Print this Article


ප්‍රභාවත් ජීවිතයකට පොරොන්දුවක්

ප්‍රභාවත් ජීවිතයකට පොරොන්දුවක්

" ඡත්ත මානවක දිව්‍ය පුත්‍රයා ද තමා ලත් සැපතට හේතුව බැලීය. බුදුරජාණන් වහන්සේ නිසා ඒ සා මහත් සැපක් ලත් බව දැක, එහි පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක සිටියේ ය. ඒ දුටු මහජනයා විස්මිත ව භාග්‍යවතුන් වහන්සේ පිරිවැරූහ. මෙහි දී බුදුරජාණන් වහන්සේ දෙව් පුතු ලවා ඔහු ගේ සියලු ප්‍රවෘත්තිය ප්‍රකාශ කරවූහ."

සැවැත්නුවර වැඩ වසන බුදුරජාණන් වහන්සේ දිනක් අළුයම්හි බුදු ඇසින් ලොව බලන සේක. ඡත්ත මානවකයා හට වැළැක්විය නො හැකි බරපතල අකුසල විපාකයක් නිසා සොරුන් ගෙන් මැරුම් කන බව දුටුවහ. ඊට පෙර ඔහු තිසරණ පන්සිල් ගන්වා, ස්වර්ග මාර්ගයෙහි පිහිටුවන අදහස් ඇති වූහ. උන්වහන්සේ කලින් ම වැඩ මානවකයා යන පාර අද්දර රුකක් මුල වැඩ හුන් සේක.

කහවණු පසුම්බියක් ද රැගෙන යන මානවකයා සමඟ කෙටි පිළිසඳරක යෙදුණු බුදුරජාණන් වහන්සේ තිසරණගමනයත්, පංච ශීලයත් සමාදන් වීමේ අනුසස් ඡත්ත මානවකයාහට පහදා දී එය සරණ යන ආකාරය සහිත ගාථා කිහිපයක් වදාළහ.

එය සිතට ගත් ඔහු පන්සිල් ඉටා ගෙන තෙරුවන් ගුණ සිහි කෙරෙමින් ම නික්ම ගියේ ය. මහා මාර්ගයෙන් යන ඔහු සොරුන් වසන පෙදෙසකට ඇතුළු වී ඔවුන් ගැන නොසිතා පන්සිල් හා තෙරුවන් ගුණ සිහි කෙරෙමින් ම ගියේ ය. එහි දී සැඟවී සිටි සොරකු විසින් විෂ පෙවූ ඊයෙකින් විදින ලදී. ඔහු එතැන ම මැරී වැටුණේ ය. සොරු කහවනු පොදිය ගෙන පළා ගියහ.

මරණයට පත් ඡත්ත මානවක, නිදා පිබිදියාක් මෙන් තව්තිසා දෙව් ලොව රන් විමනෙක උපන්නේ ය.

ඡත්ත මානවකගේ මවුපිය නෑ මිතුරෝ පැමිණ හඬා වැළපුණහ. මාර්ගය සමීපයේ දර සෑයක් කොට මළ සිරුර ආදාහන කරන්නට ආරම්භ කළහ. බුදුරජාණන් වහන්සේ ද එහි පැමිණ ගසක් මුල හුන් සේක.

ඡත්ත මානවක දිව්‍ය පුත්‍රයා ද තමා ලත් සැපතට හේතුව බැලීය. බුදුරජාණන් වහන්සේ නිසා ඒ සා මහත් සැපත් ලත් බව දැක, එහි පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක සිටියේ ය. ඒ දුටු මහජනයා විස්මිත ව භාග්‍යවතුන් වහන්සේ පිරිවැරූහ. මෙහි දී බුදුරජාණන් වහන්සේ දෙව් පුතු ලවා ඔහු ගේ සියලු ප්‍රවෘත්තිය ප්‍රකාශ කරවූහ. ඉක්බිති දහම් දෙසූ සේක. බණ ඇසූ දිව්‍ය පුත්‍රයා ද ඔහුගේ පෙර අත් භවයෙහි මව්පිය නෑදෑ ආදීහු ද සෝවාන් වූ හ.

දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදැකුණු කොට භික්ෂු සංඝයා වහන්සේට යටත් පැවතුම් දක්වා දෙව්ලොවට ම ගියේ ය.

ඉහත කථා වස්තුව දැක්වූයේ අප කවුරුන් විසිනුත් දිනපතා ආගමික චාරිත්‍රයක් වශයෙන් කරනු ලබන තෙරුවන් සරණ යෑමේ හා පංචශීලය සමාදන්වීමේ අනුහස් දැක්වෙන ඉතිහාස සිදුවීමක් දක්වනු සඳහා ය.

මෙම කථාව පිළිබඳව සිතීමේ දී ඔබට පුද්ගලික ජීවිතයේ දී පන්සිල් සමාදන් වීමෙන් සිදුවන ආරක්ෂාව ගැන තේරුම් ගත හැකි ය.

එසේම අකුරු කියැවීම, නම් තැබීම, ගෙවල් දොරවල්වලට මුල්ගල් තැබීම, ගෙට ගෙවැදීම, කාර්යාල කටයුතු ආරම්භ කිරීම වැනි අවස්ථාවල දී තිසරණ හා පන්සිල් සමාදන්වීමේ අරමුණු තේරුම් ගත හැකි ය.

ශ්‍රී ලංකාව, බුරුමය, තායිලන්තය වැනි බෞද්ධ රටවල උත්සව ආදිය ආරම්භයේ දී ම පන්සිල් සමාදන්වීමේ ක්‍රියාවලියට පදනම් වන විශ්වීය සාධකය මෙයින් වැටහී යා යුතු ය. මෙය පෙර රජදරුවන්ගේ කාලයේ සිට සිදු වූයේත් දිගින් දිගටම එය අඛණ්ඩව පැවත ආයේත් හුදු මිථ්‍යාවක් නොවේ. සුබවාදී අත්දැකීම් සහිත සත්පුරුෂ ක්‍රියාවක් වන නිසා ය.

