදි, හොර පඩි භාවිතය වැළැක්ම සඳහා ඒවා සීල් තැබීමේ ක්‍රමයක් ද පැවතුණි. භාණ්ඩ විකිණීමට සුදුසු ස්ථාන නියෝග කර තිබීමෙන් නුසුදුසු ස්ථානවල වෙළඳාමෙන් පාරිභෝගිකයාට වන අනර්ථය වළකා තිබෙයි. නූතන වෙළඳ සමාජය මෙ අතීතයෙන් පාඩම් උගත යුතු ව තිබෙයි.

මෙසේ මෙම ඓතිහාසික මූලාශ්‍ර පරික්ෂා කිරීමේ දී ශී‍්‍ර ලංකාවේ ඉතිහාසයේ රසබර තොරතුරු රාශියකින් ම අප දැනුවත් කෙරෙයි. මේවා මතාන්තර යයි කිසිවෙකුටත් බැහැර කළ හැකි ද? ක්‍රමවත් පරිපාලනයක් හා සමාජ රටාවක් එකල සකස්ව පැවති බවට මොන තරම් සාක්ෂි අභිලේඛන සාහිත්‍ය අපට අනාවරණය කරයි ද?