Print this Article


දුටුගැමුණු මහ රජතුමා - 42: තිස්ස කුමරු බලහත්කාරයෙන් කඩොල් ඇතු රැගෙන යයි

දුටුගැමුණු මහ රජතුමා - 42:

තිස්ස කුමරු බලහත්කාරයෙන් කඩොල් ඇතු රැගෙන යයි

තිස්ස කුමාරයා විසින් කරන ලද රාජකීය සම්ප්‍රදායට පටහැනි ක්‍රියාව වෙනුවෙන් කුමක් කළ යුතු දැයි තීරණය කිරීමට කිසිවකුටත් නොහැකි විය.

දුටුගැමුණු කුමාරයා එන තෙක් නොසිට මාගම රාජ්‍යයේ සංකේතය ලෙස සලකන කණ්ඩුල හස්ති රාජයා හොර රහසේම තමන් වෙත රැගෙන යාම අසම්මත ආකාරයෙන් මාගම රාජ්‍ය පවරාගැනීමක් බවත් එය බොළඳ ක්‍රියාවක් බවත් සෙනෙවිවරුන්ගේ අදහස විය. තම යුතුකම් පැහැර හැරිම, තම සහෝදරයාට ද්‍රෝහී වීම, අසාධාරණ ක්‍රියාවක නියැළීම ආදී චෝදනා පිලිබඳ සිතිවිලි තම සිත් තුළ නැ¼ගුණද ප්‍රසිද්ධියේ ඒ ගැන කිසිවකුත් කතා නොකළහ.

දුටුගැමුණු කුමාරයා මාගමට පැමිණි විට විහාරමහා දේවිය දීඝවාපියට යාම ගැන රට පුරා විවිධ කටකතා පැතිර ගියේ ය.

“දුටුගැමුණු කුමාරයා අඩු කුලයක තරුණියක් විවාහ කරගෙන. ඒ නිසා විහාර මහා දේවිය කළකිරිලා දීඝවාපියට ගිහිල්ලා.”

“කාවන්තිස්ස රජතුමාගේ අභාවයෙන් පසු විහාරමහා දේවිය අසරණ වුණා. තනි වුණා. ඒ දුක දරාගන්න බැරි නිසා රජ මාළිගයේ නොසිට තිස්ස කුමාරයා සමඟ පිටව ගියා.”

“රජතුමාගේ මරණයට තමාද වගකිව යුතුය යන හැඟීමක් මව්බිසවුන් වහන්සේට තිබුණා. ඒ සිතිවිල්ලෙන් ගැලවෙන්නට මාගම රාජධානියෙන් ඈත් වෙන්නට සිතන්න ඇති.”

මෙසේ බොහෝ පිරිස් විවිධ මත පල කරද්දී ත්‍රිපිටක තිස්ස තෙරුන් වහන්සේ විහාරමහා දේවියගේ දීඝවාපී ගමන අනුමත කළහ.

“මතුපිටින් බලන ඕනෑම අයකුට පෙනෙන්නේ මව් බිසව, ගැමුණු කුමාරයාට අසාධාරණයක් සිදු කළ බවයි. නමුත් තිස්ස කුමාරයාගේ සිතිවිලි පිළිබඳ සියුම් ලෙස කල්පනා කළ ඇය දිගාමඩුල්ල රාජධානිය මාගම රාජධානියෙන් කැඩීයාම වැළැක්වීමට නම් තමන් එහි යා යුතු බව සිතන්නට ඇති. “

“ඔබ වහන්සේගේ තර්කය නිවැරැදි වන්නට පුළුවන්. තිස්ස කුමාරයාගේ ඉල්ලීම මව්බිසව පිළිගන්නට ඇත්තේ කැමැත්තෙන් නොවෙයි. “

“තිස්ස කුමාරයා සමඟ දීඝවාපියට නොගියහොත් අනාගත සැලසුම් සියල්ල අවුල් සහගත වන බව පෙනීගිය නිසා කවුරුන් චෝදනා නැ¼ගුවත් විහාර මහා දේවියගේ ගමන වැරදි නැහැ.”

“නමුත් ගැමුණු කුමාරයාත් ඒ විදියටම කල්පනා කළොත් හොඳයි. එසේ නොවුණහොත් ගැටුමකට ඉඩ තියෙනවා. විහාරමහා දේවිය මෙන්ම කඩොල් ඇතු ද මේ අවස්ථාවේ ගැමුණු කුමාරයාගේ අයිතියක්. එය බලහත්කාරයෙන් පැහැරගෙන යාම රාජද්‍රෝහී ක්‍රියාවක්.”

“එසේ ගැටුමක් ඇතිවුවහොත් තිස්ස කුමාරයා ළඟ මව් බිසව සිටිනවා. ඇය විචාරශීලිව එයට සුදුසුම විසඳුමක් ලබාදේවි.”

“අද ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයයි. කාවන්තිස්ස රජතුමා මියගොස් අදට දින හතයි. අද දින දහවල් දානය සඳහා පන්සියයක් මහරහතන් වහන්සේලා රජ මාළිගයට වැඩම කිරීමට නියමිතයි.”

“දුටුගැමුණු කුමාරයා නියමිත වේලාවට පැමිණියහොත් අද හවස යෙදී ඇති සුබ නැකතින් අභිෂේකය සිදුකරන බව කාම්බෝජ පඬිතුමා සඳහන් කළා. එතුමාගේ නැකත් වරදින්නේ නැහැ.”

