Print this Article


උපසම්පදාව ඉල්ලා සියමට ගිය දූත පිරිස ගමන් ගත් නැව මුහුදු බත්වෙයි

උපසම්පදාව ඉල්ලා සියමට ගිය දූත පිරිස ගමන් ගත් නැව මුහුදු බත්වෙයි

අවාසනාවකට මෙන් මෙවර ද දූත පිරිස රැගත් ඕලන්ද නැව විපතට පත් වෙයි. දොරණෑගම මුහන්දිරම්රාළ මේ ගමනේ දී ජීවිතක්ෂයට පත් වන අතර විල්බාවේ දිවිගලවා ගනියි.

මිහිඳු මහරහතන් වහන්සේ විසින් හෙළදිවට දායාද කරනු ලැබූ භික්ෂු ශාසනය අනුරාධපුර යුගයේ දී දීප්තිමත් අවධියකට පැමිණෙයි. පොළොන්නරු යුගයේ මුල් භාගයේ දී තවත් වර්ධනය වෙයි. එහෙත් එහි අවසාන භාගයේ දී ක්‍රමයෙන් පරිහානිය වෙත ළගා වෙයි.

පළමුවැනි පරාක්‍රමබාහු රජතුමා පොළොන්නරු කතිකාවත හෙවත් ගල්විහාර සෙල්ලිපිය මඟින් තුන් නිකායක් සමඟි කරවා දුසිල්වත් මහණුන් සිවුරු හරවා යැවූ පුවතක් දක්වයි.

ශාසනික ප්‍රතිපදාවලට විරුද්ධවෙමින් කටයුතු කළ පිරිස් අනුරාධපුර යුගයේ සිට ක්‍රමයෙන් බිහිවූ අතර පොළොන්නරු යුගයේ දී උච්චතම අවස්ථාවකට පත් ව තිබූ බව කතිකාවත සාක්ෂි දරයි. දඹදෙණි කතිකාවත ද එය තහවුරු කරයි.

ක්‍රමයෙන් පිරිහෙමින් පැමිණි සංඝ ශාසනය මහනුවර යුගය වන විට දැඩි පරිහානියකට පත්වෙයි. එකල උපසම්පදා භික්ෂුවක් පවා හෙළදිව නොවීය.

රජවරුන්, අමාත්‍යවරුන්, මහා දානපතියන් ඇතුළු සිවුවනක් පිරිස සම්බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් වෙහෙර විහාර ඉදිකර පූජා කළහ. ඒවා ආරක්ෂා කරමින් දිවි ගෙවන, සිවුරු දරාගත් භික්ෂුත්වය නිරූපණය කළ පිරිසක් පමණක් දහඅට වන සියවස වන විට ඉතිරි වී ඇත.

ශාසනික ප්‍රතිපත්ති අනුගමනය නො කළ ඔවුහු දාගැබ්, සංඝාවාස, විහාර සංකීර්ණ සහ රජවරුන් පූජා කළ කෙත්වතු ඇතුළු පූජා භාණ්ඩ, ධර්ම පුස්තක ආදිය ආරක්ෂා කරමින් දිවි ගෙවූහ. තව ද ඔවුන්ට හැකි අයුරින් අකුරු ශාස්ත්‍රය දරුවන්ට ලබා දීමට ද පියවර ගත්හ. භික්ෂු ජීවිතයේ අරමුණ පන්සල් රැකීම පමණක් විය.

පැවිදි ජීවිතයට ඇතුළත් වන පුද්ගලයා ග්‍රන්ථ ධුරය හෝ විදර්ශනා ධුරය පිරිය යුතු ය. ග්‍රාමවාසී හෝ අරණ්‍යවාසී විය යුතු ය.

එහෙත් භික්ෂු ජීවිතයට අදාළ එකදු කි‍්‍රයා පිළිවෙතක් හෝ අනුගමනය නො කර ගිහියකුගේ දිනචර්යාව ගත කිරීමට පෙළඹී ඇත. මෙ වැනි පසුබිමක වැලිවිට සරණංකර හිමි බිහි වෙයි. උන්වහන්සේ ක්‍රමයෙන් සිංහල, පාලි ආදිය හොඳින් ප්‍රගුණ කර ධර්මය අධ්‍යයනය කරති. පවතින ශාසනික කටයුතු භික්ෂුත්වයට නො ගැළපෙන, බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ කටයුතුවලින් බැහැරව ඇති බව අවබෝධ කර ගනිති. එහි ප්‍රතිඵලයක් ලෙස සිල්වත් සමාගම පිහිටුවයි.

