Print this Article


කොළොම්පුර බොදු පුනරුදයට කැප වූ කොටහේනේ පරමානන්ද පුරාණ මහා විහාරය

කොළොම්පුර බොදු පුනරුදයට කැප වූ කොටහේනේ පරමානන්ද පුරාණ මහා විහාරය

යටත්විජිත සමයේ අඩපණ වූ කොළඹ නගරයේ බෞද්ධ ප්‍රබෝධය යළි නඟා සිටුවීම පිණිස ප්‍රමුඛ පෙළේ දායකත්වයක් ලබා දුන් කොටහේනේ පරමානන්ද පුරාණ මහා විහාරය, කොළඹ කොටහේනේ වාසල පාරේ පරමානන්ද විහාර මාවතෙහි පිහිටා ඇත.

කොටහේන පුරවරය බෞද්ධ පුනර්ජීවනයේ සුවිශේෂී කාර්යභාරයක් උසුලන ලද්දේ වාදීභසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද මාහිමිපාණන් වහන්සේ වැඩසිටි දීපදුත්තමාරාම විහාරස්ථානය පිහිටීම නිසා සේ ම, ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද නාහිමි, තත් උපපරිවේණාධිපති මහාචාර්ය කොටහේනේ ප්‍රඥාකීර්ති මාහිමි, බම්බලපිටියේ වජිරාරාමාධිපති නාරද මාහිමි, වජිරාරාමාධිකාරී පියදස්සි මාහිමි වැනි ශාසනෝන්නතිකාමීන් රාශියකට නිජබිම වූ නිසාවෙනි.

වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ ශිෂ්‍යවරයකු වූ දෙහිගස්පේ අත්ථදස්සි මාහිමියන්ගේ ශිෂ්‍යවර ඔග්ගමුවේ අත්ථදස්සි හිමියන්ගේ ශිෂ්‍ය වූ ප්‍රතිමා නිර්මාණයෙහි සමර්ථයකු වූ වෑත්තෑවේ ඉන්දසාර හිමියන් වර්ෂ 1806දී පානදුර අරුක්ගොඩ ඉන්දසාරාරාම විහාරස්ථානය ඇති කරවමින් ලෝක ශාසන සංග්‍රහයෙහි නිරත වූහ.

වෑත්තෑවේ ඉන්දසාර මාහිමියන්ගේ ශිෂ්‍ය වූ පානදුරේ සුමංගල නාහිමිපාණන් වහන්සේ වර්ෂ 1810දී කොටහේනේ අක්කර දෙකක බිම්කඩක පරමානන්ද විහාරය ආරම්භ කළ බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි.

සියම් නිකායේ පහතරට උපසම්පදා කටයුතු ආරම්භ කිරීමට මූලිකත්වය ගත් පානදුරේ සුමංගල හිමිපාණෝ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්මමහා සංඝ සභාවේ නිර්මාතෘ හිමිවරුන් පස් නම අතරට අයත් වෙති.

තත්ශිෂ්‍ය පරපුර අරුක්ගොඩ ඉන්දසාරාරාම විහාර පාර්ශ්වය ලෙස හඳුන්වනු ලබයි.

දීපදුත්තමාරාමය කොටහේනේ ඉහළ පන්සල ලෙසත්, පරමානන්ද විහාරය කොටහේනේ පහළ පන්සල ලෙසත් හඳුන්වනු ලැබෙයි.

රත්මලානේ පරමධම්මචේතිය පරිවේණාධිපති ධුරයෙහි කටයුතු කරමින් සිටි හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ 1870 වර්ෂයේදී දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි ප්‍රමුඛ සුභාචාරෝදය සභාවෙහි ක්‍රියාකාරී වූ කොළඹ සැදැහැතියන්ගේ ඇරයුම පරිදි උපසම්පදා සහ සාමණේර ශිෂ්‍ය හිමිවරුන් සිව් නම බැගින් කැටුව විත් පරමානන්ද විහාරයේ වැඩ විසූහ. වර්ෂ 1873 දී මාලිගාකන්දේ විද්‍යොදය පිරුවන ආරම්භ කිරීමට සුදුසු අවස්ථාව එළඹෙන තෙක් හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් වැඩසිටියේ පරමානන්ද විහාරයේ ය.

