Print this Article


සකු බස් සක්විති හිඟුල්වල ශ්‍රී සරණංකර මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ

සකු බස් සක්විති හිඟුල්වල ශ්‍රී සරණංකර මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ

" සම්භාව්‍ය අධ්‍යාපනයේ දැනුමෙන් සුපෝෂිත අවසන් පහන්සිළ ද නිවී ගිය සංවේගය ලක්දෙරණ මත ශේෂ කරමින් අපවත් වී වදාළ හිඟුල්වල ශ්‍රී සරණංකරාභිධාන මහා ස්වාමින්ද්‍රයන් වහන්සේට නිවන් සුව පතමු."

සම්භාව්‍ය පිරුවන් අධ්‍යාපනයේ ක්‍රමයෙන් ඉදිරියට පැමිණි උගතුන් අතර වැඩ සිටි අවසන් පුරුක වශයෙන් සැලකිය හැකි මොලගොඩ කොටමුදුන්ගල රාජමහා විහාරාධිපති, අස්ගිරි මහා විහාරයේ මහෝපාධ්‍යාය, සාහිත්‍යාචාර්ය, රාජකීය පණ්ඩිත, විද්‍යාලංකාර රත්නවිභූෂණ, සංස්කෘත සිද්ධාන්ත විශාරද ධර්මකීර්ති ශ්‍රී හිඟුල්වල ශ්‍රී සරණංකරාභිධාන මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ සියවසක් ආයු විඳ අගෝස්තු මස හත් වන දින පූර්වභාගයේ දී කීර්තිශේෂභාවෝපගත වී වදාළ සේක.

විද්‍යොදය විද්‍යාලංකාර ගුරුකුල දෙක නියෝජනය කළ මහා පඬිවරුන් අතර ජීවමාන ව වැඩසිටි ජ්‍යෙෂ්ඨතම පඬිරුවන හිඟුල්වල සරණංකර මාහිමිපාණන් වහන්සේ ය. එසේම තෘතීය විද්‍යාලංකාර පරිවේණාධිපති ව වැඩ සිටි විද්වද්ජනශේඛරායමාන සාර්වභෞම පණ්ඩිත ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්දාභිධාන කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක මාහිමිපාණන් වහන්සේ ඇසුරු කළ පඬිවරුන් අතුරින් ජීවමානව සිටි අවසන් පඬිරුවන ශ්‍රී සරණංකර මාහිමිපාණන් වහන්සේ ය.

පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවන පෙරදිග මහා තක්ෂිලාව වශයෙන් විරුදාවලි ලබමින්, එංගලන්තය, අමෙරිකාව, ඕලන්දය, ඉන්දියාව, මැලේසියාව, පාකිස්ථානය, රුසියාව ඇතුළු රටවලින් ශාස්ත්‍රාභිලාෂී ශිෂ්‍ය පිරිස් විද්‍යාලංකාර පිරුවන් සෙවණෙහි ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණයට පැමිණි ශාස්ත්‍රීය සෞභාග්‍යත්වයේ උපරිස්ථානයේ විද්‍යාලංකාරය පැවති යුගයේ එම ගුරුකුලයෙහි සෙවණ ලැබීමට භාග්‍යවත් වූ සුධීමතුන් අතුරෙහි අපේ දෙනෙතින් දැකීමට ඉතිරි වූ අවසන් පුරුක ද අප මාහිමිපාණන් වහන්සේ ය.

මෙරට ශාසන වංශයේ සුවිශේෂී මං සලකුණු කළ භික්ෂුවකගේ උරුමය තහවුරු කළ 1946 වර්ෂයේ ඇති කළ ඓතිහාසික විද්‍යාලංකාර ප්‍රකාශනය, 1950 වර්ෂයේ ආරම්භ වූ විද්‍යාලංකාර ත්‍රිපිටක සංගායනාව වැනි සුවිශේෂී සංසිද්ධි සමුදායක් සඳහාම ක්‍රියාකාරී දායකත්වය ලබාදුන් ශ්‍රී සරණංකර මාහිමිපාණන් වහන්සේ කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර නාහිමි, යක්කඩුවේ ප්‍රඥාරාම නාහිමි, නාත්තන්ඩියේ ප්‍රඥාකර නාහිමි, කොටහේනේ ප්‍රඥාකීර්ති නාහිමි, හැඩිපන්නල ප්‍රඥාලෝක නාහිමි, දෙගම්මැද සුමනජෝති නාහිමි, කුඩීරිප්පුවේ ප්‍රඥාශේඛර මාහිමි, ඇතුල්ගම දේවරක්ඛිත නාහිමි, බඹරදෙණියේ මේධානන්ද නාහිමි, මොරවක සිද්ධාර්ථ නාහිමි, බඹරැන්දේ සිරි සීවලී මාහිමි, වල්පොළ රාහුළ හිමි වැනි යුගකාරක තෙරවරුන්ගේ ආභාසය ලබමින් ස්වකීය චරිතය ආලෝකවත් කර ගැනීමේ භාග්‍යය ලද පුණ්‍යවන්තයන් වහන්සේ නමකි.

