Print this Article


කට වරද්දාගෙන අපායට යන හැටි

කට වරද්දාගෙන අපායට යන හැටි

පෙර ආත්ම භාවයන්හි මිනිසත් බව ලබා සිදු කරන ලද අකුසල කර්මයන් නිසා නොයෙක් අයුරින් දුක් ගැහැට විඳින අයුරු පෙන්වා දෙන පේත වත්ථු පාලිය තුළින් ගත හැකි ආදර්ශ බොහෝ ය. එහි උරග වග්ගයට අයත් පූතිමුඛ පේත වත්ථුව පිසුණු බස් හා මුසා බස් කීම නිසා විඳින වේදනා සහ කටුක විපාක කදිමට පෙන්වා දෙනු ලබයි.

දිනක් නාරද තෙරුන් වහන්සේ දෙවියකුගේ ශරීරයකට සමාන සිරුරකින් යුත් අහසෙහි සිටින එහෙත් මුඛය බෙහෙවින් දුගඳ හමන, පණුවන් සහිත, ප්‍රේතයෙක් දුටුවහ. ප්‍රේතයා දුටු උන්වහන්සේ ඔහුගෙන් අසන ප්‍රශ්නය වන්නේ පෙර කුමන කර්මයක් කොට මේ අයුරින් ඉපදී දුක් විඳින්නේ ද? යන්නයි.

මේ අයුරින් ඔහුගේ ම මුඛයෙහි සම සිදුරු කරමින් දුගඳ හමන පණුවන් සහිත සිටින ප්‍රේතයා නාරද තෙරුන්ට ලබාදෙන පිළිතුර වන්නේ මෙලෙසිනි.

මම පෙර ආත්ම භාවයක දුෂ්ඨ වචනයෙන් යුත්, වාග් ද්වාරයෙන් අසංවර වූ ශ්‍රමණ වේශධාරී පවිටු මහණෙක් වූවෙමි. බඹසර බෙලෙන් මාගේ ශරීරය වර්ණය ලදමි. එහෙත් පිසුණු බසින් මාගේ මුඛය දුගඳ හමන්නේ වෙයි. මේ අයුරින් ප්‍රේතයා තමා පෙර කරන ලද අකුසල කර්මය හා එයින් තමා විඳින දුක් ගැහැට මැනවින් විවරණය කරමින් දක්වනු ලැබී ය. මෙලෙස දක්වමින් නාරද තෙරුන්ගෙන් ප්‍රේතයා අවසාන වශයෙන් ඉල්ලීමක් සිදු කරනු ලබයි.

නාරද තෙරණුවනි, ඔබ වහන්සේ විසින් ම මා සිරුර දක්නා ලදී. බුද්ධාදී උත්තමයන් යමක් ප්‍රකාශ කළාහු නම් මම එයම ඔබට කියමි. මුසාබස් හා පිසුණු බස් නො කියන්න එකල්හි ඔබ කැමැති සැප විඳින දෙවියෙක් වන්නාහු ය. නාරද තෙරුන් හා පූතිමුඛ ප්‍රේතයා අතර ඇති වූ මෙම සංවාදය තුළින් පැහැදිලි වන්නේ වචනයෙහි අසංවරකම නිසා විඳිනු ලබන කටුක දුක් වේදනාවන් පිළිබඳව යි.

විශේෂයෙන් පුද්ගලයා වචනය සංවර කරගත යුතු අතර, නොමැති නම් මෙලොව වශයෙන් බොහෝ ගැටලු සඳහා මෙන්ම පරලොව දුක් වේදනාවලට ගොදුරුවීමට සිදු වෙනවා. මෙම පේත වත්ථුව තුළින් පෙන්වා දෙන්නේ එකී කාරණාව යි. භික්ෂූන් වශයෙන් පෙර ආත්ම භාවයක මුසාබස් (බොරුකීම) හා පිසුණු බස් (කේලාම්කීම) නිසා ප්‍රේත ලොව ඉපදී අනේක දුක් ගැහැට විඳින අයුරු මෙකී කතා පුවත තුළින් පෙන්වා දෙනු ලබයි. එයින් පෙන්වා දෙන ආකාරයට බඹසර යනුවෙන් කායික වශයෙන් සංවර වීම නිසා ලැබූ අනුසස් පෙන්වා දෙන්නේ දෙවියකුට මෙන් රන්වන් සිරුරක් ලැබූ බවයි. එසේම වචනයෙන් අසංවර බව නිසාම ප්‍රේතයාගේ මුඛයෙන් හටගත් පණුවන් හමේ සිවිය සිඳිමින් බොහෝ දුක් වේදනා ගෙන දෙන අතර දුඟඳ හමන මුඛයෙන් යුතු හෙතෙම කො තරම් දුරට කම්පා වන්නේ ද යන්න නාරද තෙරුන්ට මැනවින් ප්‍රකාශ කරනු ලබයි. වචනය අසංවර වීම හෙවත් මුසාබස්, පිසුණු බස්, පරුෂ, බස්, සම්ප්‍රප්පලා ආදිය තුළින් පුද්ගලයා විපතට පත් වන අයුරුත්, ඒ තුළින් සසර දුක් විඳීමට සිදුවන අයුරුත් මෙම පූතිමුඛ පේත වත්ථුව තුළින් ඉතාම මනාව පෙන්වා දෙනු ලබනවා.

“කාය වාචනං සමෝදානං සීලං” යන බුද්ධ වචනයට අනුව කය හා වචනය සංවර කර ගැනීම සීලය යි. සිල් රැකීම තුළින් මෙලොව හා පරලොව බොහෝ අනුහස් ලබා ගැනීමේ හැකියාව පවතී. පේතවත්ථු පාලියේ එන මෙම ප්‍රේත වත්ථුව අපට ලබා දෙන ආදර්ශය බෙහෙවින් වැදගත් වනු ඇත.