Print this Article


අංගුත්තර නිකාය 1 - විරියාරම්භ වර්ගය අංක 07

අංගුත්තර නිකාය 1 - විරියාරම්භ වර්ගය අංක 07

සූත්‍ර අංකය - 67

යොනිසො මනසිකාර සූත්‍රය

මහණෙනි, යමක් හේතුකොට ගෙන නූපන්නාවූ ද කුසල ධර්මයෝ උපදිත් නම්, උපන්නා වූ ද අකුසල ධර්මයෝ පිරිහෙත් නම්, නුවණින් මෙනෙහි කිරීම (යොනිසො මනසිකාරය) වැනි අන් එක ධර්මයකුදු මම නොදක්මි. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නා හට නූපන්නාවූද කුසල ධර්මයෝ උපදිත්. උපන්නා වූ ද අකුසල ධර්මයෝ පිරිහෙත්.

සූත්‍ර අංකය - 68

අසම්පජඤ්ඤ සූත්‍රය

මහණෙනි, යමක් හේතුකොට ගෙන නූපන්නාවූද අකුසල ධර්මයෝ උපදිත් නම්, උපන්නා වූ ද කුසල ධර්මයෝ පිරිහෙත් නම්, (මොහ සංඛ්‍යාත) අසම්පජඤ්ඤය (මනාප්‍රඥා නැතිබව) වැනි අන් එක ධර්මයකුදු මම නොදක්මි. මහණෙනි, මනා නුවණ නැති පුද්ගලයාහට නූපන්නාවූද අකුසල ධර්මයෝ උපදිත්, උපන්නා වූ ද කුසල ධර්මයෝ පිරිහෙත්.

සූත්‍ර අංකය - 69

සම්පජඤ්ඤ සූත්‍රය

මහණෙනි, යමක් හේතු කොට ගෙන නූපන්නා වූ ද කුසල ධර්මයෝ උපදිත් නම්, උපන්නා වූ ද අකුසල ධර්මයෝ පිරිහෙත් නම් මහණෙනි, සම්පජඤ්ඤය (මනා සම්‍යක් ප්‍රඥාව) වැනි අන් එක ධර්මයකුදු මම නොදක්මි. මහණෙනි, මනා සම්‍යක් ප්‍රඥායෙන් දක්නාහට නූපන්නා වූද කුසල ධර්මයෝ උපදිත්. උපන්නා වූද අකුසල ධර්මයෝ පිරිහෙත්.

සූත්‍ර අංකය - 70

පාපමිත්ත සූත්‍රය

මහණෙනි, යමක් හේතු කොට ගෙන නූපන්නා වූ ද අකුසල ධර්මයෝ උපදිත් නම්, උපන්නා වූද කුසල ධර්මයෝ පිරිහෙත් නම් පාප මිත්‍රතාව (පවිටු වූ ලාමක වූ මිතුරන් ඇසුර) වැනි අන් එක ධර්මයකුදු මම නොදක්මි. මහණෙනි, පාප මිත්‍රයන් ඇත්තහුට නූපන්නා වූද අකුසල ධර්මයෝ උපදිත්, උපන්නා වූ ද කුසල ධර්මයෝ පිරිහෙත්.

අටුවාව - පාප මිත්‍රතාව යනු කවරේද? සැදැහ නැති, දුසිල්වත් වූ, ඇසූ පිරූ තැන් නැති, මසුරු වූ මෝඩ වූ යම් පුද්ගලයෝ වෙත්ද ඔවුන්ගේ යම් ඇසුරක්, ආශ්‍රයක් එක්ව ඇසුරු කිරීමක් භජනයක්, දැඩි භජනයක්, භක්තියක්, දැඩි ඇදහීමක්, සබැඳියාවක් වේ ද එය ‘පාපමිත්තතා’ යි

සත්වෙනි විරියාරම්භ වග්ගය නිමි.