Print this Article


දේශයට රැකවරණය සලසන රාජ්‍යත්වයේ සංකේතය

දේශයට රැකවරණය සලසන රාජ්‍යත්වයේ සංකේතය

සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවීමෙන් පසු උන්වහන්සේ ආදාහනය කළ කුසිනාරා නුවර මල්ලව රජ දරුවන්ගේ උපවර්තන සල් උයනේ දී අකු ධාතූන් වහන්සේ දෙනමත්, ලලාට ධාතූන් වහන්සේ, ග්‍රීවා ධාතූන් වහන්සේ හා සතර දළදා වහන්සේ පමණක් ඉතිරිවී සෙසු ධාතූන් වහන්සේලා අබ පියල් මුන් පියල් ප්‍රමාණයට කැඩී ඉතිරිවූ බව මහා පරිනිබ්බාණ සූත්‍රය ආදී ඓතිහාසික වාර්තා අනුව සඳහන් වේ.

එම සතර දළදා වහන්සේ එක නමක් තව්තිසා දෙව්ලොව ද, එකනමක් නාගපුරයෙහි (වර්තමාන නාග්පූර් හි පවුනි ප්‍රදේශයේ ජගන්නාථ විහාරයේ ද(ධාතු වංසයේ සඳහන් වන්නේ නාගලෝකයේ වැඩසිටි බවයි), එකනමක් ගන්ධාර දේශයේ ද, එකනමක් කලිඟුරටේ ද වැඩ වෙසති.

මේ අනුව නාග පුරයෙහි වැඩ විසූ ශ්‍රී දකුණු දළදා වහන්සේ දැනට පොළොන්නරුවේ බුදුරැස් විහිදෙන සෝමවතී චෛත්‍ය රාජයා තුළ ද, එක නමක් වර්තමාන පකිස්තානයේ කෞතුකාගාරයක සුරක්‍ෂිත ව වැඩ වෙසෙති.

වාම ශ්‍රී දළදා වහන්සේ දැනට රන්, රිදී, මුතුමැණික් වලින් සමන්විත ව සියැසින් දැකබලා ගැනීමේ භාග්‍ය උදාකරමින් මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වැඩවසන සේක.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වසර 218 ක් ගතවන මොහොතේ ම ධර්මාශෝක මහ රජතුමා මහකෙළ නාගරාජයා විසින් මවා පෙන්වන ලද සම්බුද්ධ දේහය සියැසින් දැක අසීමීත බුද්ධාලම්භන ප්‍රීතියට පත්විය. එකී සම්බුද්ධ රූපය ප්‍රතිමාවකට නඟා බුදුරජාණන් වහන්සේ උදෙසා පාඨලී පුත්‍ර, ඉසිපතන, ලුම්බිණි, කුසිනාරා, සාංචි ආදී බෞද්ධ සිද්ධස්ථානවල පෙරහරක් පැවැත්වූ බව චීන ජාතික පාහියං භික්‍ෂූවගේ වාර්තාවල සඳහන්ය.

මෙබඳු වාර්තා අනුව අශෝක අධිරාජ්‍ය සමය පටන්ම බෞද්ධ සංස්කෘතියට පෙරහරවල අංගයන් ඇතුළත් වූ ආකාරය දැක්වේ. සංඝමිත්තා මහරහත් ථෙරණිය ද ශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරාධපුරයට වැඩම කරවීමේ දී පෙරහැර සම්බන්ධ වූ බව සඳහන් කර ඇත. එතැන් පටන් ලක්දිව පෙරහර ද ආරම්භ වන්නට ඇතැයි සැලකේ.

ගජබා රාජතුමාගේ විජයග්‍රහණය නිමිතිකොට ආරම්භ කරන ලද සෝමවතී මහ සෑ දකුණු දළදා පෙරහර නැවතත් වර්තමානයේ ද පවත්වන මොහොතේදී අලි ඇතුන් නොලැබීම නිසා චෛත්‍ය රාජයා තුළින් එළියට පෙරහරක් පැමිණීමෙන් ද, රන්වන් මාල හා හැට්ටයකින් සමන්විත සුදු ඇත් පැටවෙක් චෛත්‍ය රාජයාගේ ගර්භයෙන් එළියට මතුවී කුඩා ළමයකුගේ ඇගේ හැප්පී නැවත චෛත්‍ය රාජයා තුළට ගමන් කරන අයුරින් ගත් ඡායා රූපවලින් ද පෙරහරකට අලි ඇතුන් අත්‍යවශ්‍යම වූ බව පැහැදිලි වී ඒ අනුව මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඉන්දිරාජා හස්ථියා රැගෙන ගොස් පෙරහර පටන්ගන්නා මොහොතේ දී කැළය තුළින් එක දළක් ඇති ඇත්පැටවෙක් පැමිණීමෙන් ද, එම ඇත්පැටවා සමඟ සුදු ඇත් පැටවෙක් දර්ශනය වීමෙන් ද ඒ සමඟම චෛත්‍ය ගර්භය තුළින් මතුවූ දළදා වහන්සේ සහිත කරඩුව කොත් වහන්සේ සමීපයෙහි දර්ශනය වීමෙන් පසුව 2007 වර්ෂයේ දී පෙරහර ආරම්භ කරනවාත් සමඟම දළදා වහන්සේ චෛත්‍යරාජයාගේ ගර්භයෙන් ඉවතට මතුවු ආකාරයත්, විෂ්ණු දෙවියන් ඇතුළු දෙවිවරු චෛත්‍යරාජයා වටා වැඩසිටින ආකාරය ඡායාරූප ගතකර ගැනීම ආදී ආශ්චර්යමත් සිද්ධීන් තුළින් ද දළදා වහන්සේ උදෙසා පවත්වන පෙරහරෙන් අදෘශ්‍යමාන බලවේගයන් සහිත ආශීර්වාදයන් සකල ජනතාවට ම ලබා ගත හැකි බව ප්‍රකට වන්නකි.

