Print this Article


මිනිස් ලොව උපන් පමණින් මනුෂ්‍යයෙක් වියහැකි ද?

මිනිස් ලොව උපන් පමණින් මනුෂ්‍යයෙක් වියහැකි ද?

නමෝතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

දුල්ලභො භික්ඛවෙ මනුස්සත්ත පටිලාභො
කිච්චො මනුස්ස පටිලාභො - කිච්චං මච්චාන ජීවිතංති.

මනුෂ්‍යයාගේ ස්භාවය තමයි මිනිසත්බව කියලා කියන්නේ.

කිච්චො මනුස්ස පටිලාභො කියන බුද්ධ වචනය දිහා විමසුම් නුවණින් නැවත නැවතත් බලනවිට අපිට පේනව, නිරය, තිරිසන්, ප්‍රේත, අසුර, අරූප, අසංඥතල, පිටසක්වල ආදීතැන්වල නොඉපිද, පංච ඉන්ද්‍රියන්ගේ විකලත්වයක් නැතිව, මිථ්‍යාදෘෂ්ටිය, අබුද්ධොත්පාද කාලය කියන අෂ්ට දුෂ්ටක්‍ෂණ කාලයෙන් මිදිලා, බුද්ධෝත්පාද කාලයකම අපට ඉපදෙන්නට ලැබීම කොච්චර වාසනාවක් ද කියල.

මිනිසත්කම ලැබීම ලෝකයේ අතිශය දුර්ලභ කරුණක් බවයි ධර්මයෙහි සඳහන් වෙන්නේ. එයිනුත් ඇස් කන් ආදී ඉන්ද්‍රියන්ගේ විකලත්වයක් නැති වාසනාවන්ත මිනිස් ශරීරයක් ලැබීමත් ඉතා දුෂ්කර දෙයක්.

බොහෝ අයට මිනිසත්කමේ අගය නොදැනෙන්නේ, නොපෙනෙන්නේ ලෝකයේ බොහෝ මිනිසුන් දකින්නට ලැබෙන නිසයි.

බුදු, පසේබුදු, මහරහත් බව ලබන්නට වුවත්, බඹ, සුර, මිනිස් සැප ලබන්නට වුවත්, උපකාරීවන කුසල් දහම් රැස්කර ගන්නට පුළුවන්කම ලැබෙන්නේ මනුෂ්‍ය ලෝකයේ ඉපදීමෙන් පමණයි.

නිරා දුකට පත්වෙලා, ඝොරතර වූ දුක් විඳීන කාලයක හරි, තිරිසන් අපායේ ඉපදිලා අනන්ත හිරිහැරවලට ලක්වෙමින් දුක් විඳීන කාලයක හරි අපි කාටවත් පින්දහම් රැස්කර ගන්නට පුළුවන් කමක් නෑ. ඒ විතරක් නෙමෙයි මිනිසත් ආත්මයක ඉපදුණත් අන්ධවෙලා උප්පත්තිය ලැබුවොත්, ගොළුබිහිරි වෙලා උත්පත්තිය ලැබුවොත්, මිථ්‍යාදෘෂ්ටික කුලයෙක උප්පත්තිය ලැබුවහොත් මේ කිසිම අවස්ථාවක පින්දහම් කරන්නට පුළුවන්කමක් නෑ.

බුදුදහම නොපවතින දේශයක, පිටසක්වලක උපන්නත් පින්දහම් කරන්නට පුළුවන්කමක් නෑ. එහෙනම් මොන වගේ කාලයක ද පින් දහම් කරන්න පුළුවන්, බුද්ධෝත්පාද කාලයක, ශ්‍රද්ධා ශීලාදී ගුණ දම් වඩන සත්පුරුෂයන් වාසය කරන රටක ඉපදුණොත් පමණයි අපිට පින්දහම් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒකයි බුදුපියාණන් වහන්සේ මහා මංගල සූත්‍රයේ දී පතිරූප දේසවාසොච යනුවෙන් දේශනා කොට වදාළේ.

අපේ මාතෘකාව මනුෂ්‍යයා පිළිබඳවයි. අපි එහෙනම් කල්පනා කරලා බලමු හැමෝම නියම මනුෂ්‍යයෝ වෙනවද කියලා. මේ ලෝකයේ වසන මිනිස්සු කොටස් හතරකට අපිට බෙදා දක්වන්න පුළුවන්. ඒ මිනිස් නිරි සත්තු, මිනිස් ප්‍රේතයෝ, මිනිස් තිරිසන්නු, නියම මිනිස්සු යනුවෙන්. දැන් අපි බලමු මේ කොටස් හතරේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා.

