Print this Article


ප්‍රථම ධර්ම සංගායනාව ඇරඹි නිකිණි පෝදා

ප්‍රථම ධර්ම සංගායනාව ඇරඹි නිකිණි පෝදා

ශාසනික වශයෙන් සදාඅනුස්මරණීය ඓතිහාසික සිදුවීම් කිහිපයක් ම නිකිණි පොහොය දිනෙක ආරම්භ වී තිබේ. ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කිරීම. ආනන්ද හිමි රහත්භාවයට පත්වීම, පෙරවස් මඟ හැරී ගිය භික්ෂූන් වහන්සේලා පසුවස් එළඹෙන දිනයවීම, බුදුරදුන් ගේ ලලාට ධාතු නිධන් කර සේරුවාවිල දාගැබ තැනවීම ආරම්භ කිරීම, පුරාතන අරියවංස දේශනා උත්සවය සිදුකිරීම හා මහනුවර ඇසළ මහා පෙරහරේ අවසන් රන්දෝලි මහා පෙරහර වීථි සංචාරය කිරීම යන කරුණු ඒ අතර ප්‍රධානය.

ආජිවකයාගේ පිළිතුර

විනය පිටකයෙහි චුල්ලවග්ග පාලියෙහි පංචසතිකක්ඛන්ධකයෙහි ප්‍රථම ධර්ම සංගායනාව පිළිබඳ වූ වාර්තාව හමු වෙයි. එහි සඳහන් වන පරිදි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. ඇවැත්නි, මම එක් සමයෙක පන්සියයක් පමණ භික්ෂූන් වහන්සේලා ද සමඟ පාවා නුවරින් කුසිනාරා නුවර කරා දිවෙන දීර්ඝ මාර්ගයට පිවිසුනෙමි. ඉක්බිතිව මම මඟින් ඉවත්ව ගසක් මුල හුන්නෙමි.

එහිදී එක්තරා ආජීවකයෙක් මදාරා මලක් අතින් ගෙන කුසිනාරා නුවර සිට පාවා නුවර කරා දිවෙන මෙකී මාර්ගයට ම පිවිසියේ ය. පැමිණෙන්නා වූ එම ආජීවකයා මම දුරදීම දුටුවෙමි. දැක මෙසේ කීමි. ඇවැත්නි. අප ගේ ශාස්තෘන් වහන්සේ දන්නෙහිද? එසේ ය. දනිමි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිරිනිවී අදට සත් දවසෙකි.ම විසින් මෙම මදාරා මල එතැනින් ගන්නා ලදී.

අවීතරාගීන්ගේ හැසිරීම

ඇවැත්නි, එහි සිටි භික්ෂු සමූහයා අතර ඇතැමෙක් අවීතරාගීහු (මාර්ගඵල නොලැබූ) වූහ. ඒ අතරින් ද ඇතැමෙක් “ඉතා ඉක්මනින් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ සේක. ඉතා ඉක්මනින් සුගතයන් වහන්සේ පිරිනිවන් පෑ සේක. ඉතා ඉක්මනින් ලෝකයෙහි ඇස අතුරුදහන් වූයේ යැ”යි, කියමින් හිසෙහි අත් බැඳ හඬති. සිඳලූ දෙයක් බිමට වැටෙන්නාක් මෙන් වැටෙති. ඉදිරියට පෙරළෙති. පසුපසට පෙරළෙති. එහි සිටි වීතරාගී භික්ෂූන් වහන්සේලා සංස්කාරයෝ අනිත්‍යය හ. සංස්කාරයන්ගේ ස්ථිර පැවැත්මක් කොහි ලැබිය හැකි දැයි, සලකා මනා සිහියෙන් හා නුවණින් යුතුව මෙම සිදුවීම ඉවසූහ. අනතුරුව මම එකී භික්ෂු සමූහයාට මෙසේ කීමි.

ඇවැත්නි, කම් නැත. ශෝක නොකරවු. නො වැළපෙවු. පි‍්‍රයමනාප වූ සියල්ලෙන්ම වෙනස්වීම වෙන්වීම. වෙනත් ආකාරයක දෙයක් සිදුවීම වන්නේ ය. යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ නොවේද? යමක් උපන්නේ ද හට ගත්තේ ද ලෞකික වූයේ ද නැසෙනසුලු වේ ද එය ඒකාන්තයෙන් නො නැසේවා යි, යන මෙය කොහි ලැබිය හැකි වේද? ලැබිය හැකි නොවේ ම ය.

ඇවැත්නි, එසමයෙහි සුභද්‍ර නම් මහලුව පැවිදි වූවෙක් එම පිරිස අතර සිටියේ ය. ඉක්බිති එම පැවිද්දා එම භික්ෂු පිරිසට මෙසේ කීය.

