Print this Article


පහන් සිතක කවි

සමාධි පිළිම වහන්සේ

සහසක් කරදර දුක් පීඩා මැද
අහසක් විලසට පැතිරුණු මනු මද
අබැටක් ලෙස සුන් කර නො දමාවිද
දෙනෙතක් දකිනා සමාධි මුව තෙද

අනුරා පුරයේ වියැළුණු මඳ නළ
විසුරා දමතිය සැතපුණු සිත් මල
තවරා හද මල සිසිලක් ලෙස විල
සනරාමර බුදු නෙත් මහනෙල් මල

පැදකුණු කරනෙමි සෙල් පිළිමය වට
සිත් කුණු අතහැර යයි නො පෙනෙන්නට
වැතිරුණු කය තුළ තණ්හා පොදි කොට
ඉගිලෙනු දැනුනා බුදු රුව ළඟ මට

සෙලින් උපන් බුදු රුව හමුවේ
මෙවන් සුවය ඇති නම් මා සිතුවේ
බුදුන් ඇසින් දුටුවා නම් මෙලොවේ
කියන් ලැබෙන සුව නැත පින් කෙරුවේ

දොහොත් මුදුන් දී වැඳ අයැදින්නෙමි
සිතත් කයත් එක්තැන් කර ගන්නෙමි
සත් හට වන දුක හිමිට කියන්නෙමි
මෙත් බුදු හිමි කල උපත ලබන්නෙමි

****

මෙවර ජයග්‍රාහී කවිය

වඳිිනෙමු බුදු සමිඳේ

තුන් ලෝ සතවෙත කරුණා වීදු
මෙත් කරුණා මුදිතා ගුණ පෑදූ
ලෝ සතුනට මෙත් සිසිල ලබා දුන්
වඳිනෙමු බුදු සමිඳේ

බව දුක ඝණ අඳුරින් දුරවා ලු
සියලු සතුන් ලොව සසරින් ගොඩ ලු
අමා දම් ගඟෙන් සිසිල ලබා දුන්
නමදිමු බුදු සමිඳේ

අමා සුවය සතහට පෙන්වා ලු
අමා දමින් තුන් ලෝ සත සනසා
නිවන් මඟට මඟ පාදා දුන්
නමඳිමු බුදු සමිඳේ

****

දුක් විඳිනා සත මිදුණා

නෙත් ඇරුණා සිත් පිරුණා
සවන් සැනසුණා
අත් නැඟුණා මෙත් සිතිනා
දෙසූ දම් අසා

මෙත් මුදිතා සහ කරුණා
ගුණෙන් සපිරුණා
අත් මිදුණා පස්පවිනා
උවසුවන් ලෙසා

මොක් මඟිනා සැනසෙමිනා
සව් කෙලෙස් නසා
දුක් විඳිනා සත මිදුණා
සමිඳු වැඩි නිසා

****

මිණි මුතුවන් මනු දම්

ඉතා භයංකර වූ
සසර ඇවිදින අප
විසල් වූ මහ මෙරක් විලසට
කුසල් කර ඇත දොහොත් මුදුනින්
උතුම් පිළිවෙත නිසාවෙනි
අද මිනිස් දිවියක්
ලැබුවේ අප සැම

තිලොවග පියා
දෙසූ ධර්මය
ලැබූ මිනිසත් බවට වැඩියෙන්
මනුසත්කම රැක ගන්න අරුතින්
මොහොතින් වියැකි යන
සත්‍ය දේටම නෙත් යොමා නිති
මනුදම් දෝතින් දරා
ලෝ වැසියන්ට දායාද කර
ත්‍යාගයේ අගය වටහා
අධර්මයෙන් වැළකී
ධර්මයෙන් ජය ගනිමු
මිල මුදලට වඩා
ආර්ය ධනය හදවතෙහි තුරුළු කර
උදාර ලෙසින්
ජීවත්වන කෙටි කාලය
ගෙවමු
සත් පුරුෂයන් විලසින්
මනුදමේ නාමයෙන්

****

අවසරයි බුදුපියාණෙනි

දරුකමටැයි හදාගන්න මවට බොරු කර
අරගෙන මා මැය වද දෙයි ගෙදර හිර කර
දරා සිටිනු බැරි තැන මෙහි ආමි හිරි හැර
බුදුහිමියනි ගඳකිළියට එන්න අවසර

පියා අහිමි මා රැකගත් මවගෙ ඇසුරට
සොයා යන්න ඒ රුව ගත නොහැක මත කෙට
යළිත් ගොසින් නිරාදුකෙහි වැටෙනු වෙනුවට
ම හිමි සෙවණ අසරණ මට සැපකි මිහි පිට

ලොව්තුරු බුදු පදවි ලැබූ ලොව පහන් කර
මහිමි සඳුන් නොදමනු ඇත මා අයින් කර
පැවිදිවෙලා සිටිනු දැකිය නොයමි හිමි හැර
එනමුත් මට කෝ හිමියනි සිවුරු පිරි කර

****

නිවන් දකින්නට පෙරුම් පුරා...

මුනි සිරිපා මුල
වැඳ නමදින්නේ
බුදු දම් සඟ ගුණ
මෙනෙහි කරන්නේ

සසර ගමනෙ දුක්
නිවා තබන්නට
සමිඳුනි අපහට
සරණක් වන්නේ
සදහම් දෙසුමේ
තිලකුණු අනුවම
සිතුවිලි දහරා
ගලා ගලා යයි

පමා නොවී සැම
කුසල් වඩා
සම්‍යක් වීරිය හොඳින් වඩා
නිවන් දකින්නට පෙරුම් පුරා

****

සමාව අයදිමි

මල් නෙළලා විකුණුවාට
තරහා නැහැනෙ බුදු සාධු
පාසල් පොත් අරගන්නයි
පියාට පින්පෙත් දෙන්නයි
මල් විකුණන්නේ
මල් විකුණා හැන්දෑවට
ඉතිරි මලක් දෝතට ගෙන
බුදු සාධු ගෙ ළඟ තියලා
සමාව ගන්නම්

****

කවි කිවිඳියනට සතර පෝ දාට ම දහම් තුටු පඬුරු

බුදුසරණ ‘පහන් සිතක කවි’ නිර්මාණ පිටුව සරසන ලේඛකයන් ඇගයීම පිණිස ඉල් පුර පසළොස්වක පෝදා සිට දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සහ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති නා හිමියන්ගේ අනුග්‍රහයෙන් දහම් පඬුරු තිළිණ කෙරේ. සතර පෝදාට ම හොඳම නිර්මාණ එවන ජයග්‍රාහකයන් සතර දෙනෙකුට එම තිළිණ පිරිනැමෙනු ඇත.