Print this Article


පින් වැඩි වුණොත් කුඩා පව් විපාක නොදෙයි ද?

පින් වැඩි වුණොත් කුඩා පව් විපාක නොදෙයි ද?


වර්තමාන මිනිසා ඉතා නිර්දය ලෙස කාන්තා හිංසන, ළමා හිංසන, මහා මංකොල්ල කෑම්, සොරකම්,මත්පැන් මත්ද්‍රව්‍ය පරිභෝගය, මනුෂ්‍ය ඝාතන, සත්ත්ව ඝාතන, වංචා කිරීම්, රැවටිලි, අල්ලස් ගැනීම ආදී නොයෙකුත් අපරාධ කිසිදු හිරිකිතයකින් තොරව, බියකින් තොරව සිදු කරයි. පාපයට ලජ්ජාව හා බිය නැත්තේ විවිධ අපරාධ කරයි.

අපරාධවල යෙදෙන උදවිය ඒ අපරාධය තුළින් සිදු වන ප්‍රති විපාකය අති භයානක බව නොදනිති.

ගිජුකුලු පව්ව පා මුල අහි නම් ප්‍රේතයකු මුගලන් හාමුදුරුවෝ දකිති. යොදුනක් දිග, යොදුනක් මහත මෙම ප්‍රේතයා හිසින් මතුවන ගිනි කඳ කෙළවරටම ගනියි. අගින් පටන් ගන්නා ගිනි කඳ හිස දක්වා ගමන්කරයි. එක ඇළයකින් පටන් ගත් ගිනි කඳ අනෙක් ඇළයට යයි. එම ඇළයෙන් පටන් ගන්නා ගිනි කඳ මේ ඇළයට යයි.

නිරන්තරයෙන් ගිනි ඇවිලෙයි. මේ අයුරින් ගිනි විහිදුවමින් ගෙවන ජීවිතය පහසු නොවෙයි. මෙසේ පේ‍්‍රත ආත්ම භාවයක් ලැබුවේ කුමක් නිසා ද?

කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කාලයේ මොහු මනුෂ්‍යයෙකි.වෘත්තියෙන් ගොවියකි. ඔහුගේ කුඹුරට මදක් ඈතින් පසේ බුදුවරයකුගේ විහාරයකි. පසේ බුදුවරයාණන්ට වඳින්නට එන මිනිසුන්ගෙන් ඔහු ගේ කුඹුර විනාශ වෙයි. බෝගයට හානි වෙයි. මොහු මේ නිසා මොකද කරන්නේ? අර පසේ බුදුවරයාගේ ආරාමය කඩා බිඳ දමා පුළුස්සා දමයි. මේ ආරාම පිළිස්සීමේ පාපය නිසා ඔහු ඊළග භවයෙහි ප්‍රේත ආත්මයක් ලබා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන විටත් එම දුක විඳියි. පාප කර්මයක් කළ විට එය එකවිටම විපාක නොදෙයි. (න හි පාපං කථං කම්මං )

උපමාවකින් ගතහොත් කිරි දෙවූ සැණින් නොමිදේ. එයට මොරු වැනි ඇඹුලක් වැටුණ විට මිදෙයි. අලු යට සැඟ වුණ ගින්නක් මෙන් එය අවස්ථාව ආ විට ගිනි දැල් වී දවන්නේ ය.

කි‍්‍රයාව ( කම්මං - කර්මය) පුද්ගල ජීවිතය වඩාත් තීන්දු කරන සාධයකි. සිතිවිල්ල කර්මයයි. සිතින් සිතා කයින් කරන, කතා කරන වචන, හා සිතිවිලි කර්මයයි. එය පාප කර්ම හා පුණ්‍යකර්ම යැයි. කොටස් දෙකකි.යම් කි‍්‍රයාවක් උපන්නේ ලෝභ, ද්වේෂ, මෝහ නම් වූ අකුසල මූලයන්ගෙන් නම් එය පාප කර්මයකි.

යම් කි‍්‍රයාවක් උපන්නේ අලෝභ, අද්වේශ අමෝහ යන කුසල මූලයන්ගෙන් නම් එය පින්කමක් වෙයි.

විපාකය භුක්ති විදින ආකාරය අනුව ද පින් පව් වෙන් කළ හැකි ය. යම් කි‍්‍රයාවක ප්‍රතිඵලය කදුළු පිරි මුහුණින් භුක්ති විඳින්නට වේ නම්, එය පාප කර්මයකි. එය නොකළ යුතු යි. සිනාමුසු මුහුණින් යමක ප්‍රතිඵලය භුක්ති විඳිය හැකි නම්, එය පින්කමකි. එය කළ යුතු ය.