ඇවැත්නි, කම් නැත. ශෝක නොකරවු. නො වැළපෙවු. අපි ඒ මහා ශ්‍රමණයා ගෙන් මනාව මිදුණෝ වෙමු. මෙය තොපට කැප ය. මෙය තොපට නො කැප යයි කීමෙන් උපද්‍රවයට ද පත් කරන ලද්දෝ වෙමු. දැන් අපි යමක් කැමති නම් එය කරන්නෙමු. යමක් නොකැමැත්තෙමු නම් එය නො කරන්නෙමු.

එබැවින් ඇවැත්නි, අපි අධර්මය

බැබළීමටත් ධර්මය බැහැර කරනු ලැබීමටත් පෙර, අවිනය බැබළීමටත් විනය බැහැර කරනු ලැබීමටත් පෙර, අධර්මවාදීන් බලවත් වීමටත්, ධර්මවාදීන් දුබලවීමටත් පෙර, අවිනයවාදීන් බලවත් වීමටත්. විනයවාදීන් දුබල වීමටත් පෙර ධර්මය ද විනය ද සංගායනා කළ යුතු වෙමු’යි මහාකාශ්‍යප මහ තෙරුන් වහන්සේ වදාළහ.

රජගහනුවර තෝරා ගැනීම

මහතෙරුන් වහන්ස, එසේ නම් ඔබ වහන්සේ භික්ෂූන් තෝරාගන්නා සේක්වා. ඉක්බිති මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එක් නමක් අඩු පන්සියයක් රහතන් වහන්සේලා තෝරා ගත්හ. භික්ෂූහු මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේට මෙසේ කීහ. මහ තෙරුන් වහන්ස, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ වීතරාගී නොවුණත් ඡන්දයෙන් , ද්වේෂයෙන් , මෝහයෙන් , භයින් අගතියට නො යති. උන්වහන්සේ විසින් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බොහෝ ධර්මය ද , විනය ද උගන්නා ලද්දේ ය. එබැවින් ආනන්ද ආයුෂ්මතුන් වහන්සේ ද මීට තෝරා ගන්නා සේක්වා

රජගහ නුවර වනාහි මහා ගොදුරු ගම් ඇත්තේය. බොහෝ සෙනසුන් ඇත්තේ ය. අපි රජගහ නුවර වස් වසමින් ධර්මය ද විනය ද සංගායනා කරන්නෙමු නම් ඉතා මැනවි. වෙනත් භික්ෂු නමක් රජගහනුවර වස් නොවසන්නේ නම් යෙහෙකි.

පසුව මහාකාශ්‍යප තෙරුන් වහන්සේ භික්ෂූන්ට මෙසේ දැන්වූහ. ඇවැත්නි, සංඝයා මාගේ බස් අසත්වා. ඉඳින් රජගහ නුවර වස් වසමින් ධර්මය ද විනය ද සංගායනා කිරීමට සංඝයා මෙම පන්සියයක් භික්ෂූන් සම්මත කර ගන්නේ ය. අනෙක් භික්ෂූන් රජගහනුවර වස් නො විසිය යුතුය. මේ ප්‍රඥප්තිය යි. මෙසේ තෙවරක් දැනුම්දීමෙන් පසු මහාකාශ්‍යප මහ තෙරුන් වහන්සේ “මෙය සංඝයාට රුචි වෙයි. එබැවින් නිහඬ ය. මෙය මෙසේ ක්‍රියාත්මක කරමි”යි තීරණය කළහ.

පිළිසකර කිරීම්

පසුව පන්සියයක් භික්ෂූන් වහන්සේ ධර්මය ද විනය ද සංගායනා කිරීමට රජගහ නුවර ට වැඩියහ. එහි දී උන් වහන්සේලාට මෙම අදහස පහළ විය. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් බිඳුණු පැලුණු තැන් පිළිසකර කිරීම වර්ණනා කරන ලදහ. එබැවින් අපි පළමු මාසය බිඳුණු පැලුණු තැන් පිළිසකර කරමු. මධ්‍යම මාසයෙහි රැස්ව ධර්මය ද විනය ද, සංගායනා කරන්නෙමු. ඒ අනුව භික්ෂූන් වහන්සෙලා පළමු මාසය බිඳුණු පැලුණු තැන් පිළිසකර කර වූහ.