පරමානන්ද විහාරයේ විහාර කර්මාන්ත පානදුරේ සුමංගල මාහිමිපාණන් වහන්සේ විසින් ආරම්භ කරවා ඇති අතර චෛත්‍යය, විහාර මන්දිරය, ධර්මශාලාව, පුරාණ පෝය සීමාව ඇතුළු ඉදි කිරීම් නිමා කරවන ලද්දේ තත්ශිෂ්‍ය පානදුරේ ධම්මක්ඛන්ධ මාහිමියන් වහන්සේ විසිනි.

1880 වසරේදී බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නේත්‍රා ප්‍රතිෂ්ඨාපන පුණ්‍යෙීත්සවය පවත්වා ඇත.කොටහේන ප්‍රදේශයේ පැවැති වලව් 14 ක වාසය කළ ප්‍රභූවරුන්ගේ දායකත්වය විහාර සංවර්ධනයට උපකාරී වී තිබේ. වර්ෂ 1885 දී වෙහෙර වහන්සේ ඉදි කරවීම සඳහා කොටහේනේ ග්‍රින්ලොජ් වලව්වේ ජෝර්ජ් ද සිල්වා ජයතිලක සෙනෙවිරත්න මුදලි මන්ත්‍රීශ්වරයාණන්ගේ සහ දෝන ඉසබෙලා ද සිල්වා ගුණතිලක මැතිණියගේ ද වර්ෂ 1885 දී ඝණ්ඨා ස්ථම්භය තැනවීම සඳහා කොටහේනේ බණ්ඩාරනායක වලව්වේ කොන්රඩ් පීටර් ඩයස් බණ්ඩාරනායක මුදලිතුමන්ගේ බිරිඳ වූ එලිසා බණ්ඩාරනායක මැතිණියගේ ද අනුග්‍රහය හිමි වී තිබේ.

කෝට්ටේ සංඝ සභාව 1953 වර්ෂයේ ආරම්භ කළ පසු ඒ වෙනුවෙන් මල්වතු මහාවිහාරයේ එකඟත්වය ලබා ගැනීමට දඹුලු රජමහා විහාරයේ ද සහයෝගය මත ධම්මක්ඛන්ධ මාහිමියන් සුවිශාල දායකත්වයක් ලබා දී තිබේ. දිල්ලි විශ්වවිද්‍යාලයේ සංස්කෘත භාෂා මහාචාර්ය පදවියක් සහ කෝට්ටේ සංඝ සභාවෙහි උපාධ්‍යාය පදවියක් හොබවන ලද බොරලැස්ගමුවේ කල්‍යාණතිස්ස මාහිමියන් පරමානන්ද විහාරාධිපති පදවිය හොබවද්දී ප්‍රාචීන භාෂා විද්‍යාලය නමින් පිරුවනක් ආරම්භ කරන ලදි.

පසු කලෙක අග්‍රාමාත්‍ය ධුරයට පත් මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමාගේ සහ හේවාවිතාරණ වලව්වේ ලීලාවති හේවාවිතාරණ මැතිණියගේ මූලිකත්වයෙන් වර්ෂ 1924දී පෞරාණික බෝධීන් වහන්සේ වටා බෝධි ප්‍රාකාර සඳහා මුල් ගල් තබවා ඇත. පුරාණ විහාර මන්දිරය වටා පසු කාලීනව චිත්‍ර මූර්තිවලින් සමන්විත පිටත මාලකයක් තනවා තෙමහල් මහා විහාර මන්දිරයක් බවට පත් කොට තිබේ.