කන්ද උඩරට සාරසියපත්තුවේ හෙළ රජ දරුවන්ගේ ගෞරවාදරයට පත් කුලතුංග පරපුරෙහි දරුවෙකු ලෙස උපත ලද නාහිමිපාණන් වහන්සේ මොලගොඩ කොටමුදුන්ගල රාජමහා විහාරයේ දී දෙහිදෙණියේ ශ්‍රී සුමනසාර මාහිමියන් සහ පලිපාන මේධංකර මාහිමියන් ආචාර්යත්වයට පත් කොට ගනිමින් ප්‍රව්‍රජ්‍යා සම්පත් ලබා මූලික අධ්‍යාපන කටයුතු සිදු කළහ. තදන්තරව මල්වතු මහාවිහාරයේ අනුනායක සහ ලේඛකාධිකාරී යන පදවිද්වය ම එකවිට ශෝභාවත් කළ හැරමිටිගල ශ්‍රී ධීරානන්ද අනුනායක මාහිමිපාණන් වහන්සේගේ ආධිපත්‍යයේ පැවති හැරමිටිගල ශාස්ත්‍රාලංකාර පිරුවනට ඇතුළත්ව තත් අනුනායක මාහිමිපාණන් වහන්සේ, මඩදෙණියේ ධම්මානන්ද මාහිමිපාණන් වහන්සේ වැනි ඇදුරන් පාමුඛයෙහි ශාස්ත්‍රොද්ග්‍රහණය කොට උසස් අධ්‍යාපනය සඳහා දසදිග සුපතළ පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරුවනට ඇතුළත් වූහ.

විද්‍යාලංකාර පිරුවනේ සාහිත්‍යාචාර්ය උපාධි පරීක්ෂණයෙන් ප්‍රමුඛයා ලෙස සමත්ව රාජකීය පණ්ඩිතෝපාධියෙන් ද සමර්ථ වූ මාහිමිපාණන් වහන්සේ දීර්ඝකාලීනව විද්‍යාලංකාර පිරුවනෙහි ආචාර්ය පදවියක් හෙබවීමට ගුරුදේවයන් වහන්සේලා සිදු කළ අයැදුම ඉවත දමා තම ජාතභූමිය වූ සාරසියපත්තුවෙහි ධර්ම ශාස්ත්‍රෝද්දීපනිය පිණිස කැප වූහ.

විද්‍යාලංකාර පිරුවන ප්‍රාචීන භාෂා අධ්‍යයන ක්ෂේත්‍රයේ ස්වර්ණමය සලකුණු සනිටුහන් කළ, දෙවියන් වහරන බස යන අරුත දෙන දෛවීභාෂාව හෙවත් සංස්කෘත භාෂාවෙහි සිද්ධාන්ත මැනවින් හදාරමින් විශාරදත්වයට පත් වූ සේක.

සකු බස් ඡන්දස් අලංකාරාදියෙහි කෙළ පැමිණෙමින් සාරස්වත ව්‍යාකරණාදී සංස්කෘත ව්‍යාකරණ ග්‍රන්ථයන් ඉතා කෙටි කලෙකින් උසස් විභාග සඳහා ඉගැන්වීමේ සාමර්ථයක් නාහිමිපාණන් වහන්සේ තුළ වූ බව ප්‍රකට කරුණකි. ප්‍රාචීන අධ්‍යයන විෂය ක්ෂේත්‍රයේ සංස්කෘත සිද්ධාන්ත පිළිබඳ මාහිමියන් රචිත ශාස්ත්‍රීය ලිපි ප්‍රමාණය සුවිශාල වෙයි.