මේ අයුරින් පෙරහර බෞද්ධ සංස්කෘතියේ අංගයක් බවට පත්විය. අද මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වැඩවසන වාම ශ්‍රී දළදා වහන්සේ හේමමලා දන්තකුමරු දෙපළ රාජ්‍ය වර්ෂ 301 දී කිත්සිරිමෙවන් රජුට බාරදුන්හ. අනතුරුව රජතුමාට ඇතිවූ සැකය දුරලමින් දළදා වහන්සේ අහසට පැන නැඟ ප්‍රාතිහාර්යය පෑහ. ඒ දැකීමෙන් අසීමිත බුද්ධාලම්බන ප්‍රීතියට පත් රජතුමා දළදා වහන්සේ රජගෙදරට වැඩමවා සිංහාසනයේ වඩා හිඳුවා නොයෙක් පුදපෙරහර පැවත්වීය. මුළු ලක්දිවම තුන්වතාවක් දළදා වහන්සේට පූජා කළේය. මේ බව මහාවංසය ආදී ග්‍රන්ථයන් හි සඳහන් වේ.

එතැන් පටන් අභයගිරියෙහි ද දළදා වහන්සේ වඩා හිඳුවමින් රාජ්‍ය සංකේතය බවට පත් කොට සෑම රජ කෙනෙක් ම ස්වකීය මාලිගාවේ ම තබමින් පුද පූජා පවත්වමාන්, බුද්ධෝපස්ථානය කළ ආකාරය සඳහන් වේ.

අනුරාධපුර යුගයෙන් පසු පොළොන්නරු යුගයේ ද විජයබා, පරාක්‍රමබාහු හා නිශ්ශංකමල්ල ආදී රජවරුද ඒ ආකාරයෙන්ම දළදා වහන්සේ සඳහා පුද පෙරහර පැවැත් වීය. කාලිංග මාඝ චන්‍ද්‍රභාණු ආක්‍රමණ නිසා දඹදෙණියට රාජධානිය ගෙන ගිය අතර භික්‍ෂූන් වහන්සේ ද දළදා වහන්සේ හා පාත්‍රා ධාතූන් වහන්සේ කොත්මලේ පුසුල්පිටිය සමීපයෙහි සපුගහක සඟවා බුරුමයට පැන ගියහ.

2 වැනි පරාක්‍රමබාහු රජතුමා ස්වකීය මාළිගාව සමීපයහි ම දළදා මාළිගාවක් සාදා නොයෙක් පුද පූජා පැවැත් වී ය. පරසතුරු ආක්‍රමණ හා රාජ්‍ය තුළ ඇති වූ ගැටුම් නිසා දළදා වහන්සේ කුරුණෑගල, යාපහුව, ගම්පොල, කෝට්ටේ අදී රාජධානිවලට ද ගෙන ගිය අතර, සීතාවක රාජසිංහ රාජ්‍ය කාලය වන විට දළදා වහන්සේ රත්නපුරය කුරුවිට දෙල්ගමුව රජමහා විහාරයේ කුරහන්ගල යට සඟවා තබමින් රහසිගතව පුදපූජා පැවැත් වීය. පළමු රාජසිංහයන් නිසා ඇති වූ සම්බුද්ධ ශාසනයේ විනාශය සමඟ එකදු උපසම්පදා භික්‍ෂුවක්වත් නැති විය. ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ ද විනාශයට පත් විය. නැවත රා.ව. 1542 දී වික්‍රමබාහු රජතුමා කන්දඋඩරට සෙංකඩගල රාජධානිය පිහිටුවීය. රජ ගේ සමීපයෙහි දෙමහල් පෝය ගෙයක් බඳවා, ඒ සමීපයෙහි දාගැබෙහි පාත්‍රා ධාතූන් වහන්සේ නිදන් කළේ ය. එයට පෝයමලු විහාරය නමින් නම් තැබීය. ඒ අවට වෙහෙර විහාර 86 ක් සාදවා උපසම්පදා භික්‍ෂූන් වහන්සේ 355 නමක් ඇති කළේය.

පළමු විමලධර්මසූරිය රාජ්‍ය කාලයේ දී දළදා වහන්සේ දෙල්ගමුවේ සිට මහනුවරට වැඩමවීය. එහි මාලිගාවක් සාදවා දළදා වහන්සේ තැන්පත් කොට පෝයමළු විහාරයේ හා අස්ගිරි විහාරයේ භික්‍ෂූන් වැඩමවා පුද පූජා පැවැත්වූ අකාරය ද මැනවින් සඳහන් වේ.

ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය වැඩිදියුණු කළ වැලිවිට ශ්‍රී අසරණ සරණ සරණංකර සංඝරාජෝත්තමයන් වහන්සේ ඇතුළු මහා විහාරයීය භික්‍ෂූන් වහන්සේ සියම් රටෙන් උපසම්පදාව වැඩම වූ උපාලි හිමියන් ඇතුළු භික්‍ෂූන් වහන්සේත් සතර දේවාල පෙරහර බලන අවස්ථාවේ දී දළදා වහන්සේ උදෙසා ද මෙවන් පෙරහරක් පැවැත්වීම සුදුසු යැයි කරන ලද යෝජනා හා අදහස් ද, කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට ඉදිරිපත් කළෙන් රජතුමා අසීමිත සතුටට පත්ව පෙරහරක් සංවිධානය කරවා සතර දේවාල පෙරහරට පෙරටුව වීදි සංචාරය කිරීමට සැලැස් වීය.