තමන්ට, අනුන්ට, තමන් අනුන් යන දෙපිරිසටම හානිකර දුක්ඛ දායිව කරන, දුක්ඛිත ප්‍රතිඵල භුක්ති විඳින දේ පව්වන අතර එසේ නොවන දේ පින් වෙයි.

කර්මය පුද්ගලයාගේ උපතයි (කම්ම යෝනි) පුද්ගලයා සමීපව සිටින නෑයෙකි. (කම්ම බන්ධු) ඔහුට තිබෙන එකම පිහිට, සරණ කර්මය යි.(කම්ම පටිසරනො) කර්මය දායාදය යි. ( කම්ම දායාදො ) කර්මය නිසා පුද්ගලයා සුගතියක හෝ දුගතියක උපදියි. ( ජනක කර්ම )ඉපදුණ තැන හෝ දුක හෝ සැප වි¼දින්නට අවස්ථාව ලැබෙන්නේ කර්මයෙනි. (උපස්ථම්භක කර්ම)

එසේ දුක හෝ සැප විඳීමට පීඩා කරනුයේ කර්මය යි.( උප පීලක කම්ම්) සැප හෝ දුක නැති කරලා දාන්නේ ද කර්මය යි (උපච්ජේදක කම්ම) කළ ආකාරය හා අවස්ථාව අනුව කර්ම විපාක ලැබෙයි. පින් හෝ පව් වශයෙන් වටිනාකම වැඩි කර්මයක් කර ඇත්නම් එය පළමුව විපාක ලැබෙයි (ගරුක කම්ම) එවන් කර්මයක් නැති විට පින් හෝ පව් නිතර නිතර කළ කර්මය විපාක දෙයි. (ආචින්න කම්ම ) එවැන්නක් නොමැති වූ විට මරණාසන්න මොහොතේ කළ කර්මය විපාක දෙයි. (ආසන්න කම්ම) එවැනි එකක් හෝ නැති විට පෙර අත්බවෙහි කළ කර්මයක් විපාක දෙයි.

(කටත්තා කම්ම) කර්මය විපාක දෙන අවස්ථා ඇත.මේ බවය තුළ දී (දිට්ඨධම්මවේදනීකම්ම) ඊළඟ බවයේ දී (උපපජ්ජවේදනීය කම්ම) භව සංසාරයේ කවදා හෝ ( අපරාපරීය වේදනීය කම්ම ) සමහර විටක කළ කර්මය විපාක නොදෙයි.

( අහෝසි කම්ම ) පින වැඩි වූ විට කුඩා පව විපාක නොදෙයි. අහෝසි වෙයි. පව වැඩි වූ විට කුඩා පින නැති වෙයි. අහෝසි වෙයි. කර්මය වළක්වා ගැනීමට ද හැකි ය.

ඒ ඉපදුණ තැන අනුව ( ගති සම්පත්ති, ගති විපත්ති) සුගතියක උපන්නොත් ගති සම්පත්යකි. පව් කොට තිබුණ ද සැප විඳියි. දුගතියක උපන්නොත් ගති විපත්තියකි. දුක් විඳියි.

එසේම කාලය අනුවද කර්මය වෙනස් වෙයි. (කාල සම්පත්ති, කාල විපත්ති) පුද්ගල පෞරුෂය අනුව ද වෙනස් කර ගත හැකි ය. (උපධි සම්පත්ති, උපධි විපත්ති) බුද්ධිය අනුව ද කර්මය වෙනස් වෙයි (පයෝග සම්පත්ති, පයෝග විපත්ති) පයෝග සම්පත්තිය ඇති විට කර්මය වෙනස් කර ගත හැකි ය. තුල්ලන්තේවාසික දුප්පත්ව ඉපදුණේ කර්මය නිස යි.

මී කුණ විකීණීමේ සිට ඔහු බුද්ධිමත්ව කටයුතු කළ නිසා කර්මය වෙනස් වී ඔහු සිටුවරයකු වෙයි. මහ ධන සිටුතුමා අසූ කෝටියක් ධනය වූ අයෙකි. විවාහ වූයේත් අසු කෝටියක ධනය ඇත්තියක සමඟ ය. නමුත් බුද්ධිය නොමැති වූ නිසා මහ මඟ සිඟා කන්නට සිදු විය.