වෑඋඩ විද්‍යාතිලක පිරුවන, කුරුණෑගල මලියදේව විද්‍යාරක්ෂක පිරුවන, මොලගොඩ පියදස්සි බෞද්ධ මිශ්‍ර පාඨශාලාව, පේරාදෙණිය මහාවිද්‍යාලය, ගැටඹේ මහාවිද්‍යාලය ඇතුළු විද්‍යාස්ථාන රාශියක ආචාර්යයන් වහන්සේ නමක ලෙස කටයුතු කළ නාහිමිපාණන් වහන්සේ ස්වකීය ආචාර්යයන් වහන්සේලා වැඩසිටින අවධියේ සිටම කොටමුදුන්ගල රාජමහා විහාරස්ථානයේ නොවක් සංවර්ධන කටයුතු සඳහා පුරෝගාමී වූහ. අතිදුර්ලභ බුද්ධෝපස්ථානයක් වූ ශ්‍රී දළදා වහන්සේගේ තේවා කටයුතු වෙනුවෙන් ද නාහිමිපාණන් වහන්සේ සම්බන්ධ වූ සේක.

අස්ගිරි මහාවිහාරයේ අභිමානවත් මැද පන්සල් පරපුරෙන් පැවත එන කොටමුදුන්ගල රජමහා විහාර සඟ පරපුරට අයත් නාහිමිපාණන් වහන්සේගේ මහරු මෙහෙවරට උපහාර පිණිස අස්ගිරි මහාවිහාරයීය විංශත්වර්ගික කාරක සංඝ සභාව විසින් අස්ගිරි මහාවිහාරයීය රාජපූජිත මංගලෝපෝෂථාගාරයේ උපාධ්‍යාය පදවියක් පිරිනමමින් ශාසනික විනය කර්මවල මහාථෙර නමක වශයෙන් සම්මත කරවන ලදි.

එසේම විද්‍යාලංකාර මහ පිරුවන විසින් ස්වකීය අත්‍යුත්තරීතර සම්මානය වන විද්‍යාලංකාර රත්නවිභූෂණ සම්මානය පුද කොට නාහිමිපාණන් වහන්සේ සම්භාවනීයත්වයට පත් කළහ.

දශක නවයකට ආසන්න වූ මාහිමිපාණන් වහන්සේගේපැවිදි දිවිමග ආදර්ශයට ගනිමින් ස්වකීය පැවිදි දිවිය සාරවත් භාවයට පත් කොට ගත් යතීන්ද්‍රයන් වහන්සේලා රාශියකි. මල්වතු මහාවිහාරයේ අනුනායක, අග්ගමහා සද්ධම්මජෝතිකධජ, සාහිත්‍යචක්‍රවර්තී, ආචාර්ය නියංගොඩ විජිතසිරි අනුනායක මාහිමිපාණන් වහන්සේ ස්වකීය ආචාර්යයත්වයේ සලකා හිඟුල්වල මාහිමිපාණන් වහන්සේ සම්භාවනාවට පත් කරති.

එසේම පැවිදි උපසම්පදා කළ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා ද වියතුන් මැද සිළුමිණි ලෙසින් සම්භාවනාවට පත් වීමේ ගෞරවය ද ගුරුදේව මාහිමිපාණන් වහන්සේ වෙත පිරිනැමීම යුක්ති සහගත ය.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, ගල්ලෑල්ලේ සුමනසිරි මාහිමිපාණන් වහන්සේ, ජ්‍යෙ‍ෂ්ඨ කථිකාචාර්ය, දර්ශනපති, මොරගස්වැවේ විජිත හිමි, හිටපු කථිකාචාර්ය කරගස්වැවේ වජිර හිමි යන ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා නාහිමිපාණන් වහන්සේගේ පැවිදි ශිෂ්‍ය පුත්‍රයන් වෙති. නිවැරදි ශාසනික ප්‍රතිපදාව අනුගමනය කරමින් නිහඬ සහ සරල අන්දමින් වැඩ හිඳීමින් සුපේෂල ශික්ෂාකාමී අර්ථ චර්යාවෙහි පිළිපන් දුටු දුටුවන් පැහැදෙන රූප ශෝභාවයකින් හෙබි වූ මාහිමිපාණන් වහන්සේ දීර්ඝායුෂ සහ නිරෝගි සුව වින්දනය කිරීමට භාග්‍යය ලැබූහ.

සම්භාව්‍ය අධ්‍යාපනයේ දැනුමෙන් සුපෝෂිත අවසන් පහන්සිළ ද නිවී ගිය සංවේගය ලක්දෙරණ මත ශේෂ කරමින් අපවත් වී වදාළ හිඟුල්වල ශ්‍රී සරණංකරාභිධාන මහා ස්වාමින්ද්‍රයන් වහන්සේට නිවන් සුව පතමු.