පිණ්ඩපාතයෙන් දිවි ගෙවීම, ධර්මය අධ්‍යයනය කිරීමට පැවිදි පිරිස යොමු කිරීම, ධර්මය ප්‍රචාරය කිරීම වැනි ශාසනික ප්‍රතිපදා නැවත කි‍්‍රයාවට නඟයි.

එකල පැවැති සමාජ තත්ත්වය සහ ශාසනික පසුබිම සඟරජවත සහ සංඝරාජසාධු චර්යාව වැනි කෘති සාක්ෂි සපයයි. වැලිවිට තෙරුන් වහන්සේගේ අපරිමිත උත්සාහයේ ප්‍රතිඵල ලෙස ක්‍රමයෙන් සංඝ ශාසනයේ දියුණුවක් ඇති වෙයි. එය පූර්ණය කිරීමට උසම්පදාව පමණක් ඌන විය.

වැලිවිට සරණංකර හිමියෝ ඒ වෙනුවෙන් ද උනන්දු වූහ. පළමු උත්සාහය ගන්නේ නරේන්ද්‍රසිංහ රාජ්‍ය සමයේ ය. රජතුමාගේ වෘද්ධ භාවය උපසම්පදාව ගෙන්වීමට එකල බාධාවක් විය. එතුමාගේ රාජ්‍ය සමය අවසන් වනතුරු ඉවසා සිටි තෙරුන් වහන්සේ නායක්කර් වංශික විජය රාජසිංහ රාජ්‍ය සමයේ දී නැවතත් උත්සාහවත් වී රජතුමාගේ කැමැත්ත ලබා ගැනීමට ද සමත් වෙයි. කි‍්‍ර.ව.

1741 දී දොරණෑගම මුහන්දිරම්රාළ සහ මාතර මුහන්දිරම්රාළගේ නායකත්වයෙන් දූත පිරිසක් ඕලන්ද නැවකින් රජුගේ අනුග්‍රහය යටතේ සියමය බලා පිටත් කෙරිණ. එහෙත් සියම් රටට එනම් වර්තමාන තායිලන්තයට ළඟාවීමට පෙර මුහුදේ දී නැව විපතට පත් වෙයි.

දූත පිරිසෙන් දොරණෑගම මුහන්දිරම්රාළ ඇතුළු තිදෙනෙක් දිවි ගලවාගෙන නැවත දිවයිනට පැමිණෙයි. එයින් පසු බට නොවූ වැලිවිට තෙරුන් වහන්සේ දොරණෑගම මුහන්දිරම්රාළගේ නායකත්වයෙන් යුතු දූත පිරිසක් දෙවැනි වතාවටත් කි‍්‍ර.ව. 1747 දී උපසම්පදාව ගෙන ඒමේ පරමාර්ථයෙන් පිටත් කර ඇත.

අවාසනාවකට මෙන් මෙවර ද දූත පිරිස රැගත් ඕලන්ද නැව විපතට පත් වෙයි. දොරණෑගම මුහන්දිරම්රාළ මේ ගමනේ දී ජීවිතක්ෂයට පත් වන අතර විල්බාවේ දිවිගලවා ගනියි.

දැඩි කනස්සල්ලට පත්වුවත් තෙරුන් වහන්සේ තම උත්සාහය අත්හැරීමට අකමැති වෙයි. එහි ප්‍රතිඵලයක් වයෙන් කීර්ති ශී‍්‍ර රාජසිංහ රාජ්‍ය සමයේ දී තෙවැනි වතාවටත් සියමය බලා දූත පිරිසක් පිටත් කර හරියි. මෙවර නායකත්වය හිමිවන්නේ පෙරවතාවේ ද අත්දැකීම් සහිත විල්බාවේරාළට සහ පට්ටිපොළ අතපත්තුවේ ලේකම්ට ය.

මොවුන් දෙදෙනා ප්‍රමුඛ කොට ඇහැලේපොළ වෙඩික්කාර ලේකම්, ඊරියගම මුහන්දිරම්, ආයිත්තාලියද්දේ මුහන්දිරම්රාළ යන පස් දෙනාගේ මූලිකත්වයෙන් දූත පිරිස සමන්විත වෙයි.

