Print this Article


උඩරට නර්තන වාදන කලාවෙන් අසිරිමත් වන සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්ලය

උඩරට නර්තන වාදන කලාවෙන් අසිරිමත් වන සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්ලය

වාර්ෂිකව මහනුවර පැවැත්වෙන ඇසළ පෙරහර මංගල්ලය, මංගල සම්මත රාජපූජිත දළදා පූජෝපහාර මංගල්ලයක් පමණක් නොව, හෙළ සංස්කෘතික අභිමානය ලොවට විදහාපාන මහා සංස්කෘතික මංගල්ලයක් ද වේ.

එහි මූලික අරමුණ වන්නේ ජීවමාන බුදුන් හා සමකොට සැලකෙන අතිඋතුම් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ විෂයෙහි පූජෝපහාරය දැක්වීම ය. එමෙන්ම දළදා පූජෝපහාරය පවත්වා කලට වැසි පතා රට සමෘද්ධිමත් කොට සෞභාග්‍යය ඇතිකර ගැනීම ද එහි අරමුණක් වේ. අනතුරුව ව්‍යවහාර වර්ෂ 1753 වැන්නේ සෙංකඩගලපුර කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස සිට ප්‍රධාන වශයෙන් ශ්‍රී දළදා වහන්සේ විෂයෙහි පූජෝපහාරය පිණිසත්, ඊට අමතරව නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන සිවු දෙවියන්ට බැති පුද පිණිසත්, කලට වැසි ලබා ගොවිතැන සරුසාර කොට රටේ සමෘද්ධිය හා සෞභාග්‍යය ඇතිකර ගැනීම පිණිසත් හෙළ සංස්කෘතියේ අභිමානය ලොවට විදහා දැක්වීම පිණිසත් මෙම උතුම් පෙරහර මංගල්ලය පැවැත්වීමේ සිරිත ඇරඹිණ. දළදා මාළිගාව පෙරටු කොට නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන සිවුමහාදේවාල පෙරහර පෙළගැසීම ද ඇරඹුණේ එතැන් සිටය. අදටත් නොකඩ කොට පැවැත්වෙන සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්ලය හෙළ සංස්කෘතියේ උදාරත්වය ප්‍රෞඪත්වය හා ශ්‍රීවිභූතිය විදහා දක්වන කැඩපතක් වන් උඩරට නැටුම් කලාවේ එකම මහාවේදිකාව බඳු ය.

ඇසළ පෙරහර මංගල්ලයේ විචිත්‍රත්වය හා අභිරමණීයත්වය දෙගුණ තෙගුණ කෙරෙන උඩරට නැටුම් කලාවේ ප්‍රභවය පිළිබඳව නිශ්චිතව කිවහැකි මූලාශ්‍ර නොමැති වුවද රාජානුග්‍රහයන් නොමඳව ලබා දිගු ඉතිහාසයක් පුරා චිරාගත සාම්ප්‍රදායික පුදසිරිත් ඇසුරු කොට පවත්වාගෙන එනු ලබන පූජාව හා ශාන්තිය මුල් කොට ගත්, මෙම විචිත්‍ර කලා සම්ප්‍රදාය බොහෝ දෙනා කරුණු කාරණා මැනවින් අධ්‍යනය නොකොට, මහනුවර යුගයේ ඇතිවූවක් ලෙසම අර්ථගැන්වීම යුක්තියුක්ත නොවන බව හැඟේ.

වත්මනෙහි පවත්නා සිංහල නැටුම් කලාවේ ප්‍රභවය විජයාවතරණයට පෙරාතුව පටන් පැවති කලාවන්ගෙන් ද පෝෂණය ලබා මෙරටටම ආවේණික වූ පරිදි සැකසුණු නැටුම් සම්ප්‍රදායන් මත ගොඩනැ¼ගුණු බව පෙනේ.

විජය රජුගේ ආගමනයේ දී එක්තරා රැයක නැටුම් ගැයුම් වැයුම් හඬින් මහත් ඝෝෂාවක් කණවැකුණු විජය රජු, එම ඝෝෂාව කුමක්දැයි කුවේණියගෙන් විමසූ විට යක්ෂයන්ගේ විවාහ මංගලෝත්සවයකින් නැගෙන ඝෝෂාවකැයි පැවසූ බව වංසකතා මූලාශ්‍රයන්හි සඳහන් වේ.

මින් සිරිලක මුල් වැසියන්ට ඔවුන්ටම ආවේණික වූ නර්තන, ගායන, වාදන කලාවක් හිමිව තිබූ බව මනාව පසක් වේ. පඬුවස් දෙව්රජුට වැළඳුණු දිවිදෝෂය දුරු කිරීමට කෙරුණු ශාන්ති කර්මය, අදටත් උඩරට ප්‍රචළිතව පවත්නා කොහොඹාකංකාරි ශාන්තිකර්මයෙන් නිරූපණය වන්නා වූ නැටුම්, ගැයුම්, වාදන තුළින් ද ඉස්මතුව දක්නා ලැබේ. උඩරට වෙස් නැටුම ද එහි එක්තරා අවස්ථාවකි.