බෞද්ධ ඉතිහාසයෙහි දැක්වෙන පරිදි තෙරුවන් සරණ යාම හා පන්සිල් ආරක්ෂා කිරීම නිසා විපතින් ගැළවුණු, යහපත් දිවි පෙවෙතක් ගෙවූ සහ මරණින් මතු ස්වර්ගගාමී වූ මිනිසුන්ගේ සංඛ්‍යාවක් නම් නොමැත. දෛනික ජීවිතයේ දී සහ ආයතනික කටයුතුවල දී පන්සිල් සමාදන්වීමෙන් කටයුතු ආරම්භ කිරීමේ ඇසට නොපෙනෙන එහෙත් විශ්වීය ධර්මතාව සම්බන්ධ පදනම එයයි.

අනෙක් අතින් තෙරුවන් සරණ යෑම හා පන්සිල් සමාදන්වීමේ ආගමික සාමාජික හා දාර්ශනික පසුබිමක් ද පවතී.

සතුන් නො මැරීමෙන් පමණක් කෙනකු ප්‍රාණඝාත ශික්ෂාපදය ආරක්ෂා කරන්නකු නොවේ. බුද්ධ දේශනාව අනුව ඔහු වධ හිංසා කිරීමේ චේතනාවෙන් කැට කැබිලිති, දඬු මුගුරු ආදි කිසිවක් අතින් නො ගන්නෙක් විය යුතු ය. එසේම සියලු සතුන් කෙරෙහි මෛත්‍රී සහගත සිතින් වසන්නෙකු ද විය යුතු ය. එකී පුද්ගලයා ම නියම ආකාරයෙන් ප්‍රාණඝාත ශික්ෂාපදය ආරක්ෂා කරන්නෙක් වේ. එසේම දෙවැනි ශික්ෂාපදය රකින්නා අන් සතු දේ තමා සතු නොකර ගන්නා කෙනෙකු විය යුතු වේ. දෙන දේ පමණක් ගැනීමට කැමති වන හා නො සොර වූ පිරිසුදු සිතින් ජීවත් වන්නෙකු ද විය යුතු ය. පර අඹුවන් හා පර පුරුෂයන් කරා නොයම සහ එමඟින් තෘප්තියක් නො ලැබීම නිසා කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුණෙක් වේ.

මුසාවාදයෙන් වැළකෙන තැනැත්තා බොරු නොකීම පමණක් ම නොව සත්‍ය කතා කරන එසේ ම ඇත්තෙන් ඇත්ත ගළපා කථා කරන, කථාවෙන් එකිනෙකා අතර ඝට්ටන ඇති නො කරවන කෙනෙකු ද විය යුතු ය.

සති සම්පජඤ්ඤය අහිමි වන හා මදයට හේතුවන කිසිදු ආකාරයක මත්ද්‍රව්‍යයක් පානය නොකිරීමෙන් සුරාමේරයෙන් වැළකීමේ ශික්ෂාපදය ආරක්ෂා කරන්නෙක් වේ.

ඉහත දැක්වෙන්නේ බුද්ධ දේශිත පරිදි පන්සිල් පද පිළිබඳ සරලම විග්‍රහයයි. ආගමික කාර්යයක් ආරම්භ කිරීමේ දී චාරිත්‍රයක් වශයෙන් හෝ තිසරණය මූලිකව පන්සිල් සමාදන්වීමේ වැදගත්කම අවබෝධ කර ගැනීම පහසු ය.

ආගමික ක්‍රියාවලින් භික්ෂූන් වහන්සේලා සහ ගිහි සමාජය සිදු කරන්නේ අධ්‍යාත්මය පිරිසුදු කිරීමකි. ශීලමය පදනමක් නොමැති නම් කිසිදු ආධ්‍යාත්මික උසස් බවක් ලබාගත නො හැකි ය. සීලය නොමැති නම් සමාධියක් නැතහොත් සිතේ එකඟතාවක් ඇති කර ගත නොහැකි ය. බුදු දහමේ කියැවෙන ප්‍රඥාව කෙලෙසකවත් ලැබෙන්නේ නැත. එබැවින් පංචශීලය ආරක්ෂා නො කරන්නෙකුට අධ්‍යාත්මික දියුණුවක් ලබා ගැනීමට නොහැකි වේ. ඒ නිසා හොර බොරු වංචා නැති පිරිසිදු ආගමික ජීවිතයකට පංචශීලය අත්‍යවශ්‍යම කාරණයකි. මේ ආත්මභාවයේ දී මානසික සුවය, මරණින් මතු දිව්‍ය සම්පත්, සමථ විදර්ශනා භාවනා වැඩීම, ධ්‍යාන මාර්ග සමාපත්ති, සෝවාන් සකදාගාමි ආදී මාර්ග ඵල ආදිය ආගමික ජීවිතයක් මගින් ලැබිය යුත්තක් බැවින් පන්සිල් රැකීමේ අනුසස් ඔබ විසින් තේරුම් ගත යුතු ය. පන්සල් යාම, පන්සිල් සමාදන්වීම, මල් පහන් පිදීම ආදිය ඔබ විසින් කළ යුත්තේ කවර හේතුවක් නිසා දැයි එමඟින් වටහා ගන්න.

මෙම ලිපියේ ඉතිරි කොටස නිකිණි අව අටවක පෝදා (30 වැනිදා) පත්‍රයේ පළවේ.