Print this Article


සදහම් අරණ

බොරුකීමේ විපාක

සත්‍ය නමැති ධර්මය අත්හළ, බොරු කියන්නා වූ පරලොව ගැන බලාපොරොත්තු රහිත වූ තැනැත්තාට නොකළ හැකි පවක් නැත යනු බුද්ධ වචනයයි. බොරු කීමෙන් නොවැළකී කොතෙක් ගුණ ධර්ම රැක්කත් ඒවායේ වටිනාකමක් නැත්තේ ය. අනුන් රවටන අදහසින් නැති දේ ඇතිකර ඇති දේ නැතිකර කීම බොරුවකි. බොරු කියන්මෝ මෙලොවදී නින්දාවට පත්වෙති. අන් අය අවිශ්වාස කරයි. බොරුව නිසා දඬුවම් ද ලැබේ. බොරු කියන්නෝ මරණින් මතු නරකාදියේ ඉපදී කල්ප කෝටි ගණන් ලෝ දිය බිබී සෑහෙන දුක් විඳිති.

ප්‍රේතව ඉපිද ඒහා සමාන දුක්විඳියි. මිනිසෙක් ව ඉපදුණත් මුසාවාදය නිසා තවත් බොහෝ කලක් දුකට පත්වේ. බොරුකීම බොහෝ පව්කම්වලට හේතු වේ. බොරු කියන්නාට නො කළ හැකි පවක් ද නැත.

****

හරි මඟ යමු

කතාබහේ දී විශ්වසනීයත්වය රැක ගැනීම හා අවංක වීම ඉතා වැදගත් ය. වංචනික සහ බොරු වචනවල වැදගත්කමක් තැන, වැඩියෙන් කතා නොකර අඩුවෙන් කතා කරන්න.

සත්‍යය කතා කරන්න, සත්‍යය අවුල් නොකරන්න. වංචනික වචන, අසභ්‍ය වචන, නරක සිරිත් සැම විටම අත්හරින්න. ඔබ දෑසින් නොදුටු දේ අනික් අයට සත්‍ය දෙයක් ලෙස කීමට උත්සාහ නො කරන්න. ඔබට විශ්වාස නැති දේ අන් අයට නොකියන්න. යහපත් දේ කරන අය නිතර අනුගමනය කරන්න. අන් අය වැරැදි කළත්, ඔබ නිවැරැදි දේ ම කරන්න.

****

මේ උතුම් වස්සාන සමයයි

වෙසක්, පොසොන් කාලයෙන් පසු බෞද්ධයන්ට ඉතා වැදගත් වන්නේ ඇසළ සමයයි. ඒ වස්සාන සමය හෙවත් වැසි සමයයි. මෙකල විහාරස්ථානවල වැඩ වාසය කරන උපසම්පදා භික්ෂූන් වහන්සේලා වස් සමාදන් වෙති. එය බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ විනය කර්මයකි.

බුදු සසුන ආරම්භ වී කලක් යන තුරු ම භික්ෂූන් වහන්සේ වස් විසීම නොකළහ. උන්වහන්සේලා වසර පුරා ම ගම් නියම් ගම්හි හැසිරීමෙන් ධර්ම ප්‍රචාරයේ යෙදුණහ. වස් කාලයේ නොකඩවා වැසි ඇද වැටේ. ඒ වැසි නොතකා භික්ෂූන් ධර්ම ප්‍රචාරයේ යෙදීම සාමාන්‍ය දසුනක් විය. මෙයට සාමාන්‍ය ජනතාවගෙන් විවිධ චෝදනා එල්ල වන්නට විය. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ නිල් තණ පාගමින් ක්ෂුද්‍රප්‍රාණි සත්ත්වයන්, කුඩා ජීවීන් විනාශයට පත්වන පරිදි චාරිකාවේ යෙදෙතියි යන

මහජන මතයට කන් දීමක් වශයෙන් බුදුරජාණන් වහන්සේ ‘අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගුන්තුං’ යැයි භික්ෂුන් වහන්සේලාට වස් විසීම අනුදැන වදාළහ. පෙර වස් එළඹීම හා පසුවස් එළැඹීම වශයෙන් ආකාර දෙකකි. පෙරවස් එළඹීම යනු භික්ෂූන් වහන්සේලා ඇසළ පෝයට පසුදා සිට වස් එළැඹීමයි. පෙර වස් එළැඹීමට නොහැකි වූ භික්ෂූන් නිකිණි පෝය දින පොහොය කොට පසු දින වස් එළැඹෙති.

වස්සාන සමය ගිහි පැවිදි දෙපාර්ශ්වයට වැඩදායි කාල පරිච්ඡේදයකි. වස් එළැඹීමක් ඇති හැම විහාරාරාමයක ම නොයෙක් පින්කම් වස් තුන් මාසයේ දී සිදු වේ. බොහෝ විහාරස්ථානවල වස් තුන් මස පුරා බෝධි පූජා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, දාන, භාවනා ආදී ආමිස ප්‍රතිපත්ති පූජා බොහෝ සෙයින් සිද්ධ වේ. ඊට අමතරව භික්ෂූන් වහන්සේලාට සිවු පසයෙන් උපස්ථාන කොට බොහෝ පින් රැස් කර ගත හැකි ය. වස් අවසානයේ කඨින චීවර පුජාව සිදු කළ හැකි ය. වප් පෝය හා ඉල් පෝය අතර කාලය “චීවර මාසය” වේ. පෙර වස් එළඹ තුන් මසක් ඇවෑමෙන් උදාවන වප් පෝය දා වස් පවාරණය කරති.

****