සරණංකර තෙරුන් වහන්සේ වෙනුවෙන් වල්ලැවේ, ගලටොඹුවේ, දැලිවල, බෝතලේ සහ ඕගොඩපොළ නමින් පෙනී සිටි පුද්ගලයින් ද දූත පිරිසට එක් වී ඇත. වෙලගෙදර ඇමැති සහ සේවකයන් විසිතුන්දෙනෙක් ද ගමනට එක්වෙයි. රජු වෙනුවෙන් සරණංකර හිමියන් විසින් සකසනු ලැබූ රාජ සංදේශය ද, සරණංකර හිමියන් නියෝජනය වන සේ සැකසූ සංඝරාජ සංදේශය ද, තෙරුන් වහන්සේලාට සහ රජතුමාට ලබා දීමට තුටුපඩුරු ආදිය ද රැගෙන දූත පිරිස කි‍්‍ර.ව. 1750 ජුලි මස 12 වැනි දින ලන්දේසීන්ගේ ‘‘තාර්කා” නමැති නෞකාවෙන් ති‍්‍රකුණාමලය වරායෙන් සියම් රටේ අයෝධ්‍යාව බලා පිටත් වී ඇත. ක්‍රි.ව. 1751 නොවැම්බර් මස 14 වැනි දින සියම් වරායට ළගා වී තිබේ.

ඒ ගමනේ දී පට්ටිපොළ රාළ මිය ගොස් ඇත. සංඝරාජයන් වහන්සේ සහ රාජ්‍ය නිලධාරීන් මෙන් ම රජතුමා බැහැදුටු දූත පිරිස තම අවශ්‍යතාව සංදේශ මගින් සහ වාචිකව ඉදිරිපත් කරති.

සියම් භික්ෂූන් වහන්සේලා සහ රජතුමා එයින් කරුණු අවබෝධකර ගනිත්. එහි ප්‍රතිඵලයක් ලෙස උපාලි තෙරුන් වහන්සේ ප්‍රමුඛ විසිපස් නමක් කි‍්‍ර.ව. 1753 ජුනි මස 14 වැනි දින පෙරවරුවේ ති‍්‍රකුණාමලය වරායට පැමිණේ. මහා අස්සමි, මහාමුණි, මහාඉන්දජෝති, මහාබුවජෝති, මහාපුඤ්ඤජාතෝ, මහාචන්දසාර, මහාසාරචන්ද, මහාධම්මජෝති, මහාපඤ්ඤාස, මහාරට්ඨ, මහාචන්දජෝති, මහාමණිරස, මහාස්වර්ණ, මහාචන්දසුවණ්න, මහාඉන්දසුවණ්ණ, මහාබ්‍රහ්මස්සර, ආරියමුණි යන මහ තෙරුන් වහන්සේලා දාහත්නම සහ සාමණේර හිමිවරු හත්නමක් මේ ගමනට එක් වී ඇත.

කි‍්‍ර.ව. 1753 ජුලි 19 වැනි දින සියම් දේශයෙන් වැඩම කළ සාමණේර නමක් පළමුව උපසම්පදා කරයි. පසු දින කොබ්බෑවේ උන්නාන්සේ, වැලිවිට සරණංකර සාමණේරයන් වහන්සේ, හලංගමුවේ සාමණේර නම, බඹරදෙණියේ සාමණේර නම, තිබ්බටුවාවේ සාමණේර නම සහ නාවින්නේ සාමණේර නම යන තෙරුන් වහන්සේලා උපසම්පදාව ලබා ගනිති.

සියම් දේශයේ උපාලි තෙරුන් වහන්සේ වෙතින් උපසම්පදාව ලැබූ හෙයින් ස්‍යාමෝපාලි වංශික මහ නිකාය නමින් මහනුවර ප්‍රචළිත විය.

පසුව ක්‍රමයෙන් ලක්දිව පුරා මෙම නිකායික භික්ෂූන් වහන්සේලා ව්‍යාප්ත විය.

ආරණ්‍යවාසී සහ ග්‍රාමවාසී ලෙස අස්ගිරි සහ මල්වතු නමින් පාර්ශ්ව දෙකක් බිහිවෙයි. ඒ ආශ්‍රයෙන් ශී‍්‍ර ජයවර්ධනපුර කොට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව, ශී‍්‍ර ලංකා කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව, රන්ගිරි දඹුලු විහාර පාර්ශ්වය, වනවාස පාර්ශ්වය, ශී‍්‍ර රෝහණ පාර්ශ්වය, ඌව ස්‍යාමවංශික පාර්ශ්වය යනුවෙන් මේ වන විට නිකායන් හයක් ප්‍රභවය ලබා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරමින් උපසම්පදා විනය කර්ම පවත්වමින් සංඝ ශාසනයේ චිරස්ථිතිය උදෙසා සියම් උපසම්පදාව හෙළදිව කි‍්‍රයාත්මක වේ.