ආනන්ද හිමි

ඉක්බිති ආනන්ද තෙරණුවෝ මෙසේ කල්පනා කළ හ. “හෙට සංගායනාව ය. මම රහත් නොවූයේ සංගායනාවට යන්නෙමි නම් එය මට නිසි නො වෙයි” යන මෙම කරුණ සලකා බලා රාත්‍රියෙහි බොහෝ වේලාවක් කායගතාසතිය හෙවත් කය පිළිබඳ වූ සිහියෙන් ගතකොට රාත්‍රිය පහන්වන වේලාවෙහි සැතපෙමි යි, සිතා ශරීරය හැර වූහ. එහෙත් හිස ද කොට්ටයට නො පැමිණියේ ය. පාදයෝ ද පොළොවෙන් මිදුණහ. මේ අතරෙහි සිත උපාදාන නො කොට ආශ්‍රවයන් ගෙන් මිදුණේ ය. ඉන්පසුව ආනන්ද තෙරුන් වහන්සේ රහත් භාවයට පත් වූවාහු ම සංගායනාවට වැඩම කළ සේක.

උපාලි තෙරුන්ගේ පිළිතුරු

රජගහ නුවර වේභාර පර්වත ප්‍රාන්තයෙහි සප්තපර්ණි ගුහාද්වාරයට රැස් වූ මහරහතන් වහන්සේලා ධර්ම සංගායනාවට සූදානම් වූහ. එහිදී මහාකාශ්‍යප මහතෙරුන් වහන්සේ මෙසේ දැන්වූහ. “ඇවැත්නි. මාගේ බස් අසත්වා. ඉඳින් මම දැන් ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේගෙන් විනය පිළිබඳ විමසන්නෙමි. එහි දී උපාලි මහ තෙරුන් වහන්සේද භික්ෂූන්ට මෙසේ දැන්වූහ. භික්ෂූන් මාගේ බස් අසාත්වා. ඉඳින් මම දැන් මහාකාශ්‍යප මහතෙරුන් වහන්සේ විසින් විනය විමසන ලද්දේ නම් විසඳන්නෙමි.

ඉක්බිති. මහාකාශ්‍යප මහ තෙරණුවෝ උපාලි තෙරණුවන්ට මෙසේ කීහ. “ඇවැත්නි, උපාලි ස්ථවිරයන් වහන්ස, පළමු පාරාජිකාව කොහිදී පනවන ලද ද?

තෙරුන් වහන්ස, වේසාලියේ දී ය. කවරෙකු අරබයා ද, සුදින්න කලන්ද පුත්‍ර අරබයා ය. කිනම් කාරණයක් නිසා ද? මෛථූන ධර්මයෙහි ය.

පසුව මහා කාශ්‍යප මහ තෙරණුවෝ උපාලි තෙරුන්ගෙන් ප්‍රථම පාරාජිකාවෙහි සිදුවීම ද නිදාන කතාව ද, පුද්ගලයා ද ඒ හා අදාළ පැනවීම් ද, පසුව පැනවීම් ද එම වරදට පත්වන්නා හා පත් නොවන්නා පිළිබඳව ද විමසූහ. මේ ක්‍රමයෙන් ම සෙසු පාරාජිකාවන් සේ ම උභතො විභංගය ඇසූහ. ඇසූ ඇසූ දේ උපාලි තෙරණුවෝ විසඳූ හ.

ධර්මය විමසීම

ඉක්බිතිව ධර්මය විමසූයේ ආනන්ද තෙරුන් වහන්සේ ගෙනි. “ඇවැත්නි, ආනන්ද ස්ථවිරයන් වහන්ස, බ්‍රහ්මජාල සූත්‍රය කොහි දී දේශනා කරන ලද ද? තෙරුන් වහන්ස, රජගහ නාලන්දා දෙනුවර අතර අම්බලට්ඨිකා නමැති උයනෙහි රජු පිණිස කරවන ලද ගෙහි දී ය. කවරෙකු අරබයා ද? සුප්පිය පරිබ්‍රාජකයා සහ බ්‍රහ්මදත්ත මානවකයා අරබයා ය. ඉක්බිතිව මහාකාශ්‍යප මහ තෙරණුවෝ බ්‍රහ්මජාල සූත්‍රයෙහි නිදානය හා පුද්ගලයා ද ඇසූහ. මෙම ක්‍රමයෙන් ම නිකාය පසම ඇසුහ. ඇසූ ඇසූ දේ ආනන්ද තෙරණුවෝ විසඳූ හ. ඊළඟට සිදු වූයේ ඛුද්දානුඛුද්දක සික්ඛාපද කථාව සහ බ්‍රහ්මදණ්ඩ කථාවයි. සංගායනාව අවසානයේ දී ස්ථාවර කරගත් ධර්මය මතු අනාගතය සඳහා කටපාඩමින් සුරක්ෂිත කර ගැනීම භික්ෂු පරම්පරාවනට පවරා දුනි. බුදු දහම චිරාත් කාලයක් පවත්වාගෙන යාම සඳහා මෙම කාර්යය උපස්ථම්භක වූ බව ශාසන ඉතිහාසයෙන් පෙනේ.