මිනිස් නිරි සත්තු

මේ නමින් හඳුන්වන්නේ පෙර ජාතිවල දී ප්‍රාණඝාතාදී බොහෝ අකුසල කර්ම කළ අයයි. ඒ අය බොහෝ අනන්ත කාලයක් තමන් කළ අකුසල් කර්මවල ඵල විපාක විඳලා, නැවත මිනිස් ආත්ම භාවයක උපන්නත් පෙර කළ පාප ක්‍රියාවල ඉතිරි හරිය ඒ ආත්ම භාවයේදී ඵල දෙනවා. ඒ කොහොමද? කුමක් හෝ වරදකට හසුවෙලා දුක් විඳීනවා. අත් පා අහිමි වෙනව. ඇස්, කන් අහිමි වෙනවා. එල්ලුම්ගස් නියම වෙනවා. රජයට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. මේ වගේ මොනයම් හෝ දෙයකට හසුවෙනවා.

මේ ආත්මේ මොනතරම් හොඳට ජීවත් උනත් පෙර කළ පව් ඉස්මතු වෙලා ආවම ඒවායෙන් ගැලවෙන්නට, බේරෙන්නට පුළුවන්කමක් නෑ. බලන්න පින්වතුනි, පෙර කිව් විදියට අද සමහර මිනිස්සු දුක් විඳීනවද කියල. අන්න ඒ නිසයි එවැනි දුක් විඳීන අයට කියන්නේ මිනිස් නිරි සත්තුය කියලා. ඒ මෙලොව පෙර කළ අකුසල් විඳවන නිසා. අපි බලමු ඊළඟ කාරණය .

මිනිස් ප්‍රේතයෝ

බලන්න පින්වතුනි, මේ කිව්ව මිනිස් ප්‍රේතයෝ කොච්චරනම් අපිට දකින්න ලැබෙනවාද කියල. මිනිස් දිවියක් ලැබුවත් සා පිපාසා දුක ඉවසන්න බැරිව, සිඟාකමින් මොනවත් හොයා ගන්න දුක් විඳීන මිනිස්සු අපි හැමෝම ඕනතරම් දැකලා තියෙනවනෙ. අඳීන්න වස්ත්‍රයක් නැතිව, දැලි කුණු පෙරාගෙන, දකින අයට පිළිකුලක් ඇතිවන මිනිස්සු මොන තරම් මේ ලෝකයේ ජීවත් වෙනවද කියල බලන්න.

ඒ මිනිස්සුන්ට හරිහමන් ඉන්න තැනක් නෑ. සමහරවිට මුළු ජීවිත කාලයටම අහස තමයි පියස්ස, පොළොව තමයි යහන. මේවා දැකලවත් අපේ මිනිස්සු හැදෙන්නට උත්සාහ ගන්නට ඕන. එහෙම නොවුණහොත් ඉතින් තමන්ටත් මෙහෙම දුක් විඳීන්නට සිදුවේවි කියල හොඳීන් මතක තබා ගන්නටත් ඕන.

මිනිස් තිරිසන්නු

මිනිස් තිරිසන්නු කියල සඳහන් කරන්නේ, මිනිස් ආත්ම භාවයක් ලැබුවට, කිසිම පිනක් දහමක්, අණක් ගුණක්, නැතිව ජීවත්වන අයටයි. ඒ මිනිස්සුන්ට එලොවක් මෙලොවක් ගැන හාන්කවිසියක් නෑ. කර්මය , කර්මඵලය පිළිබඳ විශ්වාසයක් නෑ. නොයෙක් විදිහේ අපරාධ, දූෂණ, වංචා, හොරමැරකම්, තක්කඩිකම් කරමින්, සමාජයට විවිධ අයුරින් හානි පමුණුවන අයටයි මිනිස් තිරිසන්නු කියන්නෙ.