ධනවත්, දුප්පත්,කුලීන, කුල හීන, බුද්ධිමත්, මෝඩ, රූමත් විරූපී මෙම සමාජ විෂමතාවට හේතුව කර්මය බව චුල්ල කම්ම විභංග සූත්‍රය තුළ දක්වයි. මහාකම්ම විභංග සූත්‍රයට අනුව ගති, කාල, උපධි, පයෝග සම්පතිවලට අනුව කර්මය වෙනස් වෙයි. කර්මය පිළිබඳව බුදු දහම තුළ පමණක් නොව, වෙනත් දර්ශන තුළ ද දැක්වෙයි.

ජෛන මහාවීර හෙවත් නිගණ්ඨනාථ පුත්ත ද උග්‍රකර්මවාදයක් දක්වයි. කාය, වචී, මනෝ දණ්ඩ නාමයෙන් හදුන්වන කර්මයෙහි කාය දණ්ඩය ප්‍රධාන වෙයි. කර්මය ක්ෂය කළ යුතුම ය යන්න ඔහුගේ අදහස යි.වැපුරූ දෙය භුක්ති විඳිය යුතු යන බයිබල් පාඨය තුළ ද කර්ම සංකල්පයත් දක්වයි. පුද්ගලයාට බලපාන සාධක අතර බුදු දහම එක් සාධකයක් ලෙස කර්මය දක්වයි. ඍතු, බීජ, කම්ම, ධම්ම, චිත්ත නියාම ධර්ම අතර කම්ම නියාමය එකකි.

කර්මය දියුණුව, නිවන උදෙසා අත්‍යවශ්‍යම සාධකයක් නොවෙයි. පව්කම්වල කර්ම විපාක විඳින්න තිබුණ ද නිවන ලැබිය හැකි ය. මුගලන් හාමුදුරුවන් අර්හත්වයට පැමිණත් යම් යම් කර්ම විපාක වින්ද බව බුදු දහම තුළ දක්වයි.

පින් වර්ධනය කළ යුතු බවත්, පව් නොකළ යුතු බවත් සියලු බුදුවරු දක්වති. පින් නිතර නිතර කළ යුතු බවත් එයින් සැප ලැබෙන බවත් බුදුවරු දේශනා කරති.

මෙසේ වුව ද පුද්ගලයා වඩාත් කැමැත්තෙන් කරනුයේ පව්කම් කිරීමයි.

පව් කරද්දි එය මී පැණි මෙන් රස යැයි පුද්ගලයා පව් කරයි. (මධුවා මඤ්ඤති බාලො) ඒ විපාක නොදෙනතුරු පමණ ය. විපාක දෙන විට ගොඩාක් දුකට පත් වෙයි.

මේ නිසා තමා නිසා හෝ අනුන් නිසා හෝ දූ පුතුන් නිසා හෝ ධනය නිසා හෝ රට නිසා හෝ මොනයම් දෙයක් නිසා හෝ පාප කර්ම නොකළ යුතුයි. එය සීලය නොවේ.එය ධාර්මික දිවි පැවැත් ම නොවේ.

පව් කිරීම තුළින් භව සංසාරය පුරාවට තැවීමට, පීඩාවට, වේදනාවට පත් වෙයි. පින්කම් කළ යුතු ය.නිතර නිතර කළ පින සංවර්ධනය කළ යුතු යි. දාන, ශීල, භාවනාදී වූ පින්කම්වල නිරත වන පුද්ගලයා ආර්ය අෂ්ටාංගික මාර්ගයට ප්‍රවේශ වෙයි. ඒ තුළින් සීල, සමාධි, ප්‍රඥාවෙන් පූර්ණව මෙලොව සතුට භුක්ති විදියි. පරලොව සතුට භුක්ති විදියි. නිවනින් සැනසීම ලබයි.

මනුෂ්‍ය ආත්මභවයක් ලැබීම පිනකි. එම පින්බල මහිමයෙන් මෙ භවය තුළ උපදි. එය එක් නවාතැන් පොළකි. අම්බලමකි. ඔහු මේ අම්බලමට එන්නේ පින් පව් නැමති කර්ම ශක්තීන් රැගෙන ය. දෙපැත්තට බර තිබෙන කදකි. අපගේ ගෞතමයන් වහන්සේ මේ කර්ම බලය නැති කළ යුතු බව කියයි. ඒ තුළින් පරම සතුට නිවන ලැබෙන බව දක්වයි.