“එසේනම් මාහිමිපාණන් වහන්ස, දානයෙන් පසු යුද්ධ සම්මන්ත්‍රණ ශාලාවට ගොස් තොරාතුරු සොයා බලමු. එහි සෙනෙවිවරුන් කිසිවකුත් නොසිටියහොත් හීපතක් මගින් ගැමුණු කුමාරයාගේ පැමිණීම ගැන සඳහන් කර තිබුණොත් අභිෂේක කරන අවස්ථාවේදී ආශිර්වාද කිරීම සඳහා රහතන් වහන්සේලා පන්සීය නමකට ආරාධනා කරමු.”

“මහරජතුමා මියගොස් වැඩි දින ගණනක් ගත නොවුණු නිසා චාම් ලෙස අභිෂේක උත්සවය පැවැත්වීම සුදුසු බවයි කාම්බෝජ පඬිතුමාගේ අදහස.”

“පසළොස්වක පොහොය දිනයට අපේ සැදැහැවතුන් වඩාත් කැමති අනුරාධපුරයට ගොස් පෙහෙවස් සමාදන් වීමටයි. ඒත් දැන් අවුරුදු තිහකට අධික කාලයක සිට අපට ඒ අවස්ථාව අහිමි වෙලා. මේ නිසා අපේ සිංහල බෞද්ධ ජනතාවගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිහින්.”

යුද්ධ සම්මන්ත්‍රණ ශාලාවට මාහිමිපාණන් වහන්සේලා වැඩම කළද එහි කිසිවකුත් නොවිය. ආරක්ෂක සෙනෙවිවරුන්ගෙන් විමසූ විට දැන ගන්නට ලැබුණේ දුටුගැමුණු කුමාරයා පිළිගන්නට සියලු සේනාංක පෙර ගමන් කළ බවයි.

සුරනිමල, වේළුසුමන මහනෙල යෝධයින් අසුපිටින් එනු දුටු මහාස්වාමින් වහන්සේලා විහාරය දෙසට වැඩියහ. මහසෙනෙවිවරු තිදෙනාම සිලාපස්ස පිරිවෙනට පැමිණ මහස්වාමින්වහසේලා දෙනමට වැඳ නමස්කාර කළහ. ඔවුන්ගේ මුහුණුවල වූයේ ජයග්‍රාහී විලාසයකි.

“මහතෙරුන් වහන්ස, දුටුගැමුණු කුමාරයාගේ අභිෂේකය සිදුකිරීම සඳහා කාම්බෝජ ප¼ඩිතුමා සියලු කටයුතු සුදානම් කර තිබෙනවා. දාව ආචාර්යතුමාත් දැන් රජ මාළිගයට වැඩම කර ඇති. තවත් හෝරාවක් ඇතුළත දුටුගැමුණු කුමාරයා පැමිණේවි. රහතන් වහන්සේලා එහි වැඩම කරනවාද?”

රාජකීය සම්ප්‍රදායට අනුව අභිෂේක අවස්ථාවේ සංඝයා වහන්සේලා එහි වැඩම කර පිරිත් කියා ආශිර්වාද කරාවි. පිරිත් පැන්, සධාතුක කරඬුව, පිරිත් නුල් එහි ගෙනගොස් උස තැනකින් තබන්න. සංඝයා වහන්සේලා පන්සීය නමකට ආසන පනවන්න.”

“සධාතුක කරඬුව ඇතුළු පුජා භාණ්ඩ වැඩමවීම සඳහා දාඨכසේන මහසෙනෙවි තුමා නියමිත වෙලාවට පැමිණේවි.”

‘මහා සෙනෙවිවරුනි, ඔබලා තිදෙනා මහරජතුමා මහමඟ දමා පැමිණීම එතරම් හොඳ දෙයක් නොවෙයි.”

“මහා තෙරුන් වහන්ස, අප සියලු දෙනා වෙනුවෙන් අපේ සේනාධිපති නන්දිමිත්‍ර තිස් දහසක බල සේනාවක් සමඟ පෙරමුණේම ගමන් කරනවා. චතුරංග සේනාවේ විසි දහසකට අධික බල සේනාවක් ඉන්නවා. චුලංග කඳවුරුවලින් මාගමින් ගිය සේනාංකවලට එකතුවුණු බලසේනාව ඊටත් වඩා වැඩියි.”

දුටුගැමුණු රජතුමා පිළිගැනීමට මඟ දෙපස රැස්වුණ ජන ගංගාව නඟන ජය ඝෝෂාව රජරට ජයගත් දා නඟන ජය ඝෝෂාව මෙන් ඇසෙන්නට විය.

මේ සියල්ල මේතරම් ඉක්මනට සංවිධානය කළේ කොහොමද? කුමාරයා පුසුල් පිටියේ ඉන්නා බව දන්නේ කවුද? ත්‍රිපිටක තිස්ස හිමියෝ මදසිනහවකින් යුක්තව විමසූහ. සෙනෙවිවරු වේළුසුමන දෙස බැලූහ.

මාහිමිපාණන් වහන්ස මේ සියල්ල කලින් සංවිධානය කළ ඒවා නොවේ. සියල්ල අහඹු සිදුවීම්. තිස්ස කුමාරයා විසින් සිදු කරන ලද රාජ්‍ය විරෝධි ක්‍රියාව නිසා මෙබඳු උත්සවයක් පැවැත්වීමේ අවශ්‍යතාව අප තේරුම් ගත්තා. නමුත් පියරජතුමා මියගොස් දින කිහිපයක් පමණක් ගතවී ඇති නිසා එය චාම් අයුරින් පැවැත්වීමට කටයුතු සංවිධානය කළා.