නියම මිනිස්සු

කවුද මේ නියම මිනිස්සු කියල සඳහන් කරන්නෙ. පෙර ආත්මභාවවලදී කරන ලද පින් දහම්වල බල මහිමයෙන්, හොඳ රූපයක්, සැලකිය යුතු ධනයක්, සුලබ වූ ආහාර පානත්, වස්ත්‍රාභරණත් ඇතිව, ප්‍රඥා සම්පත්තියෙන් යුක්ත හොඳ ජීවිත ගත කරන අයටයි නියම මිනිස්සු කියන්නේ. එහෙම නැත්නම් සත්පුරුෂ මිනිස්සු කියන්නෙ. කර්මය, කර්මඵලය පිළිබඳ විශ්වාසයකින් යුක්තවයි නියම මිනිස්සු කටයුතු කරන්නෙ.

ආගම දහම වෙනුවෙන් තමන්ගෙන් ඉටුවන්නට ඕනෑ යුතුකමක් වේ නම් එය හොයල බලල කරන අයටයි නියම මිනිස්සු කියන්නේ. ඒ අය තුළ මෙලොවක් ගැන, පරලොවක් ගැන විශ්වාසයක් තියෙනව. මැරෙණ බව තේරුම් අරගෙන කටයුතු කරනව. අන්න එවැනි අයයි, පින්වතුනි නියම මිනිස්සු.

මේ විදිහට කල්පනා කරල බැලුවම අපට හිතෙන්න පුළුවන් මිනිස්සු මෙහෙම විතරද බෙදා දක්වන්න පුළුවන් කියල. මීට වෙනස් විදිහකින්, මිනිස්සුන්ගේ ගති පැවතුම් අනුවත් ඔවුන් බෙදා දක්වන්න පුළුවන්.

සෑම මනුෂ්‍යයකුගෙම ජීවිතය සාර්ථක වන්නේ ධර්මයට අනුකූල වන පරිදි සකස් කරගත්තොත් විතරයි. අපි හැම ආත්ම භාවයකම මිනිසකුම වෙලා උප්පත්තිය ලබන්නෙ නෑ. ඒ පිළිබඳව විස්තරයක් හමුවෙනව අංගුත්තර නිකායෙ ජම්බුදීප පෙය්‍යාලවග්ගයේදී. මෙන්න මෙහෙම, “මිනිසුන් අතර උපදින සත්ත්‍වයෝ බොහොම අඩුයි. ඒත් මනුෂ්‍යයන්ගෙන් වෙන්වෙලා නරක ආත්මවල උපදින අය වැඩියි” ඊළඟට දේශනා කරනවා,

මිනිසුන් අතරින් මැරිලා මිනිස්නු අතර උපදින සත්ත්‍වයෝ අඩුයි. ඒත් මිනිසුන් අතරින් මැරිලා ගිහිල්ලා, නිරයෙහි, තිරිසන් යෝනියෙහි, ප්‍රේත යෝනියෙහි උපදින අය වැඩියි.

මේ ආදී වශයෙන් එහිදී වැඩි දුරටත් දේශනා කරනව, දෙවියන් අතර ඉපදිලා දෙවියන් අතරට නැවත යන අය අඩුයි. එහෙත් නරකයෙහි උපදින අය වැඩියි.

ඒ වගේම තමයි දෙවියන් අතරින් මැරිලා මිනිසුන් අතර උපදින අය අඩුයි. එහෙත් නරකයෙහි උපදින අය වැඩියි.

නිරයෙන් චුතවෙලා මිනිසුන් අතර උපදින අය අඩුයි. ඒත් නරකයෙහි, තිරිසන් ලෝකයෙහි ප්‍රේත විෂයයෙහි උපදින අය වැඩියි.

මෙහෙම බැලුවම අපට පේනව දෙවියන් අතර ඉපදුණත්, තිරිසන් ලෝකයක ඉපදුණත්, නිරයෙහි ඉපදුණත්, ප්‍රේත විෂයයෙහි ඉපදුණත්, මිනිස් ආත්මභාවයක් ලබාගන්න එක අමාරු බව. අපහසු බව. පව් වැඩ කළොත් තමන් ඉන්න තැනින් තව තවත් පහතට වැටෙනව මිස ගොඩ ඒමක් නෑ. ඒ නිසා පින්වතුනි තමන් ලද මේ ජීවිතයෙන් නියම ඵල ප්‍රයෝජන ගන්නට උත්සාහ කරන්න. මේ දේ කළොත් පිරිහෙනවා. මේ දේ කළොත් එහෙම වෙන්නෙ නෑ කියලා හොඳට හිතල, මතල කටයුතු කරන්න.