සම්බුද්ධ වර්ෂයෙන් 236 වැන්නේ මහින්දාගමනයෙන් අනතුරුව සංඝමිත් මහතෙරණිය විසින් ශ්‍රීමහාබෝධිය වැඩම කළ අවස්ථාවේ, දේවානම්පියතිස්ස රජු බෝධිපූජා කළ අයුරු දැක්වෙන සිංහල බෝධිවංශයට අනුව “ශක්‍රදේවේන්ද්‍රයන්ගේ රඟමඬලක් මෙන් සිත්කලු වූ නැටීම්, ගීකීම්, ගැසීම්, පිඹීම් සංඛ්‍යාත වූ චතුරංග සංගීතයෙන් අතොරක් නැතිව පැවති බව” සඳහන් වේ.

මේ අනුව ද ශ්‍රීමහාබෝධිය වැඩමවීමට පෙරාතුව සිට ලක්දිව තූර්යවාදන හා නර්තන කලාවක් පැවති බව තහවුරු කෙරේ. සිංහල බෝධිවංශයට අනුව ශ්‍රී මහාබෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව සමඟ මෙහි පැමිණි බෝධිගුප්ත, සුමිත්ත, චන්ද්‍රගුප්ත, දේවගුප්ත, ධර්මගුප්ත, සූරියගුප්ත, ගෝතම හා ජුතින්ධර යන රාජ කුමාරවරු අට දෙනාගෙන් “චන්ද්‍රගුප්ත කුමාරයෝ මහබෝ මඟුලෙහි රන් බෙර ගසත්වයි” කියා මලය රජ තනතුර දී විල්බා දනව්ව ඕ හට ප්‍රවේණි කොට දුන්නේ ය යනුවෙන් ද, බෝධිය සමඟ පැමිණි අවශේෂයන් අතර, ගන්ධර්ව කුලයේ ප්‍රධානියාට පළවාන තනතුර දී (පළවානා/ මහපළවනා/ පටාභවාදක නම් ප්‍රධාන තනතුර) මහබෝධියට තුන්වරු හේවිසි පූජා කිරීම ඔහුට පැවරිණ. “පළවානා යටතේ ගන්ධර්ව (ගඳව්) කුලයට අයත් හේවිසි වාදකයෝ බෝධියට තුන්වරු හේවිසි පූජා පැවැත් වූහ” යනුවෙන් සඳහන් වේ.

ශ්‍රීමහබෝධින් වහන්සේ වැඩමවීමෙන් අනතුරුව පංචතූර්ය නාද හේවිසි පූජා පැවැත් වූ පිරිස්ම ව්‍යවහාර වර්ෂ 310 වැන්නේ දී දළදා වහන්සේ වැඩමවීමෙන් අනතුරුව දළදා වහන්සේ විෂයෙහි ද හේවිසි පූජා පැවැත්වීමේ සිරිත සිදුකළැයි සිතාගත හැකි ය.

දළදා වහන්සේ වනාහි ශාරීරික සර්වඥ ධාතූන් වහන්සේ අතුරෙන් අග්‍ර වූ ශාරීරික ධාතූන් වහන්සේ නමක් වන හෙයින් මෙම චාරිත්‍රය නොකඩ කොට පැවැත්විණ.

ලක්දිව රාජධානි මාරුවීමත් සමඟ රාජධානියෙන් රාජධානියට පරපුරෙන් පරපුරට පවත්වාගෙන ආ මෙම හේවිසි පූජා චාරිත්‍ර පළමුවන විමලධර්මසූරිය :ක්‍රි. ව. 1592 – 1604 රාජ්‍ය සමයේ සෙංකඩගලපුර වෙත දළදා වහන්සේ වැඩමවීමත් සමඟ පෙර පැවති පුද සිරිත් සමඟ එලෙසම පැවැත්වූ බව පෙනී යයි.

මහනුවර රාජ සමය වනවිට දඹදෙණි කුරුණෑගල රාජධානි වලදී ගම්වර දී පත්කරන ලද හේවිසි පරම්පරා වලින් ඉහළ දොළොස්පත්තුව (කුරුණෑගල මාවතගම ඇතුළු ප්‍රදේශ) පහළ දොළොස්පත්තුව (හිරියාල හත්පත්තුව ඇතුළු ප්‍රදේශ) දුම්බර මාතලේ ආදි ගම්වර ලැබූ හේවිසි පරම්පරාවන්ගෙන් පැවතගෙන එන අය අදටත් සෙංකඩගලපුර දළදා හේවිසි පූජාවන්හි යෙදෙති.

එම ඉපැරණි හේවිසි පරම්පරා හා සම්බන්ධ මාලගම්මන (චමින්ද මාලගම්මන), ඉහළවෙල (පී.කේ.ජී.එම්. ඉහළවෙල) මොළගොඩ (ඒ.ජී. ජේමිස්), උඩුවෙල (ඕ.පී. කරුණාදාස) යන හේවිසි පරම්පරාවන්ගෙන් පැවත එන්නෝ අදටත් දළදා මාළිගාවේ තේවාවන්හි දී හා උත්සව මංගල්ලයන්හි දී හේවිසි පූජා නො කඩ කොට ඉටු කිරීමට දායක වෙති. රජුන් විසින් පත්කරන ලද ඔවුනට දෙන ලද ගෞරව නිල නාමය පණික්කි යනුයි. ප්‍රධානියා මහපණික්කියා නම් විය.

මම ලිපියේ තවත් කොටසක් නිකිණි අව අටවක පෝදා(30 වැනිදා) පත්‍රයේ පළවේ.