Print this Article


අංගුත්තර නිකායෙන්: කල්‍යාණ මිත්ත වර්ගය අංක - 08

අංගුත්තර නිකායෙන්:

කල්‍යාණ මිත්ත වර්ගය අංක - 08

සූත්‍ර අංකය 71
කල්‍යාණ මිත්ත සූත්‍රය
සැවැත්නුවර දී

මහණෙනි, යමක් හේතු කොට ගෙන නූපන්නා වූ ද කුශල ධර්මයෝ උපදින්නේ නම්,උපන්නා වූ ද අකුශල ධර්මයෝ පිරිහෙත් නම්, මහණෙනි (මෙහෙණියනි උපාසක, උපාසිකාවෙනි) කල්‍යාණ මිත්‍ර තාවය වැනි අන් එක ධර්මයකුදු මම (මගේ නුවණැසින්) නො දක්මි. මහණෙනි, (ඇසුරට) කල්‍යාණ මිත්‍රයන් ඇත්තහට නුපන්නා වූ කුශල ධර්මයෝ උපදිත්, උපන්නා වූ ද අකුශල ධර්මයන් පිරිහෙත්.

සූත්‍ර අංකය 72
අකුසලානු යෝග සූත්‍රය

මහණෙනි යමක් හේතු කොට ගෙන නූපන්නා වූ ද අකුශල ධර්මයෝ උපදිත්නම්, උපන්නා වූ ද කුශල ධර්මයෝ පිරිහෙත් නම්, මහණෙනි අකුසල ධර්මයන්හි යෙදීම හා (චාතුර්භූමික) කුසල ධර්මයන්හි නොයෙදීම ද වැනි අන් එකධර්මය කුදු මම නොදක්මි. අකුසල ධර්මයන්හි යෙදීමෙනදු කුසල ධර්මයන්හි නොයෙදී මෙනුදු නූපන්නා වූ ද අකුශල ධර්මයෝ උපදිත්, උපන්නා වූ ද කුශල ධර්මයෝ පිරිහෙත්.( පව් නොකර සිටි පමණින් පින් හෝ කුසල් වැඩෙන්නේ නැත.පින්ද කුසල්ද කළ යුතු ය)

උපකාරක දහම් පද

චතුර් භූමියෝ නම් කාමාවචර භූමි, රූපාවචර භූමි,අරූපාවචර භූමි හා ලෝකෝත්තර භූමිය නම් වේ.

චාතුර් භූමික කුශල ධර්මයෝ නම් අධි සීල – අධි චිත්ත අධි ප්‍රඥා , ධ්‍යාන ධම්මඨිති ඥාන (විදර්ශනා ඥානය) සතර මග සතර ඵලාදිය යි.

සූත්‍ර අංකය 73
කුසලානුයෝග සූත්‍රය

මහණෙනි, යමක් හේතුකොට ගෙන නූපන්නා වූ ද කුශල ධර්මයෝ උපදිත්නම්, උපන්නා වූ ද අකුශල ධර්මයෝ පිරිහෙත් නම්, කුශල ධර්මයන්හි යෙදීම හා අකුසල ධර්මයන්හි නොයෙදීමද වැනි අන් එක ධර්මයකුදු මම නොදක්මි. මහණෙනි (පෙ) කුශල ධර්මයන්හි යෙදීමෙන් හා අකුසල ධර්මයන්හි නොයෙදීමෙන් (පෙර) නූපන්නා වූ ද කුශල ධර්මයෝ උපදිත්, උපන්නා වූ ද අකුශල ධර්මයෝ පිරිහෙත්.

සූත්‍ර අංකය 74
බොජ්ඣංග අනුප්පාද සූත්‍රය
1.8.4

මහණෙනි, යමක් හේතු කොට ගෙන නූපන්නා වූ ද බොධ්‍යාංග ධර්මයෝ නූපදිත් නම් උපන්නා වූ ද බොජ්ක්‍ධංග ධර්මයෝ භාවනාවෙන් පිරිපුන් බවට නොයේ නම්, මහණෙනි(පෙ) අයොනිසෝ මනසිකාරය වැනි අන් එක ධර්මයකුදු මම නොදක්මි. නුනුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නා වූ ද බොධ්‍යාංග ධර්මයෝ නූපදිත්, උපන්නාවූ ද බොජ්ක්‍ධංග ධර්මයෝ භාවනායෙන් පිරිපුන් බවට නොයෙත්.

උපකාරක දහම් පද

බොජ්ඣංග ධර්මයෝ සතෙකි. ඒවා නම් සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි (සංසිඳීම) සමාධි, උපේක්ඛා යනුවෙනි

අයොනිසො මනසිකාරය – අනුවණින් මෙනෙහි කිරීම

සූත්‍ර අංකය – 75
බොජ්ඣංගුප්පාද සූත්‍රය
1.8.5

මහණෙනි, යමක් හේතුකොට ගෙන, නූපන්නා වූ ද බොජ්ක්‍ධංග ධර්මයෝ උපදිත් නම්, උපන්නා වූ ද බොධ්‍යාංග ධර්මයෝ භාවනායෙන් පිරිපුන් බවට යෙත් නම්, මහණෙනි නුවණින් මෙනෙහි කිරීම වැනි අන් එක ධර්මයකුදු මම නොදක්මි, මහණෙනි (මම) නුවණින් මෙනෙහි කරන්නාහට (භික්ඛවෙ යොනිසො මනසිකාරො) නූපන්නා වූ ද බොධ්‍යාංග ධර්මයෝ උපදිත්. උපන්නා වූ ද බොධ්‍යාංග ධර්මයෝ භාවනායෙන් (විදර්ශනා පාදකධ්‍යානයෙන්) පිරිපුන් බවට යෙත්.