Print this Article


සත්‍යක්‍රියාවක්

සත්‍යක්‍රියාවක්

බුදුරජාණන් වහන්සේ මගධ රට සැරිසරා භික්ෂූන් වහන්සේ පිරිවරා වැඩම කරන කාලයේ ඒ ප්‍රදේශයේ ඇති වූ ලැව් ගින්නක් බුදු බලයෙන් නිවා දැමීම නිසා දම් සභාවේ ඇති වූ සංවාදයක් මුල් කොටගෙන මෙම ජාතක කතාව දේශනා කළ සේක.

යටගිය දවස මගධ රාජ්‍යය ප්‍රදේශයෙහි බෝධි සත්ත්වයන් වහන්සේ වටු කුරුලු මව්පිය දෙදෙනෙකුට දාව උපත ලබා බිජුවටින් අවුත් කුඩා වටු පැට‌වෙක් වූහ. වටු මව්පිය දෙදෙනා ද පැටවා කැදැල්ලේ තබා මුව තුඩින් ගොදුරු ගෙනැවිත් කවා පැටවා පෝෂණය කරන්නාහ.

මේ අතර වර්ෂයක් පාසා ඒ ප්‍රදේශයෙහි හට ගන්නා ලැව් ගිනි ඇවිලී වටු පැටවා සිටින ප්‍රදේශයට ද පැමිණියේ ය. එහෙත් මේ වනවිට වටු පැටවා ඉපදී දින ගණනාවක් ගත වුණද වටු පැටවාට අත්තටු ගසා පියඹා යන්නට හෝ දෙපය ඔසා ගොඩ ඇවිදින්නට හෝ හැකියාවක් නො වීය. ලැව් ගිනි දුටු වනයේ අනෙකුත් පක්ෂීහු ද තම තමන්ගේ කැදැල්ලෙන් නික්ම මරණ බියෙන් පලා ගියහ.

වටු පැටවාගේ මව්පියෝ ද ලැව් ගිනි නිසා මරණ බියට පත් ව වටු පැටවා අතහැර පලා ගියහ. බෝසත් වටු පැටවා පමණක් ලැව් ගිනි මැද වනයේ තනි විය. කැදැල්ලෙහි තනි වූ වටු පැටවා ඇවිලීගෙන එන ලැව් ගිනි දැක කළ හැකි අන් කිසිවක් නොමැති බැවින් පෙර බුදුවරයන්ගේ ගුණ හා නොමේරූ අත්පා ඇති තමාට පැන යාමට නොහැකි බවද සිහිපත් කොට සත්‍යක්‍රියා කිරීමට සිතා යම් හෙයකින් මා‌ගේ පියාපත් විදහා අහසින් යා නොහැකි බවත්, අත් පා තිබුණ ද ඒවා ඔසවා යාමට නොහැකි බවත්, දෙමාපියන් මා කැදැල්ලේම දමා ජීවිතාශාවෙන් පැන ගිය බවත් සත්‍ය නම් ඒ සත්‍යයෙන් මේ ලැව්ගින්න නතර වේවා! යි

ආදී වශයෙන් කැදැල්ලේ සිටම සත්‍යක්‍රියා කළේ ය. සත්‍යක්‍රියාවත් සමඟම එතෙක් ඇවිලෙමින් පැවති ලැව්ගින්න දියෙහි දමන ලද ගිනි හුලක් මෙන් නිවී ගියේ ය. සත්‍ය ක්‍රියාවෙහි බලයෙන් ලැව් ගින්න නිවා වනයේ සතුන්ගේ මෙන් ම තමන්ගේ ද ආරක්ෂාව සලසා ගත් බෝසත් වටු පැටවා ජීවිතාන්තය දක්වා සිට කම් වූ පරිද්දෙන් මිය පරලොව ගියේය.

එකල වටු පැටවා නම් තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ය.