රඹුක්කන මහින්දවංශ හිමියන්ගේ අවධියේ විහාරස්ථානයේ යම් පරිහානිකාරී තත්වයක් පැවති බව ඉතිහාසය සාක්ෂි දරයි. එම තත්වයන් සමනය වී ඇත්තේ එල්ලාවල කල්‍යාණවංශ නාහිමියන් විහාරාධිපතීත්වයට පත්ව විහාරස්ථානයේ නූතන නවෝදය ඇති කරවීමෙන් පසුව ය.

වාදීභසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද මාහිමියන් වැඩසිටි අවධියේ දීපදුත්තමාරාම විහාරස්ථානයේ පෙරහරක් සඳහා අන්‍යාගමිකයන් පහර දී පෙරහරේ ගමන් කළ පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වූ පසු කොටහේනේ සෑම විහාරස්ථානයකම පාහේ පෙරහර පැවැත්වීමේ සිරිතක් ආරම්භ වුවද අද දක්වා ක්‍රියාත්මක වන්නේ පරමානන්ද විහාරයේ පෙරහර පමණි.

මෙම පෙරහරට පහරදීමට අන්‍යාගමිකයන් භාවිත කළ කාලතුවක්කුවක් පරපුරෙන් පරපුරට ශේෂ වී පැමිණ තිබූයෙන් වර්ෂ 1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීම සිහිපත් කරවමින් එල්ලාවල කල්‍යාණවංශ නාහිමිපාණන් වහන්සේ එම කාලතුවක්කුව පුරාවස්තුවක් වශයෙන් පරමානන්ද විහාරය ඉදිරියේ ස්ථාපනය කරවන ලදි.

බොදුනුවන් අඩුවෙන් වාසය කරන, කොටහේනේ එල්ලාවල කල්‍යාණවංශ නාහිමියන් වර්ෂ 1963 ජූලි හත් වන දින ආරම්භ කළ පරමානන්ද ධර්ම විද්‍යාලය අගනුවර සුවිශේෂී ධර්ම විද්‍යාලයක් ලෙස සම්භාවනාවට පත් වෙයි.

කොළඹ දිසාවේ උප ප්‍රධාන සංඝ නායක නිල්වක්කේ සුගතවංශ නාහිමියන්ගෙන් පසු විශ්‍රාමලත් විදුහල්පති, ශාස්ත්‍රපති තඹවිට විමලවංශ නාහිමිපාණන් වහන්සේ කොටහේන පරමානන්ද පුරාණ මහා විහාරයේ සහ තදනුබද්ධ කඩුගන්නාව අමුණුපුර බෝධිරුක්ඛාරාම විහාරයේ

විහාරාධිපති පදවි සහ කොළඹ දිසාවේ උපප්‍රධාන සංඝ නායක පදවිය ශෝභමාන කරති.

බොරැල්ල තිලකරත්නාරාමස්ථ සිරි සුමන පිරුවනේ ආචාර්ය, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්මමහා සංඝ සභාවේ කල්‍යාණි කාරක සභික, ශාස්ත්‍රපති, ලෙල්ලොගොඩ සීවලීවංශ හිමිපාණන් වහන්සේ විහාරාධිකාරී ධුරය හොබවති.

වර්ෂ 1940 දී සතර මහා දේවාල ඉදි කරවීමත් සමග කොටහේනේ ඇසළ මහා පෙරහර අරඹා ඇති අතර අතීතයේ දේවදූතයන් තිදෙනෙකු සහිත දින විසි එකේ පිරිත්, දේවදූතයන් දෙදෙනෙකු සහිත දින දාහතරෙ පිරිත් ආදී පිරිත් දේශනා පවත්වා 1930 සිට වාර්ෂිකව සතිපිරිත් දේශනා පින්කම පැවැත්වීම ද අගනුවර බොදු පුනරුදය උදෙසා පරමානන්ද විහාරයෙන් සිදු කෙරෙන සුවිශේෂී සංසිද්ධියකි.